රජය ස්ථාපිත කළ සත්‍ය සෙවීමේ කොමිසම

61

රජය සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමට අනුමැතිය දී ඇත. ඉන් වසන් වූ සියලු මිනිස් සංහාර හෙළිදරව් වේ. අරන්තලාව භික්‍ෂු ඝාතනය, ශ්‍රී මහා බෝධිය පරිශ්‍රයේදී සිවිල් වැසියන් ඝාතනය, පොලිස් භටයන් 600 ක් තිරුක්කෝවිල්හිදී ඝාතනය, නැගෙනහිරදී මුස්ලිම් ජාතිකයන් 100 කට අධික පිරිසක් මරා දැමීම ඇතුළු ඝාතන රැසක් ගැන මෙම කොමිසම හමුවේ හෙළිදරව් වේ.

දකුණු අප්‍රිකානු සත්‍ය සෙවීමේ කොමිසමට සමානව ශ්‍රී ලංකාවේ සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කෙරෙනු ඇත. දකුණු අප්‍රිකානු කොමිසමට අපරාධකරුවන්ට සමාව දීම හා ප්‍රතික්‍ෂේප කිරීමේ බලය හිමිවී තිබුණි. එහෙත් ශ්‍රී ලංකාවේ කොමිසම හමුවේ ලබාදීමට නියමිත බලතල ප්‍රකාශයට පත්වී නැත.

ශ්‍රී ලංකාව තුළ සත්‍ය සෙවීමේ කොමිසම ව්‍යවස්ථාපිත කිරීම තුළින් යටපත් වූ අපරාධවල ඇත්ත හෙළිවේ.

ඊට හොඳම නිදසුන කොටහේනේදී අත්අඩංගුවට ගෙන සිටි තරුණයන් 11 ක පිරිස ගැන ද ඇත්ත හෙළිදරව්වීමේ තත්ත්වයක් මතුවීමයි.

සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු ආරම්භ වීමට පෙර බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකු ඝාතනය වී තිබුණි. ඔහු හමුදාවේ කර්නල් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකු බවට අනාවරණය විය. මුතාලිෆ් ඝාතනය ගැන විවිධ පුද්ගලයන්ට චෝදනා එල්ල විය. මේ පසුබිම මැද කොටුව දුම්රියපළේ බෝම්බ පිපිරීම, ටෙලිකොම් බෝම්බ පිපිරීම ඇතුළු ඝාතන රැසක සත්‍ය තොරතුරු එළිදක්වෙනු ඇත. එහෙත් සත්‍ය සෙවීමේ කොමිසම හමුවට මිනිස් ඝාතන සිදුකළ කොටි විදේශ රටවල සිට කැඳවිය හැකිද? ත්‍රිකුණාමලයේ ගම්මාන පිටින් විනාශ කළ දයා මොගන් අද සිටින්නේ ස්විස්ටර්ලන්තයේ සූරිච් නුවරය.

එසේම කොටි අපරාධකරුවන් 200 කට අධික සංඛ්‍යාවක් යුරෝපා රටවල සිටිති. අත්අඩංගුවේ සිටි හමුදා භටයන් 23 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමූ කොටි අපරාධකරුවන් දෙදෙනකු කැනඩාවේ සිටී. ඔවුන්ට දේශපාලන රැකවරණ ලැබී ඇත. තවත් කොටි ඝාතකයන් පිරිසක් බි්‍රතාන්‍ය පදිංචිවී සිටිති. එවැනි විටෙක සත්‍ය සෙවීමේ කොමිසම හමුවට කැඳවිය හැකි වන්නේ මෙරට සිටින චෝදනා එල්ල වූවන් පමණි.

කොටි ත්‍රස්තවාදී යුද්ධයට අරමුදල් සැපයූවන් විදේශ රටවල සිටින අතර කිසිදු රටක් ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කරන්නේ නැත. මෙවන් පසුබිමක් මත දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසම සාර්ථක වූවාට මෙරට සත්‍ය සෙවීමේ කොමිසම හමුවට කැඳවීමට ඉඩ ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ චෝදනා එල්ල වූ හමුදා ප්‍රධානීන් 59 ක කණ්ඩායම පමණකි. එවිට චෝදනා එල්ල වන්නේ හමුදා නිලධාරීන්ට පමණකි. එසේම ඝාතන සිදුකළ කොටි 120 කට අධික සංඛ්‍යාවක් රජය මුදාහැර තිබේ. මිසයිල ප්‍රහාර එල්ල කර ගුවන් යානාවක් වැනසූ කොටි ත්‍රස්තයන් දෙදෙනකු ද රජය මුදාහැරියේය. මේ තත්ත්වය මත සත්‍ය සෙවීමේ කොමිසම හමුවේ කොටි සහ රජයේ හමුදා යන දෙකොටසින් චෝදනා එල්ල වන්නේ රජයේ පාර්ශ්වයට පමණකි. එවිට කොමිසම සාර්ථක වේද?

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment