රක්‍ෂිත කලාප සුරැකුමට – පුරවර සංවර්ධනයට ‘ඩිජිටල්’ පද්ධතියක්

127

ජ’පුර සරසවි සිසු දැරියන්ගේ පරිගණක මෘදුකාංග උපදේශකත්වය

2015 වසරේ බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන යටතේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ සැලසුම් අංශයේ මැදිහත්වීමෙන් GIS තාක්‍ෂණය පිළිබඳ මූලික අවබෝධයක් මීගමුව මහ නගර සභා නිලධාරීන් වෙත ලබා දුන්නද එය ප්‍රමාණවත් නොවීම නිසා නැවතත් බස්නාහිර පළාත් ප්‍රතිපාදන හා මීගමුව මහ නගර සභාවේ ප්‍රතිපාදන යොදවා 2016 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය GIS තාක්‍ෂණය පිළිබඳ පුහුණුවක් ලබා දෙන ලදි.

රක්‍ෂිත කලාප සුරැකුමට - පුරවර සංවර්ධනයට ‘ඩිජිටල්’ පද්ධතියක්

එවකට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ අභිප්‍රාය වූයේ GIS තාක්‍ෂණය උපයෝගී කරගෙන පුරවැසි තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමයි. නමුත් පුහුණුව ලබාදුන් නිලධාරීන්ගේ කාර්ය බහුලත්වය නිසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 2018 වසරේදී මීගමුව මහ නගර සභාවේ වර්තමාන නගරාධිපතිවරයාගේ පැමිණීමත් සමඟ මෙම ව්‍යාපෘතිය පිළිබඳ අවබෝධය හා මෙවැනි වැඩසටහනක කාලීන අවශ්‍යතාව හඳුනාගැනීම නිසා එතුමා ඒ සඳහා නව තාක්‍ෂණික පරිගණක මෘදුකාංග වෙනම ඒකකයක් නිර්මාණය කරන ලෙස නාගරික කොමසාරිස්තුමිය වෙත උපදෙස් ලබා දී කොන්ත්‍රාත් පදනම යටතේ භූගෝල විiා විශේෂවේදී උපාධිධාරීන් බඳවාගෙන ඒකකයක් පිහිටුවන ලදි.

රක්‍ෂිත කලාප සුරැකුමට - පුරවර සංවර්ධනයට ‘ඩිජිටල්’ පද්ධතියක්

මෙහිදී පුරවැසි තොරතුරු පද්ධතියක් පිළියෙළ කිරීමට වඩා ඉදිරියට ගමන් කරමින් මීගමුව මහ නගර සභා බල ප්‍රදේශයේ මාර්ග, කඩොලාන පද්ධතිය, කාණු, බෝක්කු, වීදි පහන් හා සියලු ගොඩනැඟිලිවල තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධතියක් පිළියෙළ කිරීම අරමුණ විය.

2018 සිට ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය පාස්කු ප්‍රහාරය හා කොරෝනා වසංගතය වැනි බාධක මැද 2022 අග භාගය වන විට මීගමුව මහ නගර සභා බල ප්‍රදේශයේ ඇති මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන් ම අධීක්‍ෂණය කොට Digital තොරතුරු පද්ධතියක් හා Digital සිතියමක් නිර්මාණය කිරීමේ කටයුතු අවසන් කර ඇත. ඊට අමතරව එම මාර්ගවලට අදාළ කාණු හා බෝක්කු පාලම් ද මෙම සිතියම තුළ ඇතුළත් වේ. මෙහිදී කි. මී. 391.8 ක් දිගින් යුතු මාර්ග 3033 ක ප්‍රමාණයක් මැන සිතියම්ගත කර ඇත.

මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඇති ගොඩනැඟිලි පරිශ්‍රයන් 28230ක ප්‍රමාණයක් පිළිබඳ පහත විස්තර අඩංගු තොරතුරු පද්ධතිය හා Digital සිතියම් නිර්මාණය කොට අවසන් කොට ඇත. අදාළ පරිශ්‍රයන් හි පහත තොරතුරු අඩංගු තොරතුරු පද්ධතියක් ද මීගමුව මහ නගර සභාව සතුවේ.

ගොඩනැඟිල්ලෙහි වරිපනම් අංකය, ගොඩනැඟිල්ලෙහි තැපැල් අංකය, ගොඩනැඟිල්ලෙහි හිමිකරුගේ නම, ගොඩනැඟිල්ලේ හිමිකරුගේ ජා. හැ. අංකය, ගොඩනැඟිල්ලෙහි හිමිකරුගේ දුරකථන අංකය, සාමාජිකයන් ගණන. ගොඩනැඟිල්ලෙහි තට්ටු ගණන. නීත්‍යනුකූලබව, වහලේ ස්වභාවය, ගොඩනැඟිල්ලෙහි බිත්තියේ ස්වභාවය, ගොඩනැඟිල්ලෙහි තත්ත්වය (සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී), ගොඩනැඟිල්ලෙහි ස්වභාවය (නිවාස, රාජ්‍ය, පෞද්ගලික, ආගමික, වෙනත්), ගොඩනැඟිල්ලෙහි හිමිකාරීත්වයේ ස්වභාවය (තාවකාලික, ස්ථිර), ගොඩනැඟිල්ලේ වර්ග අඩි ප්‍රමාණය (දළ වශයෙන්)

මෙම ව්‍යාපෘතිය යටතේ වීදි පහන් පිළිබඳ සංගණනය හා සිතියම්ගත කිරීම නාගරික කොට්ඨාස 29 න් 5 ක මේ වන විට අවසන් කර ඇත. වීදි පහන්වල පහත තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධතියක් යටතේ සිතියම් නිර්මාණය වී ඇත. වීදි පහන් කණුවේ අංකය, වීදි පහන් කණු වර්ගය, වීදි පහන් කණුව පවතින මාර්ගයේ නම, වීදි පහන් කණුවේ විදුලි බල්බයක් පවතීද නැද්ද යන වග, වීදි පහන් කණුවේ පවතින විදුලි බල්බ වර්ගය, විදුලි බල්බයේ ක්‍රියාත්මක භාවය, වීදි පහන් කණුවේ හා විදුලි බල්බයේ ඡායාරූපයද මෙහි දත්ත ගන්වා තිබේ.

මෙම ව්‍යාපෘතියෙන් මහජනයාට ලැබෙන ප්‍රතිඵල ලෙස ප්‍රධාන වශයෙන් මාර්ග පද්ධතිය සිතියම්ගත කිරීමෙන් මාර්ග සංවර්ධනයට රජයෙන් වෙන්වන මුදල් කාර්යක්‍ෂමතාව හා ඵලදායිව යෙදවීමට අවස්ථාව උදා වේ. උදාහරණයක් ලෙස යම් මූලාශ්‍රයකින් මාර්ගයක් සංවර්ධනය කිරීමට ප්‍රතිපාදන වෙන් වූයේ නම් විනාඩි කිහිපයක් ඇතුළත එම මාර්ගයේ වර්තමාන තත්ත්වය, මාර්ගයේ දිග, පළල ලබා දෙමින් එම මාර්ගය සංවර්ධනය කළ යුතු ද යන්න වාර්තාවක් මෙම පද්ධතිය තුළින් ලබාදීමේ හැකියාව මෙම පද්ධතිය තුළින් මීගමුව මහ නගර සභාව සතු වේ. මීට අමතරව එම මාර්ගවල කාණු, බෝක්කු පිළිබඳ ඇති තොරතුරු අනුව ඒවා සංවර්ධනය කිරීමට අවශ්‍යතාවය රජයේ ප්‍රතිපාදන වෙන්වන ආයතන වෙත දැන්වීමට ද සත්‍ය තොරතුරු ඇතුළත් වාර්තා මගින් මීගමුව මහ නගර සභාවට හැකියාව ලැබේ. Digital මාර්ග පද්ධතියක් සහිත ලංකාවේ එකම පළාත් පාලන ආයතනය මීගමුව මහ නගර සභාව බව ප්‍රකාශ කළ යුතුය.

ඩෙංගු, කොරෝනා, ලාදුරු වැනි වසංගත රෝගයන් පැතිර යන අවස්ථාවලදී එම රෝග විශේෂයෙන් පැතිරෙන ප්‍රදේශ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පිළියම් යෙදීමට මෙම පද්ධතිය උපකාරී වේ. වර්තමානයේ ලෝකයේ අනෙක් රටවල යම් විදේශ පුරවැසියකුට තම නිවාසයේ නවාතැන් පහසුකම් ලබාදෙන බවට එම රටේ පුරවැසියා ලිඛිතව තානාපති කාර්යාලවලට දන්වන්නේ නම් ඒ සඳහා අදාළ ප්‍රදේශයේ නගර සභාවෙන් සහතිකයක් ලබා ගත යුතුය. එවැනි සහතිකයක් යම් දිනක මීගමුව මහනගර සභා බල ප්‍රදේශයේ පුරවැසියකුට අවශ්‍ය වන්නේ නම් ඔහුගේ නිවසේ සම්පූර්ණ විස්තරයක් ඔවුන් සතු බැවින් එය ලබාදීමේ හැකියාව මීගමුව නගර සභාව සතු වේ. එමෙන්ම යම් පුරවැසියකු තමන්ට සිදුවන අවහිරතාවක් පිළිබඳ පැමිණිලි කරන විට එම අවහිරතාව සිදුකරන පුද්ගලයාගේ නිවස පිළිබඳ විස්තර හෝ ඔහු පිළිබඳ විස්තර මීගමුව මහ නගර සභාවට දැන්විය යුතු නොවේ. එම පරිශ්‍රය පිහිටි ස්ථානය පමණක් දැන්වීමෙන් අදාළ ගොඩනැඟිල්ලේ හිමිකරුගේ විස්තර හා එම ගොඩනැඟිල්ලේ විස්තර අප සතු බැවින් එම පුරවැසියන්ට අදාළ කටයුතු ඉටුකර දීමට මීගමුව මහ නගර සභාවට කාර්යක්‍ෂමව සිදුකළ හැක.

වීදි පහන් නඩත්තු කිරීම පළාත් පාලන ආයතනවලට විශාල පිරිවැයක් සහ කාලයක් වැයවන කටයුත්තක් බවට පත් වී ඇත. එය වඩාත් කාර්යක්‍ෂමව කිරීමට මෙවැනි තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීම තුළින් කළ හැක. මෙහි ප්‍රධාන අරමුණ මීගමුව පුරවරය ඩිජිටල් තාක්‍ෂණයත් සමඟ ඉදිරියට යන පුරවරයක් බවට පත් කිරීමය. එමෙන්ම පුරවැසි තොරතුරු පද්ධතියක් සකස් කිරීම, නගර සභා දේපළ පිළිබඳ තොරතුරු පද්ධතියක් සකස් කිරීම, මාර්ග ලේඛනය යාවත්කාලීන කිරීම, විදුලි කණු ලේඛනයක් සකස් කිරීම, බල ප්‍රදේශය තුළ ඇති ඉදිකිරීම් අංකිත කිරීම, බල ප්‍රදේශය කලාපීයකරණය, රක්‍ෂිත කලාප වෙන්කිරීම ආදී අංශ කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. කසළ කළමනාකරණය පිළිබඳ තොරතුරු පද්ධතියක් සකස් කිරීම, බෝවන රෝග ව්‍යාප්තිය අවම කර ගැනීමට හැකිවීම, මීගමුව මහා නගර සභාව අංකිත පුරවරයක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම තුළින් බදු ගෙවන ජනතාවට කාර්යක්‍ෂම හා නිවැරදි සේවාවක් ලබාදීමයි.

එමෙන්ම රට තුළ සිදුකරන පර්යේෂණ කටයුතු සඳහා තොරතුරු ලබාගැනීමේ පහසුව, අනාගත විiාර්ථීයන්ගේ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව, ප්‍රතිමෝධක කටයුතුවල අවකාශීය ව්‍යාප්තිය හඳුනාගත හැකි වීම. මූල්‍ය පහසුකම් සපයන ආයතන සඳහා (ADB Bank) අවශ්‍ය තොරතුරු ක්‍ෂණිකව සහ නිවැරදිව ලබා ගැනීමට හැකි වීම. තරුණ තරුණියන්ට වෘත්තීමය කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාවන් උදාවීම, ක්‍ෂණික දැනුම සමස්ත ප්‍රදේශය තුළ ව්‍යාප්ත වීම, සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් කාර්යක්‍ෂම හා නිරවුල් තොරතුරු ලබාගැනීමේ හැකියාව ද වෙයි.

වර්තමානය වන විට රැස්කරන අංකිතකරණය (Digitizing) නිම වී ඇති අංකිත දත්ත (Digital Data) මගින් මීගමුව මහ නගර සභාව විසින් ලබාගත් ප්‍රතිලාභ අතර මාර්ග අමාත්‍යාංශය මගින් සංවර්ධනය සඳහා මුදල් වෙන්කිරීමේදී අවශ්‍ය මාර්ගවල නිරපේක්‍ෂක දත්ත ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය මගින් ලබාදීම,

පසුගිය වැසි සමයේදී ඇළ මාර්ග අවහිර වීම නිසා ඇති වූ ගංවතුර තත්ත්වයට හේතු වූ ඉදිකිරීම් පිළිබඳ දත්ත ලබාදීම, පුත්තලම – කොළඹ දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේදී අවහිර වන බෝක්කු සහ ඇළ මාර්ග පිළිබඳ දත්තයන් ලබාදීම, මීගමුව බල ප්‍රදේශයේ ඇති මස්කඩ පිළිබඳ දත්තයන් ලබාදීම, මීගමුව මහා නගර සභා බල ප්‍රදේශය තුළ වර්තමාන ඩෙංගුවල ව්‍යාප්තිය Digital සිතියම් මාර්ගයෙන් දැක්වීම වන අතර අනවසර ඉදිකිරීම් පිළිබඳ සිතියම්ගත කිරීම් මේ වන විට සිදුවෙමින් පවතී.

මේ පිළිබඳ අදහස් දැක්වූ මීගමුව නගරාධිපති දයාන් ලන්සා මහතා : යම් පණිවිඩයක් මීගමුව මහ නගර සභා බල ප්‍රදේශයේ සිටින නිවැසියන් වෙත දැන්වීම ඉතාම කෙටි කාලයක් තුළදී එකවර සිදුකිරීම යම් මාර්ගයක ඝන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ රථ පැමිණෙන වේලාවන් ක්‍ෂනිකව මාර්ගයේ නිවාස හිමියන් වෙත දැන්වීම, ආපදාවකදී එම ආපාදාවලට ලක්වන නිවාස පිළිබඳ පූර්ව නිගමනයකට එළඹීමට මෙම පද්ධතිය තුලින් හැකියාව පවතින අතර, උදාහරණයක් ලෙස මිලි මීටර් 100 ට වඩා වර්ෂාපතනයක් ඇති වුවහොත් ඇළ මාර්ගවලින් ජලය පිටාර ගැලීම නිසා ආපදාවලට ලක්වන නිවාස මොනවද යන්න පිළිබඳ පූර්ව නිගමනයකට පැමිණ ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට මීගමුව මහ නගර සබාවට හැකියාව පවතිනවා. ”

මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබාදුන් පුද්ගලයන් අතර බස්නාහිර පළාත් පාලන කොමසාරිස්, බස්නාහිර පළාත් සැලසුම් අධ්‍යක්‍ෂකතුමිය, මීගමුව මහා නගර සභාවේ නගරාධිපති, මීගමුව මහා නගර සභාවේ කොමසාරිස්, මීගමුව මහා නගර සභාවේ ඉංජිනේරු, අධීක්‍ෂණය හා සම්බන්ධීකරණය යූ. ඕ. රම්මුතුපුර තාක්‍ෂණ නිලධාරීන් (සිවිල්) ඇතුළු තවත් පිරිස් වෙති.

● ජයන්ත වීරරත්න

advertistmentadvertistment
advertistmentadvertistment