රග්බි නිලවරණය අගෝස්තු මුල් සතියේ

110

ක්‍රීඩා ඇමැතිගෙන් ආසියානු රග්බි සභාපතිට ප්‍රතිඥාවක්

මෙම වසරේ අගෝස්තු මස මුල් සතිය තුළ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රග්බි සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි මහතා වෙත ප්‍රතිඥා දී ඇත.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සඳහා පත්කළ ස්ථාවරකරණ කමිටුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ආසියානු රග්බි සභාපතිවරයා හමු වූ අවස්ථාවේදී ක්‍රීඩා ඇමැතිවරයා විසින් එම ප්‍රතිඥාව ලබාදී ඇත.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පෙරේදා (19 වැනිදා) දින ඩුබායි හි පිහිටි ආසියානු රග්බි මූලස්ථානයේ දී එහි සභාපති කයිස් අල් දලායි මහතා හමුවිය.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ඇමැතිවරයා සතු බලතල ප්‍රකාරව පසුගිය 10 වැනිදා විසුරුවාහැර සාමාජිකයන් අට දෙනකුගෙන් යුත් ස්ථාවරකරණ කමිටුවක් ඒ සඳහා පත් කිරීමට කටයුතු කළේය.

පසුගිය වසර කිහිපය පුරාම ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් හිටපු පරිපාලකයන් කටයුතු නොකිරීමල ශ්‍රී ලංකාවේ මූලික නීති කඩකිරීම් ආදී කරුණු ගණනාවක් හේතුවෙන් සම්මේලනය විසුරුවා හැර එම ස්ථාවරකරණ කමිටුව පත් කිරීමට තමාට සිදු වූ බව ද ඇමැතිවරයා එහිදී ආසියානු රග්බි සභාපතිට කරුණු පැහැදිලි කර ඇත.

ක්‍රීඩා පනතේ ඇති වගන්ති ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම හැර වෙනත් විකල්පයක් එහිදී නොතිබුණු බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව අගෝස්තු මස මුල් සතිය තුළ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ සම්මේලනයේ නිලවරණය පවත්වා රග්බි ක්‍රීඩාවට යහපත් පරිපාලනයක් ලබාගැනීමට ක්‍රියා කරන බවත් ඇමැතිවරයා විසින් කයිස් අල් දලායි මහතා වෙත කරුණු පැහැදිළි කරන ලදි.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහාය ලබාදීමට ආසියානු රග්බි සභාපතිවරයා ශ්‍රී ලංකා ඇමැතිවරයාට එහිදී එකඟත්වය පළ කර ඇත.

තවද ඇතිව තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බවත්ල ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑම විටම සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවත් කයිස් අල් දලායි මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

පසුගිය 12 වන දින තමන් විසින් කරුණු පැහැදිළිකර එවන ලද ලිපියට යහපත් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ද ඇමැතිවරයා එහිදී කයිස් අල් දලායි මහතා වෙත සිය ස්තුතිය පළ කර ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment