රජය දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා පෙනී සිටින අරගල ප්‍රජාව සමග සම්මුතියකට එළැඹිය යුතුයි

134

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වෙයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය බොහෝ දෙනකු සුබවාදී ආකල්පයකින් පසුවන බව පෙනෙන්නට තිබේ. ආර්ථිකය ශක්තිමත් කිරීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කිරීමටත්, විදුලිය හා ඉන්ධන සැපයීම විධිමත් කිරීමට පියවර ගැනීමටත්, අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට හා ජීවන වියදම අඩු කිරීමටත්, තමා සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම රටේ යහපතට වැදගත් වන ප්‍රතිපත්තිමය කාරණා බව අපගේ පිළිගැනීමයි.

එය ජනතාවට මහත් සැනසීමක් ගෙන දෙන කරුණු කාරණා වනු ඇත. පාර්ලිමේන්තුවේ බලතල වැඩි කිරීම තුළින් පසුපෙළ මන්ත්‍රීන්ට රාජ්‍යකරණයට කෙලින්ම සහභාගිවීමටත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමට පියවර ගැනීම ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප අගය කරන්නෙමු. එවන් පරිසරයක් තුළ අපගේ ප්‍රසාදයට ලක් නොවන වෙනත් තත්වයක් ද මේ වනවිට දකින්නට තිබේ. ඒ අනුව අප ප්‍රථමයෙන්ම අවධාරණය කරන්නේ සාමකාමී අරගලයක නිරත වෙමින් සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්, ලංකා බැංකු සේවක සංගමයේ නිලධාරීන් වන පාලිත ඇටම්පොල, ධනංජය සිරිවර්ධන යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි
ක්‍රියාමාර්ගයන් වන බවය.

එබැවින් අප ඉතාමත් ඕනෑකමකින් යුතුව රජයෙන් ඉල්ලා සිටින්නේ අද රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයට යහපත් විසඳුමක් සපයා ගැනීම සඳහා යොමුවිය යුතු ප්‍රමුඛ අවධානය සැලකිල්ලට ගනිමින් හෝ දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා පෙනීසිටින අරගල ප්‍රජාව සමග සාකච්ඡා කරමින් නොපමාව යහපත් සම්මුතියකට එළඹෙන ලෙසය.

අප මේ බව අවධාරණය කරන්නේ රටේ ඉදිරි යහපැවැත්ම උදෙසා සර්ව පාක්ෂික මෙන්ම සමාජයේ අනෙකුත් බලපෑම් කණ්ඩායම් සමගද පොදු එකඟත්වයකින් යුතුව කටයුතු කිරීමේ ඇති වැදගත්කම මුල් කරගනිමිනි. එවැනි අවංක ප්‍රවේශයකට යොමුවීමට රජය යම් හෙයකින් හෝ අපොහොසත් වුවහොත් එය ජනපතිවරයා අවධාරණයෙන් යුතුව අපේක්ෂා කරන සර්ව පාක්ෂික රජයක් නිර්මාණය කරගැනීමට මෙන්ම අන්තර් ජාතික ප්‍රජාවේ සහය

ලබාගැනීමේදී ද අනිටු ප්‍රතිඵල අත්කරදිය හැකිය. අවාසනාවකට හෝ එවැනි පසුබිමක් නිර්මාණය වුවහොත් එය ජනාධිපතිවරයාට හා රජයට මෙන්ම රටට ද කිසිසේත්ම යහපත් වන්නේ නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවද මෙම සිදුවීම් හමුවේ ප්‍රකාශයට පත්කර ඇති අදහස් කෙරෙහි රජය සිය බලවත් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය. එමෙන්ම රටේ සමාන්‍ය පොදු ජනතාවගේ අභිලාශයන් හා ඔවුන්ගේ අදහස් කෙරෙහිද රජය බැරෑරුම් ලෙස සවන්දිය යුතුය. අප මෙම කරුණු කෙරෙහි ජනාධිපතිවරයාගේත් රජයේත් අවධානය යොමුකරවන්නේ ඉතාමත් සද්භාවයෙනි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා සිය රාජාසන කතාවේදී ප්‍රකාශ කරන ලද මූලික අපේක්ෂාවන් යහපත් ආකාරයට සාක්ෂාත් කරගැනීමේ ඇති වැදගත්කම මුල්කර ගනිමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment