රජය ව්‍යාපාර කිරීම නිසා මහවැලි වැනි ව්‍යාපෘති 100 ක් හැදීමට තිබූ මුදල් විනාශ වුණා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

99

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට දේශපාලනඥයන් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට සිහින දුටුව ද, ඇතැම් දේශපාලන ව්‍යාපාරවල තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගිය 75 වසර තුළ සිදු වූ විනාශය අතිමහත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී 22 වැනිදා පස්වරුවේ පැවති දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ 71වන ගුණ සමරු වැඩසටහනට එක් වෙමිනි.

ශක්තිමත් හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සේනානායක උරුමය ඉදිරියට ගෙන යා යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර කොල්ලුපිටිය, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ති ආරාමාධිපති ආචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල විමලධර්ම ස්වාමීන් වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

රජය ව්‍යාපාර කිරීම නිසා මහවැලි වැනි ව්‍යාපෘති 100 ක් හැදීමට තිබූ මුදල් විනාශ වුණා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීම නිසා පසුගිය දශකවලදී මහවැලිය වැනි ව්‍යපෘති 100ක් පමණ ඉදිකිරීම සඳහා තිබු මුදල් විනාශ වී ගිය බවය. ඉදිරියේදී රාජ්‍ය අංශය ව්‍යාපාරවලින් ඉවත්ව, එය පෞද්ගලික අංශයට විවෘත කර, නිදහස් හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ දැක්ම වූයේ ද නිදහස් ආර්ථිකයක් ඇති කිරීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ව්‍යාපාර සිදුකළ යුත්තේ පෞද්ගලික අංශයෙන් බවත්, එයින් ලබා ගන්නා බදු ආදායමින් රට සංවර්ධනය කළ යුතු බව එතුමාගේ දර්ශනය වූ බවත් කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ දී අයිඑම්එෆ් එකඟත්වය සභාගත කරමින් ඒ පිළිබඳ අදහස් දැක්වීමේ දී ඇත්ත වශයෙන්ම මා කණගාටු වුණා. මොකද අද ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ජන්ම දින උත්සවය. එතුමා නිදහස ලබාදුන් ශ්‍රී ලංකාව 75 වන නිදහස සමරණ විට යාචක රටක් බවට පත්ව තිබුණා. නමුත් මම සතුටු වුණේ අදින් පසු අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාව ලැබෙන නිසා එම තත්ත්වයෙන් අපි නිදහස් වී තිබෙනවා. එහෙත් අපි මේ තත්ත්වයට පත් වූයේ කෙසේද කියා සිතා බැලිය යුතුයි.

ඩී. එස්. සේනානායක මැතිතුමා මේ රටට නිදහස ලබාදෙන විටත්, ඊට පෙර යුද්ධය පැවති සමයේ සිට මේ රටේ ආර්ථිකය මෙහෙයවමින් එතුමා ගෙන ගිය ප්‍රතිපත්ති නිසා ජපානයට පසුව ආසියාවේ දියුණුම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණා. අපි එංගලන්තයටත් ණය ලබා දුන්නා. එසේ නම් එවැනි රටක් කෙසේද මේ තත්ත්වයට පත් වුණේ. අපිට කුමක්ද සිදු වුණේ?

ජපානයෙන් පසුව අද දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබීමට ඉඩ තිබුණා. එහෙත් ඒ වෙනුවට යුද්ධයෙන් විනාශ වූ දකුණු කොරියාව ඉදිරියට ආවා. මැලේසියාව, සිංගප්පුරුව, තායිලන්තය, චීනය, ඉන්දුනිසියාව, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල් ඉදිරියට ආවා. ඇයි අපි පසුබැස්සේ. එසේ නම් නිදහසින් 75 වසරක් සමරන විට අපි මේ තත්ත්වයට පත්වීමට හේතු වූයේ කුමක්ද කියා විග්‍රහ කිරීම අවශ්‍යයි.

ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා මේ රට දියුණු කිරීමට ඉදිරිපත් කළ කරුණු අතර ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාව. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා පක්ෂපාතිත්වය දැක්වූයේ බ්‍රිතාන්‍ය කිරීටයට. බ්‍රිතාන්‍ය රජතුමාට. දැන් බ්‍රි‍තාන්‍යයෙන් නිදහස ලැබූ නිසා රජතුමා සංකේතවත්ව ප්‍රධානියා වුවත්, අපිට හඬනගන්න තිබුණේ රජතුමා වෙනුවෙන් නෙවෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඒ නිසා එතුමා කිව්වා ලාංකික අනන්‍යතාව ලබා ගන්න කියලා. අපි කුමන ආගමට, කුමන ජාතියට අයත් වුවත් අපි සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සැලකිය යුතුයි.

ඒ සමගම බහුතර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ගමන්, සුළුතර ජනතාවගේ ද අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. ඒ නිදහස ලබාදිය යුතුයි. නමුත් අපි එතැනින් ඈත් වුණා. අපි 1956 දී ජාතිවාදය ඇතිකරගත්තා. අවසානයේ යුද්ධයකට ගියා. ඒ නිසා අපි ඉදිරියට යනවා නම් අපි පළමුව රටේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ඇති කර ඉදිරියට යා යුතුයි. එය ඉතා වැදගත් වෙනවා.

ජාතිවාදී, ආගම්වාදී වැඩවලින් මේ රට වැටුණා. නමුත් සිංගප්පූරුව ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. සිංගප්පූරුව දියුණු වුණා. දෙවනුව ඩී.එස්. සේනානායක මැතිතුමා පැවසුවේ නිදහස් ආර්ථිකයක් ගොඩනැගීමටයි. නිෂ්පාදන වැඩකටයුතු සහ ව්‍යාපාර කිරීම පුද්ගලික අංශයට ලබා දෙන ලෙසයි. එමගින් ආණ්ඩුව බදු ලබාගෙන ඒ බදුවලින් රට දියුණු කිරීමයි.

එයින් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ගොඩනැගුවා. අවශ්‍ය තරම් මුදල් තිබුණා. නමුත් අද අපිට අධ්‍යාපනය නවීකරණය කිරීමටවත්, සෞඛ්‍ය නවීකරණය කිරීමටවත් මුදල් ප්‍රමාණවත් නැහැ. අපි එතැනින් ඈත් වෙලා ජනසතු කරලා, රාජ සන්තක කරලා සියලු දේ පාලනය කළා. අපි දැන් එතැනින් ඉදිරියට යා යුතුයි. ඒ නිසා රජය නැවත ව්‍යාපාර කටයුතුවලින් ඉවත් කිරීමට අයිඑම්එෆ් එකඟතාව සමග අපි කටයුතු කර තිබෙනවා. අපට තිබෙන්නේ ජනතාවට අවශ්‍ය සේවා සැපයීමට ආර්ථික වැඩසටහනක් ලබාදීමටයි.

රජය ව්‍යාපාරවලින් අහිමිකරගත් මුදල් පිළිබඳ අවධානය යොමු කළ විට මහවැලි වැනි ව්‍යාපාර 100ක් විතර මෙරට හදන්න තිබුණා.

කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමාධිපති ආචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල විමලධර්ම ස්වාමීන් වහන්සේ:

පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් හැටියට යි බුදුදහමේ සඳහන් වන්නේ. නිදහස් සටනේ දී එතුමා පුරෝගාමී නායකයන් අතර සිටිමින් නිදහස් සටන ජය ගැනීම සඳහා කටයුතු කළා. එතුමා නායකයෙක් හැටියට කළ උදාර සේවාව සිහිපත් කරලයි වාර්ෂිකව මේ ගුණානුස්මරණ මහෝත්සවයේ පවත්වනු ලබන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment