රජයේ ආයතන ‘සෙලන්දිවට’ දීම වළක්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

215

සෙලන්දිව ඉන්වෙස්ට්මන්ට් සහ සෙලන්දිව ලෙෂර් ඉන්වෙස්ට්මන්ට් යන සමාගම්වලට රජයට අයත් හා රජයට බහුතර කොටස් හිමි සමාගම් සහ ආයතන පවරා දීම මෙන්ම බදු දීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තීය ඉංජිනේරුවරයකු වන කපිල රේණුක පෙරේරා මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා* පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබාදුන්නේය.

එම පෙත්සම බුවනෙක අලූවිහාරේ, මූර්දු ප‍්‍රනාන්දු සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේදී සූම් තාක්ෂණය ඔස්සේ කැඳවිණි.

පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති මුදල් ඇමැතිවරයා ඇතුළු තනතුරු කිහිපයක් මේ වනවිට වෙනස් වී ඇති බැවින් ඒවා සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙස පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයාත්, මුදල් අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, සෙලන්දිව ලෙෂර් ඉන්වෙස්ට්මන්ට් සමාගම සහ සෙලන්දිව ඉන්වෙස්ට්මන්ට් සමාගම ඇතුළු සමාගම් සහ පුද්ගලයන් 19 දෙනකු නම් කර තිබිණි.

එලෙස රජයේ දේපළ පවරා දීම ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට පටහැනි බවත් එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් සිදුවන බවත් එම පෙත්සම මගින් සඳහන් කර තිබිණි.

එම පෙත්සම ලබන නොවැම්බර් 29 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment