රටක් වසඟ කළ හඬක රුව ගුණ

761

පෙම් කවක් ලියූ
නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳි උන් මා මනසේ
පෙම් පුරා වතක් නිම කරන්න ද මා කෙලෙසේ

සුරම්‍ය මාපිටියගේ හිතේ ඇඳුන මේ පදවැල් නන්දසේන කටුවාවලගේ අපූරු සංගීතයෙන් සමාජ ගතවෙන්නේ කරුණාරත්න දිවුල්ගනේගේ ළයාන්විත හඬින්. ඒ මීට දශක ගණනාවකට ඉහත දී.

දැන් මේ මියුරු ගීතය අලූත් මානයකින් රසික සිත් සතන් අමන්දානන්දනයට පත්කර තිබෙන්නේ යූ ටියුබ් ඔස්සේ මුදාහැරුණු දිවුල්ගනේ තරම්ම ළයාන්විත කට හඬක් හිමි ගැමියෙක් නිසා. ඔහු චන්ද්‍රසිරි සේදරහෙට්ටි. දකුණු පළාතේ තිහගොඩ නාරංගල ගමේ සරල දිවි පෙවෙතක් ගතකරන මේ අපූරු පුද්ගලයා මුළු රට ම හඳුනගත්තෙ

දිවුල්ගනේගේ මේ ගීතයත් සමග. ඒ සමගම මේ ගීතය ශ‍්‍රවණය කිරීමට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේ චන්ද්‍රසිරි ගැන බොහෝ දෙනකු හොයන්න ගන්නවා. ඒ සෙවීමේ තරම පුදුමාකාර වන්නෙ ඔහුගේ හඬ සමාජ ජාලවලට මුදාහැර පැය දෙක තුනක් යනවිට රට වටා රසික රසිකාවියන් දහස් ගණන් ඔහු වටා රොද බැඳගන්නා නිසා.

‘මම මේ ගීතය පෙරහුරු කරලා ගායනා කළ එකක් නෙවෙයි. පුතාට කිව්වා ගීතයක් කියන්න ආසයි කියලා. වචන ටික දැනගෙන හිටියෙත් නෑ. පුතා ෆෝන් එක අරන් වචන ටික දුන්නා. මම ගායනා කළා.’

කවුරුත් දැන් ආදරය කරන ‘පෙම් කවක්’ ගායනා කෙරුණු හැටි ගැන සේදර කියන්නෙ එහෙම. පාසල් කාලයේ දී සංගීත විෂයක් විදිහට හදාරා නැති චන්ද්‍රසිරි සේදරහෙට්ටි මේ ගායන හැකියාව උපතින්ම ගෙන ආවක්. ජීවිතේ ඇතැම් අවස්ථාවල දී ඔහුට එම නිසග හැකියාව එළියට දාන්න ලැබුණු අවස්ථාත් තිබුණු බව ඔහු කියනවා.

පාසලේ සාහිත්‍ය තරගයටවත් මං ගීත කියලා නැතිවුණාට ගමේ යෞවන සමාජයේ ඇරයුමෙන් ගීත ගායනා තරගයට ගිහින් 1982 වසරේ දී මම යොවුන් ගීත කණ්ඩායමට තේරුණා. ඊට පස්සේ 1991 කඹුරුපිටිය ගම් උදාවට බලන්න ගිය අවස්ථාවේ ගීත ගායනා තරගයෙන් පළමුවැනියා වෙලා ගුවන් විදුලියේ ගීතයක් ප‍්‍රචාරය කරගන්න හැකිවුණා. ඒත් මට කවදාවත් මේ ක්‍ෂේත‍්‍රයෙන් ඉදිරියට යන්න හිතක් පහළ වෙලා තිබුණේ නෑ.

චන්ද්‍රසිරි සේදර මේ ලබපු අහඹු ජනප‍්‍රියත්වය ගැන සමාජ මාධ්‍ය එසේ අදහස් දක්වා තිබුණා.

තිහගොඩ ගමේ සරල දිවි පෙවෙතක් ගෙවන රටම දැන් දන්න සේදරහෙට්ටි වයස 55ක් පිරුණු දෙදරු පියෙක්. ඔහු ගමේ සමාජ සේවකයෙක්. ඔහුගේ වැඩිමල් පුතා සත්සර සේදරහෙට්ටි රූපවාහිනී ආයතනයක සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. ‘පෙම් කවක්’ එක්ක ඔහු ගැන ලෝකයක් හඳුනා ගත්තෙ අහඹු ලෙස. ගෙදර තිබෙන සත්සරගේ ශබ්දාගාරයේ දී කාන්සිය නිවාගන්න කියපු ගීතය නිසා සංගීතයෙන් සතුට විඳීම හැර එහිි වෙනත් බලාපොරොත්තු තිබුණේ නැහැ. ඒ යහපත් බව සමග බද්ධ වුණු ඔහුගේ මියුරු නිවුණු හඬ රටක් ආදරය කරන තැනකට අද ඔහුව රැුගෙන ගිහින්.

advertistmentadvertistment
advertistmentadvertistment