රග්බි ජාතික කාන්තා කණ්ඩායමට කී‍්‍රඩිකාවන් තේරීම අද

150

ශ‍්‍රී ලංකා ජාතික කාන්තා රග්බී පාපන්දු පුහුණු සංචිතයට ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණය අද (30දා) කොළඹ ලොන්ඩන් පෙදෙසේ පිහිටි සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක‍්‍රීඩාංගණයේදී සිදු කෙරේ. මේ යටතේ ක‍්‍රීඩිකාවන් 20 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය.

කොළඹ ලොන්ඩන් පෙදෙසේ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක‍්‍රීඩාංගණයේදී සහ රීඞ් මාවත පිහිටි පැරණි තුරඟ තරග ක‍්‍රීඩාංගණයේදී දැන් ක‍්‍රියාත්මක ජාතික කාන්තා පුහුණු සංචිතයට අයත් ක‍්‍රීඩිකාවන් 34 දෙනෙකු මෙම පරීක්ෂණය සඳහා කැඳවා තිබේ.

එහිදී ප‍්‍රදර්ශනය කරන දක්ෂතා පදනම් කර ගනිමින් ජාතික සංචිතයට අවසන් ක‍්‍රීඩිකාවන් 20 දෙනා තෝරා ගැනීමට අසෝක ජයසේන මහතාගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා ජාතික රග්බි පාපන්දු තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මේ අතරවාරයේ ශ‍්‍රී ලංකා ජාතික පිරිමි පුහුණු සංචිතය සඳහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීම අද (30දා) සහ හෙට (31දා) කොළඹ තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථාන ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙන වොරියර් අභියෝග ශූරතා සත් සාමාජික තරගාවලිය ආශ‍්‍රිතව සිදු කිරීමට ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

රට තුළ පවතින කොවිඞ් – 19 තත්ත්වය මත අන්තර් ක‍්‍රීඩා සමාජයීය ලීග් තරගාවලියක් හෝ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක් පැවැත්වීමට නොහැකි වූ වටපිටාවක් තුළ මෙම තීරණයට එළඹි බව වාර්තා වේ.

එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර කෙළිබිමේ විශිෂ්ට දස්කම් ප‍්‍රදර්ශනය කළ ‘බෙන් ගොලිංග්ස් මහතා’ ශ‍්‍රී ලංකා ජාතික පිරිමි රග්බි පාපන්දු පුහුණුකරු ලෙස පත් කර තිබේ.

ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර අත්දැකීම් ලාභී ‘සාලිය කුමාර මහතා’ ට ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ධුරය හිමි වී තිබේ.

ලබන නොවැම්බර් මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේදී බෙන් ගොලිංග්ස් සහ සාලිය කුමාර මහත්වරුන්ගේ පුහුණු උපදෙස් වලට අනුව ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් තරග වැදීමට නියමිතය.

පිරිමි කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස නිල්ෆර් ඊබ‍්‍රහිම් නම් කර ඇති අතර සුගානී රත්නායක මහත්මිය කාන්තා කණ්ඩායමේ සහාය පුහුණුකාරිණිය ලෙස නම් කර තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment