රජාණ්ඩු නාඩගම් නෘත්‍යය

154

එකල්හි චූලෞෂධයෝ ශරීර කෘත්‍යාදී හා පාතරාසාදී පෙරයම් කටයුතු නිමවා ආලින්දයේ වූ සුව අසුනෙහි පාසුයෙන් දිගා වී ඉදිරි අංගනය කෙළවර පෙනෙනා වූ උත්තර ද්වාරය දෙස නෙත් හෙළා සිටිනුයේ තුමූ නිති පෙළනා වූ පැන විසඳුම් පිණිසැ හෝ වෙනත් වූ පිහිටක් පිණිසැ හෝ අරුණළු නැගෙනා යාමයේ සිට නිරන්තර පැමිණෙන්නා වූ අසරණ වූ පීඩිත වූ මඤ්ඤං වැසියන් එකකු හෝ අද පැමිණෙනා සෙයක් නොවූයෙන් මඳක් විශ්මවැ,‘සියලූ මඤ්ඤං පැන එක් රැයින් වාෂ්පවැ ගොස් ඇත්තේද? ජෙප්ප විප්ලවය මස්තකාප‍්‍රාප්තවීදැ?’යි සුව අසුනෙන් නැඟී කල්පනායෙන් යුතුවැ ආලින්දයෙහි ඔබැ මොබැ සක්මනක යෙදෙනුයේ රැස්වුම් මණ්ඩපය ඉසව්වෙන් එක්වරම නැගුනා වූ මඳ ඝෝෂාවෙක් ද ඒ හා නැගුනා වූ කිසියම් සංවාදයක් බඳු නාදයක් ශ‍්‍රවණ වූයෙන් තුමූ පැන විසඳා ගැනුමෙහි පැමිණෙනා මඤ්ඤං හුදී ජනයාවත් තුමුනට නොපෙනී පැමිණ ඇතිදැයි සැකව රැස්වුම් මණ්ඩපය සමීපයට විත් කවුළුවකින් එබී බලනාහ. එසේ බැලූ කල්හි අටානූවක් පැන ද නවානූවක් තැවුල් ද ආදී වූ දොස් නිරාකරණ පිණිස නිරන්තර පැමිණෙන්නා වූ ශ‍්‍රාවක ජනයා රැස්වුම් මණ්ඩපයෙහි තන්හි තන්හි දපා තියා හිඳිනායුරු හා එක් මානවකයකු තවකෙකුගෙන් යමක් විමසනු හා අනෙකා ඊට සපයනා වූ පිළිවදන් ඉතිරි උන් මහත් වූ උනන්දුයෙන් අසනා හෝ ඌණ පූරණ කරනායුරුද දැකැ වික්ෂිප්ත වනුයේ උන් ඒ සා වූ උනන්දුයෙන් කුමක් කියනාදැයි අසනු පිණිසැ කවුළු පියන්පතට මුවාව සවන් යොමනායැ.

රජාණ්ඩු නාඩගම් නෘත්‍යය

පැන නගනා වූ මානවක තෙමේ අනෙකාට දබරාංගුලිය දිගු කොට, ”එම්බල, තොප මනා සතොසින් වසනා වූ මඤ්ඤංලන්ත රාජ්‍යයේ රාජ්‍ය කරනා වූ රජාණ්ඩුව හැර තවත් ආණ්ඩු තිබේදැ?’යි ඇසූ කල්හි එතැනම තප්පලං ලා හිඳ සිටියා වූ පුඟුලා ඊට පිළිවදන් සේ,”එසේය, සියඹලාණ්ඩුව තිබේයැ,’යි කියනායැ. පැන විමසුම් පුඟුලා යළි,”එකී රජාණ්ඩුවත් සියඹලාණ්ඩුවත් හැර තවත් ආණ්ඩු තිබේදැ’යි අසනුයේ පිළිවදන් බඳනා පුඟුලා,”එසේය, දඹදිවාණ්ඩුව තිබේයැ’යි පවසනායැ. ”එකී රජාණ්ඩුවත් සියඹලාණ්ඩුවත් දඹදිවාණ්ඩුවත් හැර තවත් ආණ්ඩු තිබේදැ?’යි යළි පැන නැගු කල්හි අනෙකා වහා,”එසේය, ස්වාමීනී චිහිනාණ්ඩුව තිබේයැ’ යි පවසනායැ. චූලෞෂධයෝද මෙසේ මුන් කුමන වූ කෙළියක් කෙළනුදැයි වටහාගත නොහී හුන් තැනින් මෑත්ව උන් හමුයේ පෙනී සිටිනුයේ,”එම්බා දරුවෙනි, තෙපි රහසේම මෙකී රැස්වුම් මණ්ඩපයට ගාල් ව මහත් වූ උනන්දුයෙන් කිමෙක් කතිකා කෙරෙත්දැ? ඇසූ වදන් ප‍්‍රකාර මහින්දාගමන නාටකය පෙරහුරු කෙරෙනා සේ පෙනෙනායැ’යි කියනාහ. එකල්හි පුඟුලන් රැලද කලබලවැ හුනසුන් වලින් නැගී සිටිනුයේ,”එසේ නොවන්නේයැ ස්වාමීනී, නොවන්නේත් නොවන්නේයැ.’යි කී කල්හි චූලෞෂධයෝ මුන් කවර වූ අපරබංශයක් කියනාදැයි වටහාගත නොහී සිටිනා කල්හි,”ස්වාමීනී, මේ වනාහී මඤ්ඤං හුදී ජනයින් මෙකල්හි නරඹනා වූ නෘත්‍යය වන්නේයැ. නුඹ වහන්සේද එකී නෘත්‍යය නරඹනු රිසි නම් මූලාසනාරූඪ වනු මැනව.’යි පැන නඟනා පුඟුලා කී කල්හි චූලෞෂධයෝද එකී වදන් පිළිගෙන,‘මුන් කිමෙක් කරත්දැයි බැලූම වටනායැ’යි අසුන් ගන්නාහ.

එකල්හි නෘත්‍යය යළි ඇරඹෙනුයේ පැනකාර පුඟුලා,”ඉදින් සකිය, තොප මෙතුවක් කී එකී සියඹලාණ්ඩු දඹදිවාණ්ඩු හා චිහිනාණ්ඩුු හැර තවත් ආණ්ඩු තිබේදැ?’යි අසනායැ. ”එසේය ස්වාමීනී, ඒ නම් මෝල් ආණ්ඩුවයැ’යි පුඟුලා ඊට පිළිවදන් බඳිනායැ. පැනකාර පුඟුලාද එකී පිළිවදන අසා,”මෝල් ආණ්ඩුව? ඒ කිමෙක්ද? තා කියනුයේ පෙරකල්හි දඹදිව් රාජ්‍යයේ පැවැති මෝගල් අධිරාජ්‍යයදැ?’යි ඇසූ කල්හි චූලෞෂධයෝ තුමුනටද පිළිවදන්කාර පුඟුලා කී එකී ආණ්ඩුව පිළිබඳ නිනව්වක් නොමැති හෙයින් උහු පවසනා දැයට මහත් උනන්දුයෙන් සවන් යොමනාහ. ”නැතැ ස්වාමීනී, මා දන්නා මෝගල් ආණ්ඩුවක් නොමැත්තේයැ. මොංගල් ආණ්ඩුවක් නම් මෙකී රජාණ්ඩුව තුළම ඇත්තේයැ. එය නොව මා පැවසූයේ මෝල් ආණ්ඩුව පිළිබඳවයැ.’යි පුඟුලා කියනුයේ,”එකී ආණ්ඩුව වනාහී මඤ්ඤං ජනයාගේ දෑහිත අහර වූ බත හා පිෂ්ඨ මිල කවරේදැයි අණපනත් පනවනා ආණ්ඩුව වන්නේයැ. මහා මෝලා ප‍්‍රමුඛ බැත මෝලූන් සුඟක් හා පිෂ්ඨ මෝලූන් සුඟක් වූ එකී මෝල් ආණ්ඩුව විසින් රජාණ්ඩුව ආණ්ඩුමට්ටු කරන ලද්දේයැ.’යි පුඟුල් තෙමේ මෝල් ආණ්ඩු පැනය පහදනායැ. මෙබස් අසනා චූලෞෂධයෝද මනා තුටු සිතැතිවැ,‘මුන් නම් සැබෑ සපනුන් යැ’යි සිතමින් නෘත්‍යය තවදුරටත් රසවිඳිනායැ. ”ඉදින් සකිය, තා පැවසූ එකී ආණ්ඩුත්, රජාණ්ඩුවත් මෝල් ආණ්ඩුවත් හැර තවත් ආණ්ඩු තිබේදැ?’යි පෙරසේමැ අසනායැ. පිළිවදන්කාර පුඟුල් තෙමේ ද,”තිබේය ස්වාමීනී, ඒ වනාහී මැටියාණ්ඩුවයැ.?’යි කී කල්හි පැනකාර පුඟුල් තෙමේ,”එකී ආණ්ඩුව වනාහී කිමෙක්ද සකිය? මැටි ඇමැටියාදීන්ගේ මැටි කර්තව්‍යයන් උදෙසා ඉන්තේරුවෙන්මැ රජාණ්ඩුවට කියනා සන්නාමයක් වියයුත්තේයැ.’යි තුමූ පෘථුල දැනුම පානායැ. පුඟුලාද මඳක් තාවරවැ හිඳ,”එසේ වන්නටද පිළිවන ස්වාමීනී, එතෙකුදු මා පැවසූයේ කුදු මහත් දුක්පත් පොහොසත් සැම මඤ්ඤං ජනයාගේ ගේ දොර නිවස්න ගොඩනගනු වස් අතවැසි වූ යම් මැටි සුණු වෙසෙසක මිල කවරේදැයි අණපනත් පනවන්නා වූ මැටියාණ්ඩුව ගැනයැ.’යි පිළිවදන්කාර පුඟුලා ඊට ප‍්‍රතිඋත්තර බඳනායැ. මෙසේ මෙකී නාඩගම් නෘත්‍යය නරඹනා රැස්වුම් මණ්ඩපයෙහි වන්නා වූ අවසෙස් ජනයා,‘මුන් පවසනා දෑ සත්තක්ම නොවේදැ’යි පසක් කරගන්නා සේ එකකු දෑස් අයා ද තවකෙකු මුව අයා ද තව උන් දෑස් ද මුව ද ආදී දෙයාකාරවම අයා ද අසා බලා හිඳිනාහ.

එකී පේ‍්‍රක්ෂක පතිචාරයෙන් දිරිමත් වන්නා වූ දෙනළුවෝ එකිනෙකෙකු පරයා එකසේ රඟ දක්වනුයේ පැනකාර පුඟුලා,”එසේමැ සකිය, තා පැවසූ එකී ආණ්ඩුද මැටියාණ්ඩුවද හැර තවත් ආණ්ඩු තිබේදැ?’යි ඇසූ කල්හි,”ඇයි ස්වාමීනී වාතාණ්ඩුව?’යි උහු පැනයකින්මැ පිළිතුරු බඳනායැ. පැනකාර පුඟුලා එකල්හි ජයග‍්‍රාහීවැ,”සකිය, ඒ නම් ටක්කයටම රජාණ්ඩුවට කියනා තවත් නාමයක්මයැ’යි කී කල්හි එබසටද පිළිවදන්කාර පුඟුලා පෙරසේමැ,”එසේත් කිවහැක්කේයැ ස්වාමීනී, වැලිදු මා කියනා මෙකී වාතාණ්ඩුව වනාහී පෙර මා කිවූ මඤ්ඤං වැසියන්ගේ මහ අහර වූ බත ද අනෙක් භෝජනද පිසගැනුම් පිණිස වූ ලිප් දල්වා ගන්නා වූ ජීව වායු විකුණනා උන්යැ. එකී අතවැසි වායු මිල කරනා අණපනත් පනවන්නවුන් වනාහී උන්යැ.’යි එකී වාතාණ්ඩුව යනු කුමක්දැයි පසක් කළ කල්හි පැනකරුවා,”ඉදින් සකිය, එවන් වූ අතවැසි දැයක මිල අණපනත් උන් පනවන කල්හි රජාණ්ඩු වාණිජ ඇමැට්ටා කිසිත් නොකළෙහිදැ?’යි ඇසූ කල්හි පිළිවදන්කරුවා වහා පැනැ,”කෙළෙහියැ. කෙළෙහියැ. ස්වාමීනී, කෙළෙහියැ. වාතාණ්ඩුව විසින් එක්දහස්දෙසිය සත් පනස් කහවනුවකින් එකී ජීව වායු මිල නැංවූ කල්හි වාණිජ ඇමැට්ටා වහා පැනැ එකී මිල සැත්තෑපස් කහවනුවෙකින් අඩු කළෙහියැ. ඉදින් ස්වාමීනී එකී නිර්භය වීර කර්තව්‍යය මඤ්ඤමුන් වූ අප විසින් අගය කළයුතු නොවේදැ?’යි ඇසූ කල්හි පැනකාර පුඟුලා,”එසේයැ. එසේයැ. ඉදින් රජාණ්ඩුව විසින් එකී අතවැසි දෑ මිල පිළිබඳ අණපනත් පත් පරසිදු කළේ නොවේදැ? එකී පනත් පත් වලට කිමෙක්වීදැ?’යි අසනුයේ,”ඒවාදැ, පෙර කී ආණ්ඩු විසින් ඒවා රෝල කොට රජාණ්ඩුවටමැ දෙන ලද්දේයැ.’යි රජාණ්ඩු නාඩගම් නෘත්‍යය නිමා කොට තිරය වසනා ලද්දේයැ.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment