රජීව් ගාන්දිට ගහන ෆොටෝ එක ගත් ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වෙයි

656

ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියකු වූ සේන විදානගම මහතා ඊයේ (08 දා) අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වනවිට 76 වැනි වියෙහි පසුවූ සේන විදානගම මහතා කලක් ප්‍රංශ පුවත් සේවයේ මෙරට ඡායාරූප ශිල්පියා ලෙස සේවය කළ සංඛ විදානගම මහතාගේ හා දියණියකගේ පියාණන් වෙයි.

ලේක්හවුස් ආයතනයේ හා ප්‍රංශ සේවයේ දශක කිහිපයක් සේවය කළ සේන විදානගම මහතා 1970 දී ලේක්හවුස් ආයතනයට එක්වීමෙන් සිය මාධ්‍ය වෘත්තීය ආරම්භ කළේය.

1987 ජූලි මස 30 වැනිදා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා මෙරටට පැමිණි අවස්ථාවේ ඒ මහතා වෙනුවෙන් පැවැති උත්තමාචාර පෙළපාලියේදී නාවික හමුදා සෙබළකු විසින් රජීව් ගාන්ධි මහතාට රයිෆලයකින් පහරදීමට උත්සාහ කිරීමේ අවස්ථාව ක්‍ෂණිකව සිය කැමරා කාචයේ සටහන් කර ගැනීමට හැකිවීම සේන විදානගම මහතාගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සංදිස්ථානයක් විය. පසුව එම ඡායාරූප ලොව සුවිශේෂීම ඡායාරූප කිහිපය අතරට එක්වූ අතර එම ඡායාරූපය හේතුවෙන් සේන විදානගම මහතා ප්‍රංශ පුවත් සේවයේ මෙරට ඡායාරූප ශිල්පියා ලෙස පත් කරනු ලැබීය.

1995 දී ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පත්වූ සේන විදානගම මහතා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.

2019 වසරේ දී ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධාන කරන ලද ඡායාරූප ප්‍රදර්ශනය හා සම්මාන ප්‍රදානෝත්සවයේදී සිය ජනමාධ්‍ය ජීවිතයේ ඉටුකළ විශිෂ්ටතම සේවාව වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සම්මානය ඇතුළු සම්මාන ගණනාවකින් පිදුම් ලැබ ඇති සේන විදානගම මහතා ප්‍රවීණ හා ආධුනික ඡායාරූප මාධ්‍යවේදීන්ගේ නොමද ගෞරවයට පාත්‍රවූ අයෙකි.

අභාවප්‍රාප්ත සේන විදානගම මහතාගේ දේහය අංක 57/21, නිදහස් මාවත, හෙට්ටියාවත්ත, ඇලපිටිවල, රාගම නිවසේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුත අද (9 දා) සවස 6.00ට වැලිසර පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

කමල් බෝගොඩ
 

advertistmentadvertistment
advertistmentadvertistment