රජය වෙනස්  වන තුරු රට  ගොඩගන්න බෑ – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

157

ආහාර අර්බුදයක් අත ළඟ

විදෙස් සහාය අවශ්‍ය නම් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවන්න

වර්තමාන රජය වෙනස් වන තුරු රට ගොඩගත නොහැකි බවත්, විදෙස් රටවල සහාය ලබා ගැනීමට නම් නිශ්චිත කාලයකට සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවා ඉක්මනින්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පසුව නව රජයක් පිහිටුවිය යුතු බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉකුත් සිකුරාදා (10 දා) චීන තානාපති චී චෙන් හොන්ග් මහතා සමග පොලොන්නරුවේදී පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

චීන තානාපතිවරයා පොලොන්නරුව නව නගරයේ පිහිටි නිවසට විත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට ලබාදුන් විශාලතම වකුගඩු රෝහල ජනතා අයිතියට පවරා වසරක් සපිරීම නිමිත්තෙන් එම රෝහලට අවශ්‍ය ඖෂධ හා වෛi උපකරණ ඇතුළු ආධාර රැසක් රෝහල වෙත භාරදීමේ උත්සවයක් ඉකුත් සෙනසුරාදා (11 දා) පැවැත්විණි.

එහිදී හිටපු ජනාධිපතිවරයා හා චීන තානාපතිවරයා අතර වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය හා ඊට මුහුණදීමට චීනයෙන් ලබාදිය හැකි සහාය පිළිබඳවද සාකච්ඡා කොට ඇත.

එම සාකච්ඡාවෙන් පසු හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

“ඉදිරියේදී රටේ සාගත තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඇමැතිවරු නිලධාරීන් මොනවා කිව්වත් රටේ ආහාර අර්බුදයක් ඇතිවෙමින් තිබෙනවා. ආහාර නිෂ්පාදනය කඩාවැටිලා. පොහොර, වල්නාශක, කෘමිනාශක නෑ. තෙල් නෑ ඩීසල් නෑ. වී පමණක් නොව එළවළු පලතුරු ධාන්‍ය නිෂ්පාදනය පහත වැටිලා. මේ විදිහට ගිහිල්ලා මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. අපි හැම තිස්සෙම කිව්වේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හදන්න කියලා. මාස තුනක ඉඳන් කියනවා. පෙරේදත් පාර්ලිමේන්තුවේදී කිව්ව්ා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයන් එක්වෙලා සාකච්ඡා කරලා 15 ක ඇමැති මණ්ඩලයක්, සුළු කාලයකට මැතිවරණයක් දක්වා හදමු. එතකොට ලෝකයේ රටවල් ගොඩක් අපට උදව් කරනවා. ලෝකයේ විවිධ තානාපති අංශ සමග සාකච්ඡා කළා. ජාත්‍යන්තර සංවිධාන සමග පුද්ගලිකව කතා කළා. ඒ හැම දෙනෙක්ම කියන්නේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හදලා මැතිවරණය තියෙන දිනයක් තීන්දු කරනවා නම් රටවල් ගොඩක් ආධාර කරනවා කියලා. අපි දැන් ඉන්නේ විපක්‍ෂයේ. සහයෝගය දෙන්න පුළුවන් කරුණු තිබුණොත් සහයෝගය දෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේ මම විදුලි පනතට ඡන්දය දුන්නේ නෑ. අපට එකඟ වෙන්න බැරි කරුණු ඒකෙ තියෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පනත් හා යෝජනාවලට ජනතාවගේ යහපත, දූෂණ, වංචාවලින් තොරව කෙරෙන කටයුතුවලට අපි සහයෝගය දෙනවා. එහෙම නැතිව අපි රජයට උදව් දෙන්නේ නෑ. විශේෂයෙන්ම රජය වෙනස් වෙනකල් මේ රට ගොඩගන්න පුළුවන්කමක් නෑ. මේ රට

ගොඩගන්න පුළුවන් එකම ක්‍රමය නම් විශේෂඥයන්, ආචාර්ය, මහාචාර්යවරුන්, උගතුන් බුද්ධිමතුන් කියන්නේත් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හදන්න. ඒ තුළ ලෝකයේ රටවල් උදව් කරයි. රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය බඩගින්න. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වුණාම ලෝකයේ රටවල් අපට උදව් කරන්න ඉදිරිපත් වෙනවා… යැයිද කීය.

රොෂාන් තුෂාර තෙන්නකෝන් – පොළොන්නරුව

advertistmentadvertistment
advertistmentadvertistment