රක්ෂිත කට්ටි කිරීම පිටුපස මන්ත‍්‍රී හිමිනමක් : පරිසර සංවිධාන 13 ක් ජනපතිට ලියයි

390

යාල – කුමන වනාන්තර පද්ධතියට ආරක්‍ෂාව සපයන මොනරාගල වත්තේගම – කැබිලිත්ත හා කොටියාගල වන රක්‍ෂිතය නීති විරෝධීව කට්ටිකර අවභාවිත කිරීමේ උත්සාහය පිටුපස පාර්ලිමේන්තුව නියෝජනය කරන ප‍්‍රකට මන්ත‍්‍රී හිමිනමක් සිටින බවත් වහාම මෙම විනාශය වැළැක්වීම සඳහා මැදිහත්වන ලෙසත් පාරිසරික සංවිධාන 13ක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි. රජයේ මැදිහත්වීම මත කුඩා ගොවීන්ගේ වගා කටයුතු සඳහා කැබිලිත්ත කොටියාගල රක්‍ෂිතයට යාබදව අක්කර 25,000ක් නිදහස් කර තිබියදී මෙසේ මහාපරිමාණ ඉඩම් කොල්ලකරුවන් කිහිපදෙනකු වෙනුවෙන් කැබිලිත්ත කොටියාගල රක්‍ෂිතය විනාශ කිරීමට ඉඩ ලබා දීම විල්පත්තුවේදී බදුර්දීන් ඇමැතිවරයා සිදු කළ වන විනාශයටත් වඩා මහා විනාශයක් බවද පරිසරවේදීහු කියා සිටිති.

දැනට අනාවරණය කරගෙන ඇති පරිදි දේශපාලන රැකවරණය හිමි දස දෙනෙකුගේ කණ්ඩායමක් විසින් අක්කර 50 සිට අක්කර 300 අතර ප‍්‍රමාණයන්ගෙන් යුත් ඉඩම් කට්ටි ප‍්‍රමාණයක් කැබිලිත්ත කොටියාගල රක්‍ෂිතයෙන් බෙදාගෙන ඇති අතර ඔවුහු මෙම ඉඩම් ගොවිතැන් සඳහා කුලියට ලබාදීමෙන වාර්ෂිකව ලක්‍ෂ ගණන් උපයති. ඒ වෙනුවෙන් කතා කිරීම භික්‍ෂුවකට තරම් නොවටිනා දෙයක් බව කියා සිටින මෙම පරිසර සංවිධාන එකතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රටේ වැදගත්ම වනාන්තර භූමි ප‍්‍රදේශයක් මෙසේ ඉඩම් කොල්ලකරුවන්ට අල්ලා ගැනීමට ඉඩ නොදෙන ලෙසයි. ජනාධිපතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් කරමින් හා ගූගල් සිතියම් අනුසාරයෙන් කරුණු දක්වන සංවිධාන එකතුව වැඩිදුරටත් කියා සිටින්නේ දැනටමත් මේ වැදගත් රක්‍ෂිත දෙකේ වනගහණය මෙම ජාවාරම්කාරයින් විසින් සියයට 90කින් විනාශ කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ලබාදී ඇති අක්කර 25,000 හැරෙන්නට වන වැස්ම ඉවත්කර ඇති ඉතිරි සියලු රක්‍ෂිත ඉඩම් තුළ නැවත වන වගාව සිදුකර රක්‍ෂිත කලාපය සුරක්‍ෂිත කිරීම සඳහා කටයුතු කරන ලෙසද ඉල්ලමින් මේ වන විට අදාළ ලිඛිත පැමිණිල්ල ජනාධිපතිවරයා වෙත භාරදී ඇත.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment