රජරට විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ පීඨයට නව ගොඩනැගිල්ලක්

297

ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඊට අගයක් ලැබෙන පරිදි සාම්ප‍්‍රදායික ක‍්‍රමයෙන් බැහැරව රටේ ජනතාවගේ කැකෑරෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ඒ පිළිබඳ දත්ත හා විසඳුම් ඉදිරිපත්කරන වැඩපිළිවෙළකට වහා ගමන්කළ යුතුව ඇති බව ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති සහ ඓතිහාසික මිරිසවැටිය රජමහා විහාරාධිකාරී ආචාර්ය ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ පෙන්වා දෙති.

රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තබමින් පසුගියදා (25) පැවැති උත්සවයේදී නාහිමියෝ මේ බව අවධාරණය කළ හ.

ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යටතේ තාක්ෂණ පීඨයට රුපියල් ලක්ෂ 50,000ක් වටිනා එම ගොඩනැඟිල්ල ඉදි කෙරේ.

රජරට ට දැවැන්ත තිරසාර සංවර්ධන වැඩසටහන් රැසක් ලබාදීමට ද ජනාධිපතිවරයා කටයුතුකර ඇති බව මිරිසවැටි නාහිමියෝ එහි දී කියා සිටිය හ.

ජනාධිපතිතුමා නිහඬව කරන සේවාව මාධ්‍ය මගින් සමාජගතකර නැතත් අප එය නිවැරදිව වටහාගත යුතුයි.

අපි බෙහෙවින්ම ජනාධිපතිතුමාට කෘතඥ විය යුතු බවයි මගේ අදහස. ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත ජනයා මියගොස් වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකයම කඩාවැටී තිබිය දී අපේ රටේ ජනතාවගේ ජීවිත හැකිතාක් ආරක්ෂාකරමින් රජයේ සේවකයින් සියලූ දෙනාට නොවඩුව වැටුප් ගෙව්වා. අභියෝග කරදර බාධක සියල්ල මැද්දේම මේ විශ්වවිද්‍යාලයට ලක්ෂ තිස්දාහක් දැනටම වෙන් කරලා හමාරයි. මම එතුමාට කරදරකරමින් උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය ආරම්භ කරන්න කියා ඉල්ලූවා. එවිට එල්ලංගා පද්ධතින් 137ක වැව් 1400ක් පුරවන්නට යෝජිතව ලක්ෂ 87,000ක් වෙන්කර මෙම උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය ආරම්භ කළා. එයින් පළමු අදියරේ දී කෘෂි හෙක්ටාර් 48,000ක් සහ දෙවන අදියරේ දී හෙක්ටාර් 14,000ක් සරු වෙනවා. අද ඖෂධ මාෆියාව ගැන අපි කතා වෙනවා. එතුමා ඒ බව තේරුම් අරන් ස්ථිර විසඳුමක් හැටියට ඔයාමඩුවේ දේශීය ඔසු හා බටහිර ඔසු නිෂ්පාදනයට විශාල නිෂ්පාදන සංකීර්ණයක් ඉදි කිරීමට මුල්ගල තැබුවා. මේ නිසා අපි කෘතඥ පූර්වකව මේ දෙස බලන්න අවශ්‍යයි. ඒ වගේම අපේ යුතුකම රටට කරන්න අවශයයි. සමාජයේ සිටින වකුගඩු රෝගීන්, දියවැඩියා රෝගීන් සහ විවිධ රෝගාබාධවලින් පීඩා ලබන ජන කොටස් තෝරාගෙන ඒ අය පිළිබඳව සමීක්ෂණය කරමින් දත්ත රැස්කර ප‍්‍රතිකාර සඳහා මඟ පෙන්වන වැඩ පිළිවෙළකට අපේ වෛද්‍ය පීඨය සූදානම් විය යුතුයි. ඒ වගේ සමාජයේ දැවෙන ප‍්‍රශ්නවලට විශ්වවිද්‍යාල මගින් විසඳුම් ගෙනා යුතුයි. දැනටම රුහුණු විශ්විවිද්‍යාලය එවැනි වැඩසටහනක් අරඹා තිබෙනවා. රටේ ම විශ්වවිද්‍යාල ජනතාව සඳහා මෙවැනි මඟ පන්වීම් කළ යුතුයි. නව පර්යේෂණ තුළින් අපේ සරසවිය ලෝක ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවෙන් තවත් ඉහළට යා යුතුයි. මිහින්තලේ පැරණි රෝහල ගැන මෙන්ම අපේ රටේ ඉතිහාසයේ තිබුණු විශ්වවිද්‍යාල ක‍්‍රමය ගැන පරීක්ෂණ සිදුවිය යුතුයි. විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශ , ගවේශණ ක‍්‍රියාවලින් සහ සමාජ සමීක්ෂණ ආදිය දියුණු කළ යුතුයි.

රජරට විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ පීඨයට නව ගොඩනැගිල්ලක්

විශ්වවිදයාලයෙන් බිහිකරන ප‍්‍රාඥයා හෝ වෘත්තිකයා මනුෂ්‍යත්වය ඇති අයෙක් බවට පත්කරන්න. මානවයාගේ යහපත සඳහා මේ තාක්ෂණය යොදාගන්න. මේ හැම දේම කරන්නේ ජීවත් වෙන්න. නැතිනම් ජීවිතය විඳින්න. ජීවත් වෙන්න හැම දේම කරලා ජීවත්වෙලා නැතිනම් කිසිවකින් වැඩකුත් නෑ. රට පිරිහුණේ යුතුකම හා වගකීම ඉටු නොවන නිසා. සමහරු සිය තනතුරු වෙනත් වැඩවලට යොදාගෙන. ලැජ්ජාව හා භය තුරන්වූ විට සමාජය පිරිහෙනවා. අපි කළ යුතු දේ නොව කළ හැකි දේ කළ යුතුයි. වෙනස් ලෙස සමාජය දේස බැලූ අයයි යහපත් ආකාරයට ලෝකය වෙන්ස කළේ. ඒත් ලෝකය වෙනස් කළ අයව මරලා දාලා තිබෙනවා. ඒ අයගේ චරිත ඝාතනය කරලා තිබෙනවා. ඒත් අපි අභියෝගත් සමඟ මේ ගමන යා යුතුයි. එකමුතුව
ගමන යා යුතුයි. නාහිමියෝ කියා සිටියහ.

මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සමඟ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත , රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද කරුණරත්න සහ තාක්ෂණ පීඨයේ පීඨාධිපති බුද්ධික ජයතිලක මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල බලධාරීහූ එම අවස්ථාවට එක්වූහ.

රජරට විශ්වවිද්‍යාලය දිවයිනේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලින් 7වැනි ස්ථානයේ සිට ඉහළ එමින් තිබීමත් ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් හයදහස් ගණනේ සිට 3472 දක්වා ලෝකයේ ප‍්‍රකට සරසවි 2008ක් ඉක්මවා ඉහළට පැමිණ තිබීමත් ගැන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා එහි දී සිය සතුට පළකළේ ය.

අනුරාධපුර සරත් මනුල වික‍්‍රම

advertistmentadvertistment
advertistmentadvertistment