රජීව් ඝාතන වරදකරුවන් නිදහස් කිරීම: – කොංග්‍රස් පක්ෂයේ දැඩි විරෝධය

347

ප්‍රහාරයට මොහොතකට පෙර

විශාකපට්ටනම් සහ ආන්ද්‍ර ප්‍රදේශ් හි පැවති කොංග්‍රස් පක්ෂයේ දේශපාලන රැලිවලට සහභාගි වූ අගමැති රජීව් ගාන්ධි කෙළින්ම ශ්‍රීපෙරුම්බුදුර් වෙත පැමිණියේ මදුරාසි ගුවන් තොටුපළට ගුවන් මගින් පැමිණීමෙන් පසුවය. ඔහු මෝටර් රථ පෙළපාලියකින් ශ්‍රීපෙරුම්බුදුර් වෙත කැඳවාගෙන එනු ලැබුවේ තමිල්නාඩුවේ පක්ෂ සංවිධායකයන් විසිනි. ඒ දෛවෝපගත දිනය ඒ 1991 වසරේ මැයි 21 වැනිදායි. රැලිය පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානය අසලදී මෝටර් රථයෙන් බට රජීව් ගාන්ධි රැලිය ඇමතීමට විශේෂයෙන්ම සකස් කර තිබූ පීඨිකාව වෙත ඇවිද ගියේ ජන ගඟ අතරිනි. ජනයා මල් විසි කරමින් රජීව්ට සුබපතන්නට විය. ඒ අතරමඟදී ඔහුට උපහාර දැක්වීමට මහ සෙනඟ ඉදිරිපත්ව කිහිප වරක්ම මල් මලා පැළඳවූහ. ධනු හෙවත් තෙන්මෝෂි රාජරත්නම් ද සිටියේද එකී ජනතාව අතරය. දැඩි සිත් වූ ඇයගේ මුහුණේ තැතිගැන්මක් හෝ බියක් දක්නට නොවීය. ඉතාමත් සාමාන්‍ය ලෙස ජනතාව අතරින් ඉදිරියට පැමිණි ඇය අගමැතිවරයා වෙත තමා අත වූ මල් මාලය පෙන්වමින් එය ගෙල පැළඳීමට අභිනයෙන් අවසර පැතුවාය. අගමැති රජීව් ගාන්ධි මොහොතක් නැවතී ඇයට හිස පෑවේ ඔහුට වඩා මිටි ඇයට එම මල් මාලය ඔහුගේ ගෙල පැළඳීමට පහසු වනු පිණිසය. ඇය මල් මාලය අගමැතිවරයාගේ ගෙලේ පැළඳවූවාය. එයින්ද නොනැවතුනු ඇය තවදුරටත් පහතට නැමුනේ අගමැතිවරයාගේ පා දූවිලි ගෙන තම හිස මත තවරා ගනු පිණිසය. මෙලෙස පහතට නැමුණු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කාන්තාව ක්ෂණයකින් ඇයගේ උදරයේ සඟවා සකස් කොට තිබූ අධි බල බෝම්බ බඳ පටිය ක්‍රියාත්මක කළාය. ඒ මොහොත ඉන්දිරා ගාන්ධිගේ පුතුගේ මෙන්ම තවත් 16 දෙනකුගේ අවසන් තත්පරය විය. 46 හැවිරිදි අගමැතිවරයා කෑලි කෑලිවලට කැඩී ගියේය. රජීව් ඝාතනය කළ මරාගෙන මැරෙන බෝම්බකාරිය වූයේ තෙන්මෝෂි රාජරත්නම් මඩකලපුවේ පදිංචිකාරියක් බව පසුව හඳුනාගනු ලැබීය. ඉන්දීය අගමැතිවරයාගේ ඝාතනය 21 හැවිරිදි ප්‍රාදේශීය ඡායාරූප ශිල්පියකුගේ කැමරාවේ සටහන්ව තිබිණි. ඔහු මියගොස් තිබුණද කැමරාව එම ස්ථානයේ තිබී සොයා ගන්නා ලදී. කැමරාවට කිසිදු හානියක් සිදු නොවීම නිසා මේ කුමන්ත්‍රණය ඉක්මනින් හෙළිකර ගැනීමට හැකිවිය. මේ ඡායාරූප ශිල්පියා හරිබාබු ලෙස හඳුනාගෙන තිබිණි.

රජීව් ඝාතන වරදකරුවන් නිදහස් කිරීම: - කොංග්‍රස් පක්ෂයේ දැඩි විරෝධය

අගමැති රජීව් ඝාතනය මුළු ලොවම එක් මොහොතකින් සසල කිරීමට සමත් වූ අතර එම ඝාතනය එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ්‍රී ලංකා භූමියෙන් බැහැරව එතෙක් සිදු කළ ප්‍රබලතම ප්‍රහාරය විය. කොටි සංවිධානය විශ්වාස කළ වරදට ජීවිතයෙන් වන්දි ගෙවන්නට ඉන්දීය අගමැතිවරයාට සිදුවිය. ඔහු උතුරට පරිප්පු දැමුවා පමණක් නොව ප්‍රභාකරන් කොටු කළ වඩමාරච්චි මෙහෙයුමද නතර කර දැමීය. නමුත් අවසානයේ සිදුවූයේ කුමක්ද? මේ ඝාතනය සාර්ථක වීම කොටි නායක ප්‍රභාකරන්ට බෙහෙවින් ප්‍රීතිය ගෙන දෙන්නක් විය. එදා ත්‍රස්ත නායකයා සමග ලඟින් සිටි කරුණා අම්මාන් පසුකාලීනව මේ මතකය අවදි කර තිබුණේ මෙසේය. “ඔහු දැඩි ලෙස සතුටට පත් වුණා. ඔහු පළිගැනීමට කැමති නායකයෙක්. ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාවට එවීම පිළිබඳවත්, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විශාල පිරිසක් ඔවුන් අතින් ඝාතනය වීමත්, සාම සාකච්ඡා පැවති සමයේ එල්.ටී.ටී.ඊ.ය සතුව තිබූ නෞකාවක් ඉන්දියානු සාම සාධක හමුදාව විසින් විනාශ කිරීමත්, එහි ගමන් ගත් කිට්ටු ඇතුළු නායකයන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් යන කරුණු සම්බන්ධයෙන් ප්‍රභාකරන් දැඩි ලෙස රජීව් ගාන්ධිට වෛර කළා. ඒ අනුවයි ඔහු රජීව් ගාන්ධි ඝාතනය කිරීමට තීරණය කළේ”.

රජීව් ඝාතන වරදකරුවන් නිදහස් කිරීම: - කොංග්‍රස් පක්ෂයේ දැඩි විරෝධය

අද රජීව් ගාන්ධි ඝාතනය ගැන යළි සිහිකරන්නට සිත්වූයේ මන්ද? රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්වූ සයදෙනකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකර තිබීම නිසාය. මේ තීන්දුව පසුගිය සිකුරාදා නිකුත්කර තිබිණි. මේ නියෝගය සම්බන්ධව ඉන්දියාවේ දේශපාලන පක්ෂ අතර දැඩි ආන්දෝලනයක් ඇතිව තිබෙන අතර කොන්ග්‍රස් පක්ෂය මේ තීරණය දැඩිව විවේචනය කර ඇත. ඝාතකයන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කිසිසේත්ම පිළිගත නොහැකි අතර සම්පූර්ණයෙන්ම දෝෂසහගතයි. එය කිසිසේත්ම පිළිගත නොහැකි බව කොංග්‍රස් පක්ෂය කියා සිටිනවා,” පක්ෂයේ ප්‍රකාශක ජයරාම් රමේෂ් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණි. 2014 දී මෙම වරදකරුවන් නිදහස් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව උත්සහ ගත්තද එය දිල්ලි මධ්‍යම ආණ්ඩුවේ මැදිහත්වීමෙන් වලකන ලදී. ඒ අවස්ථාවේ හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා මෙලස නිවේදනයක් නිකුත් කර තිබුණු බව අපට හොඳින් මතකය. “රජීව් ගාන්ධි ඝාතනය ඉන්දියාවේ ආත්මයට එල්ල කළ පහරකි. ඉන්දියාවේ හිටපු අගමැතිවරයකුගේ සහ අපේ ශ්‍රේෂ්ඨ නායකයාගේ මෙන්ම තවත් අහිංසක ඉන්දියානුවන් කිහිපදෙනකුගේම ඝාතකයන් නිදහස් කිරීම යුක්තිය පිළිබඳ සියලු මූලධර්මයන්ට පටහැනි වනු ඇත.

ත්‍රස්තවාදයට එරෙහි අපගේ සටනේ දී කිසිදු රජයක් හෝ පක්ෂයක් මෘදු නොවිය යුතු ය.” නමුත් 2022 දී භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව මෘදු බවක් පෙන්වා ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට ද?

රජීව් ඝාතනයෙන් මාසයකට පමණ පසු නාලනී සහ ඇගේ සැමියා මුරුගන් අත්අඩංගුවට ගැනිණි. පොලිස් භාරයට ගෙන තිබූ ඇයගේ පාපොච්ඡාරණ ප්‍රකාශයේ සඳහන් වූයේ ප්‍රහාරය සිදු කළ සුභා සහ ධනු යන ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකුට ඇය සත්කාර කළ බවයි. ඝාතනය සිදු වූ දින ඔවුන් ඇඳ සිටි ඇඳුම් මිලදී ගැනීමට ඔවුන් රැගෙන යෑම, ඔවුන්ගේ සැලසුම කල්තියා දැන සිටීම සහ ඔවුන් සමඟ රජීව්ගේ මැතිවරණ රැලියට පැමිණීම යන චෝදනා එල්ල විය. ධනු සියදිවි හානිකර ගැනීමෙන් පසු නාලිනී, සුභා සහ එල්.ටී.ටී.ඊ. මහ මොළකරු සිවරාසන් පළා ගිය බවත් චෝදනා පත්‍රයේ සඳහන් විය. 1998 දී පැවැත්වුණු නඩු විභාගයක් මඟින් පුද්ගලයන් 25 දෙනකුට මරණ දඬුවම ලබා දී තිබිණි. එහෙත් 1999 දී ශ්‍රේෂ්ඨාධිකරණය වරදකරුවන් බව තීරණය කළේ මෙයින් සත්දෙනකු පමණි. වරදකරුවන්නේ සිව්දෙනකුට – පෙරාරිවාලන්, එස්. නාලනී, සාන්තන් සහ ශ්‍රීහරන්ට මරණ දණ්ඩනය නියමවූ අතර, තවත් තිදෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවිය. ඉතිරි අය සියලු චෝදනාවන්ගෙන් නිදොස්කොට නිදහස් කරන ලදී. ගාන්ධිගේ වැන්දඹු බිරිඳ සෝනියා ගාන්ධි විසින්, නාලිනී ගැබ්ගෙන සිටින බව පෙන්වමින් ඉදිරිපත්වූ සහන දැක්වීමේ පෙත්සමකට අනුව, 2000 වසරේ දී ඇගේ මරණ දඬුවම ලිහිල් කරනු ලැබුණි. පසුගිය සිකුරාදා සිය නියෝගය හරහා ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ මෙම කාලය තුළ සිරකරුවන්ගේ හැසිරීම “සතුටුදායකව” පැවත ඇති බව යි.

රජීව් ගාන්ධි ඝාතනයේ එක් වරදකරුවෙක් වූ රවිචන්ද්‍රන් නිදහස් වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වා තිබිණි. ඔහු පවසා තිබුණේ වින්දිතයා, ත්‍රස්තවාදියෙක් නොවේ යනුවෙනි. “ත්‍රස්තවාදියා හෝ මිනීමරුවා වෙනුවට උතුරු ඉන්දියාවේ ජනතාව අපව වින්දිතයන් ලෙස දැකිය යුතුයි. ත්‍රස්තවාදියා හෝ නිදහස් සටන්කාමියා කවුද යන්න කාලය සහ බලය තීරණය කරයි. නමුත් ත්‍රස්තවාදීන් වීමේ වරද අප විසින් දරනු ලැබුවද කාලය අපව නිර්දෝෂී ලෙස විනිශ්චය කරනු ඇත” යනුවෙන් මේ නිදහස් කරනු ලැබූ ප්‍රහාරකයා සඳහන් කළ බව ඉන්දීය පුවත්සේවා වාර්තා කර තිබිණි. මේ රවිචන්ද්‍රන් ඉන්දියාවේ මෙන්ම ලංකාවෙත් කොටි කඳවුරක පුහුණුව ලබා තිබිණි. කිට්ටු සහ සුබ්‍රමනියම් වැනි එල්.ටී.ටී.ඊ. නායකයන් ඔහුට

මුණගැසුණු බව කියන අතර, මදුරාසියේදී සිවරාසන්ට උදව් කරන ලෙස පොට්ටු අම්මාන් ඔහුට දන්වා තිබිණි. ඝාතනයෙන් පසු සිවරාසන් ඇතුළු පිරිසට පැන යෑමට නවාතැන් දීම සහ උපකාර කිරීම ද ඔහුට පැවරී තිබුණි.

ඝාතන නඩුවේ තවත් වරදකරුවකු වූ ඒ. ජී. පෙරාරිවාලන් පසුගිය මැයි මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කිරීමෙන් පසු එස්. නාලිනී සහ ආර්. පී. රවිචන්ද්‍රන් යන වරදකරුවන් විසින් තමන් නිසිකලට පෙර නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව මේ හය දෙනාම නිදහස් විය. වරදකරුවන් හය දෙනාගෙන් නාලනී සහ රවිචන්ද්‍රන් ඉන්දීය පුරවැසියන් වන අතර සාන්තන්, මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් ශ්‍රී ලාංකිකයන් වේ. එම හය දෙනාගෙන් තිදෙනකු – නාලිනී ශ්‍රීහරන්, ඇගේ සැමියා මුරුගන් සහ සාන්තන් – චෙන්නායි ප්‍රාදේශීය අගනුවර සිට කිලෝමීටර් 140ක් පමණ දුරින් පිහිටි වෙල්ලෝර්හි සිරගෙවල් දෙකකින් සෙනසුරාදා පිටව ගොස් තිබේ.

“මගේ සැමියා සහ දියණිය සමඟ අලුත් ජීවිතයක් ගතකරන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඇත්තටම මට වසර 30කට වැඩි කාලයක් සහයෝගය දුන් දෙමළ ජනතාවට මම ස්තුතිවන්ත වෙනවා. මම ප්‍රාන්ත සහ මධ්‍යම ආණ්ඩු දෙකටම ස්තුතිවන්ත වෙනවා යනුවෙන් නාලිනී නිදහස් වීමෙන් පසු එන්ඩීටීවී නාලිකාව සමග පවසා තිබිණි. රොබට් පායිස්, ජයකුමාර් සහ රවිචන්ද්‍රන් – චෙන්නායි හි සහ එම ප්‍රාන්තයේ මදුරෙයි නගරයේ බන්ධනාගාරවලින් පිටව ගොස් තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment