රටටත් ගම්වැසියන්ටත් සතුන්ටත් අහිමි මත්තල…

896

දැන් වී ගබඩා කරන්නත් නෑ… වැඩකට ගන්නෙත් නෑ!

පාඩුව ගැන ඇමැතිම කියයි…මසකට පාඩුව කෝටියකට වැඩියි

කොළඹ ඉඳලා සේවකයෝ ගෙන යයි

වන අලි, ඌරන්, මුවන් ඇතුළු වන සතුන් රිසිසේ කා බී ඇවිද ජීවත් වූ සුන්දර මත්තල වන පෙත අද වන සතුන්ට අහිමි වී ගොසිනි. අනාදිමත් කාලයක සිට හේන් ගොවිතැන් කරගෙන ජීවත් වූ පාරම්පරික හේන් ගොවියන්ටද අද මත්තල කැලෑව තුළට ඇතුළු වීමට තහංචි දමා තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව මත්තල කැලය කපා දමා පරිසර සාධක කිසිවක් තඹයකට මායිම් නොකර ඉදිකෙරුණු ගුවන් තොටුපළක් නිසා බවයි මත්තල ගම්වැසියන් පවසන්නේ.

මත්තල ගුවන්තොටුපළේ ඉදිකිරීම් ආරම්භයේ සිටම පැවතියේ දැඩි මතභේදාත්මක තත්ත්වයකි. ඒ කිසිවක් සඳහා මේ දක්වාම නිසි පිළිතුරුද නොමැතිය. මත්තල ගුවන්තොටුපළේ ඉදිකිරීම් ආරම්භයේ සිටම නිලධාරීන්ද දේශපාලඥයන්ට ඕනෑ ඕනෑ විදියට නිති රීතිද වෙනස් කරමින් ඉදිකිරීම් සිදුකළේය. පරිසර පද්ධතිය පිළිබඳව, වන සතුන් පිළිබඳව, ගම්වැසියන්ගේ ජීවන රටාව පිළිබඳව මෙන්ම අනෙකුත් සාධක කිසිවක් පිළිබඳවද නොසිතා ලැබෙන ආධාර මුදල වියදම් කර ගුවන්තොටුපළක් පමණක් මෙහි ඉදිකිරීම සියලු දෙනාගේ පමාර්ථය වී තිබූ බව අද වන විට මනාවට පැහැදිලි වී තිබේ.

2009 වසරේදී ඉදිකිරීම් ඇරඹූ මත්තල ගුවන්තොටුපළ 2013 වසරේ මාර්තු මස 18 දින ජනතා අයිතියටද පත් කෙරිණි. එතැන් පටන් ආරම්භ කෙරුණු මත්තල ගුවන්තොටුපළට ගුවන් යානයක් ගෙන්වා ගැනීමද ඒ තරම් පහසු කාරණයක් නොවීය. කාර්ය මණ්ඩලයක්ද දමාගෙන සේවක පඩි නඩි ගෙවාගෙන යාන්තමින් ඇදගෙන ආ මත්තල ගුවන්තොටුපළ පසුගිය යහපාලන ආණ්ඩු සමයේදි වී ගබඩාවක් බවට පත් වූයේ ලෝක වාර්තාවක්ද තබමිණි. ඒ ලොව ප්‍රථම වරට ජාත්‍යන්තර ගුවන්තොටුපළක් වී ගබඩාවක් බවට පත්වීම නිසාය. හෙක්ටයාර 2000ක තරම් වන භූමියක් මේ ගුවන්තොටුපළ වෙනුවෙන් වෙන් කර ඇති අතර මෙම ගුවන් තොට ඉදිකිරීම සඳහා එවකට ඇමරිකානු ඩොලර් මිලියන 210ක පමණ මුදලක් ඇස්තමේන්තුගත කර තිබුණි. “එයාර් බස්” වැනි අති විශාල ගුවන් යානා පවා ගොඩබැස්සවිය හැකි ආකාරයෙන් නිර්මිත මෙහි සෑම වර්ග කිලෝමීටර් 1000 කටම කාර්යබහුල වේලාවන් හිදී විදේශිකයන් 800 කටත් දේශීය මගීන් සැලකිය යුතු ප්‍රමාණයකටත් ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් සැපයීමට හැකි වන පරිදි මෙම ගුවන්තොටුපළ ඉදිකර තිබේ. එලෙස ඉදිකෙරුණු මත්තල ගුවන්තොටුපළ වගකිවයුතු බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අද මහජන මුදල් කාබාසිනියා කරන සුදු අලියෙක් පමණක් බවට පත්ව ඇති බව නොරහසකි.

පසුගිය 11 වන දින වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමැති පිරිසක් මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීය. එම නිරීක්ෂණ චාරිකාවෙන් පසු අමාත්‍යවරයා පැවසුවේ මත්තල ගුවන්තොටුපළේ මසක පාඩුව පමණක් රුපියල් කෝටියකට වැඩි බවයි.

මේ අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

රටටත් ගම්වැසියන්ටත් සතුන්ටත් අහිමි මත්තල…

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙලෙස කරුණු රැසක්ද අනාවරණය කෙරිණි.

අද වන විට මත්තල ගුවන්තොටුපළේ එක් මසක පමණක් පාඩුව රුපියල් කෝටිය ඉක්මවනවා. අද වන විට මත්තල කියන්නේ එකදු ගුවන් යානයක්වත් එන්නේ නැති ගුවන්තොටුපළක් බවට පත් වෙලා තියෙනවා. එකදු ගුවන් යානයක්වත් මත්තලට නොපැමිණියත් සේවකයන් 545 දෙනකු මත්තල සඳහා අනුයුක්ත කර තිබෙනවා. ඒ සේවකයන් අතරින් පිරිසක් දිනපතා බස් රථයකින් කොළඹ සිට මත්තලට ප්‍රවාහනය කරනු ලබන බවටත් මට දැනගන්න ලැබුණා. මත්තල ගුවන්තොටුපළේ ඉන්න මේ සේවකයන්ට පඩි නඩි ගෙවලා මේ ගුවන්තොටුපළ නඩත්තු කරගෙන යන්නේ කටුනායක ගුවන්තොටුපළ උපයන මුදලින්. මේ ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා චීනයෙන් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් කෝටි 21ක ණය මුදලේ වාරිකයත් දැන් අපිට ගෙවන්න තියෙනවා.

කොතරම් පාඩු ලැබුවත් මත්තල ගුවන්තොටුපළ මේ රජය යටතේ විකුණා දැමීම සිදුකරන්න කිසිදු බලාපොරොත්තුවක් නැහැ. හදිසි ගොඩබෑම් සඳහා හෝ භාවිත කරමින් ඉදිරියට මෙම ගුවන්තොටුපළ පවත්වාගෙන යා යුතුයි. ඒ අතරවාරයේ මේ ගුවන්තොටුපළ ප්‍රතිව්‍යුහගත කර හොඳ ආයෝජකයෙකු සමග සාමූහිකව ගිවිසුමකට පැමිණ රජයේ සහ පෞද්ගලිකව ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ලාබ ලබන ස්ථානයක් බවට මෙය පත්කිරීම තමයි අපේ අරමුණ. ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්නායකයන්ට අනුව හදිසි ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් අපට අවශ්‍යයි. මේ නිසා ඉදිරියේදී වියදම් අඩුකරගෙන විකල්ප ආදායම් උත්පාදන මාර්ගයක් මෙහි ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී අවම සේවක සංඛ්‍යාවක් සහිතව මෙම ගුවන්තොටුපළ පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි.

ඒ විතරක් නෙමේ මේ ගුවන්තොටුපළට ආවේණික ප්‍රශ්න හා ගැටලු රැසක් තියෙනවා. මොකද මේ ගුවන්තොටුපළ ඉදිකර තියෙන්නේ අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ වාස භූමියක. ඉතින් ඒ නිසා නිතර නිතර ගුවන්තොටුපළට ඇතුළු වන වන අලි ඇතුළු වන සතුන් නවතා දැමීමට අපට නොහැකි වෙලා තියෙනවා වගේම වන සතුන්ගෙන් ගුවන්තොටුපළට එල්ලවන තර්ජනවලද කිසිදු අඩුවක් නැහැ. වන සතුන්ගෙන් සිදුවන හානි අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කිසිවක් මේ වනතුරුම සාර්ථක වෙලා නැහැ. ඒ නිසා ඉදිරියේදී වන සතුන් ගුවන් පථයට හා අනෙකුත් ප්‍රදේශයන්ට ඇතුළු වීම වැළැක්වීම සඳහා තල හා හන වගාකිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි කෘෂිකර්ම අමාත්‍ය වරයා සමග සාකච්ජා කර එම යෝජනා වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න කියලත් අපි නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. ඒ විතරක් නෙමේ ගුවන්තොටුපළ ආදායම වැඩි කිරීම සඳහා විකල්ප ක්‍රම පිළිබඳවත් සොයා බලමින් ඉන්නවා.

ගුවන් යානා නවතා තබන ස්ථානයක් ලෙස ගුවන් යානා නඩත්තු අංගනයක් ලෙසත් මත්තල ගුවන් තොට යොදා ගැනීමට අදාළ ගුවන් සමාගම් වෙත අපි ආරාධානා කර තිබෙනවා. නමුත් අද වන විට අපේ රටේ පවතින ඉන්ධන අර්බුදය, ඩොලර් ගැටලුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් මේ වනතුරුත් ගුවන් සමාගම් නියෝජිතයන් මත්තලට පැමිණීමට මැලිකමක් දක්වනවා. ඒ නිසා සේවකයන්ගේ පාර්ශ්වයෙන්ද යම් කැපකිරීමක් සිදු නොවුණොත් මත්තල ගුවන්තොටුපළ බරපතළ කඩා වැටීමකට ලක්වන්නට පුළුවන් යැයිද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

මත්තල ගුවන්තොටුපළ ඉදිකළ දවසේ පටන් මේ වන තුරුම ගුවන් තොට නැරඹීමට, ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට කියා පැමිණි මැති ඇමැතිවරුන් ගානද සුළුපටු නොමැතිය. එහෙත් මේ වන තුරුත් ඒ එකදු යෝජනාවකදු ක්‍රියාත්මක වී නොමැතිය. පැමිණි සෑම අමාත්‍ය වරයාම මාධ්‍යට අදහස් දැක්වූවා පමණක් වූ අතර මත්තල ගුවන්තොටුපළට අත් වූ සෙතක් නොමැති බව මාද සඳහන් කළ යුතුය. ඒ මත්තල ගුවන්තොටුපළ ආසන්නයේ පදිංචි මාධ්‍යවේදියෙකු ලෙස මාද මෙම ගුවන් තොටුපළේ සිදුවන සෑම කාර්යකදීම ඒ සඳහා සහභාගි වූ නිසාවෙනි. අදටත් මත්තල පාරේ යන එන අපට දකින්නට ලැබෙන්නේ දිනපතා වන අලි ඇතුළු වන සතුන් මත්තලට පැමිණි සලකුණ පමණකි. සේවක මණ්ඩලයක්ද නඩත්තු කරගනිමින් පවත්වාගෙන යන මත්තල ගුවන් තොටේ ඇති ඇතැම් ගොඩනැගිලිද මේ වන විට ජරාජීර්ණ වෙමින් විනාශය කරා යමින් ඇති බවටද අපට තොරතුරු අනාවරණය විය. පසුගිය දිනක මාද මෙම ගුවන් තොටුපළේ වත්මන් තත්ත්වය සොයා බලා වාර්තා කිරීමට මත්තල ගුවන්තොටුපළට ගියද ඒ සඳහා කිසිදු අවසරයක් හිමි නොවීය.

රටටත් ගම්වැසියන්ටත් සතුන්ටත් අහිමි මත්තල…

මත්තල ගුවන්තොටුපළ ඉදිකර වසර 09කට ආසන්න කාලයක් ගතව ඇතත් මේ වනතුරුත් ඉන් ආදායම් උපයන ලාබදායි ස්ථානයක් බවට පත් කිරීමට මෙරට බලධාරීන් දැඩි ලෙස අසමත් වී ඇති බව ඉතා පැහැදිලිය. පැමිණි හැමෝම පඩි නඩි ගෙන ගෙදර ගියා මිසක් මත්තල ගුවන් තොටට අත් වූ සෙතක් නම් නොමැති තරම්ය.

අප මත්තල ගම්වැසියන්ද හමු වූ අතර එහිදී ඔවුන් පැවසුවේ මෙවන් කතාවකි. “මහත්තයෝ මේ මත්තල ඉන්නේ පාරම්පරික හේන් ගොවිතැන් කරගෙන ජීවත් වූ ගොවි පරපුරක්. ඒ බව ලෙනාඩ් වුල්ෆ් ලියපු බැද්දේගම නවකතාවෙනුත් මනාවට ඔප්පු වෙනවා. ඒ කාලේ කොහොම පරිසරයක්ද මේ මත්තල අවට තිබුණේ කියලා. කොහොම හරි අපි දරුපැටව් එක්ක ජීවත් වුණේ හේන් ගොවිතැන් කරලයි. නමුත් අද වන විට අපිට හේන් ගොවිතැනට සම්පුර්ණයෙන්ම නැවතීමේ තිත තියන්න වෙලා තියෙනවා මේ මත්තල ගුවන්තොටුපළ නිසා. අනාදිමත් කාලයක සිට මේ කැලේ හේනක් පිටියක් කරගෙන හිටිය අපිට අද මේ ගුවන්තොටුපළක් ඉදිකරපු නිසා ජීවත් වෙන්න විදියක් නැති වෙලා තියෙනවා. එදා අපි හේන් කොටපු ඉඩම්වලට අද කොළඹ හතේ නෝනලා මහත්තයාලා තමයි අයිතිවාසිකම් කියන්නේ. ඒ නිසා අද හේනක් කරන්න තියා දර කෝටු කෑල්ලක් කපාගන්න අපිට කැලේට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. හේන් කරගෙන ජීවත් වූ අපි අද කුලියට යන තැනට පත් වෙලා තියෙනවා.

අලි කොටි අඹන්න මේ කැලේ ගුවන් යානා එන තැනක් බවට පත් කරන්න මුල් සැලසුම් හදද්දි මේ මත්තල ගම්වැසියන් වෙච්ච අපි කිව්වා මේකේ අනිසි පලවිපාක පිළිබඳව. නමුත් එදා මෙහෙට මේ ගුවන්තොටුපළ හදන්න ආව නිලධාරීන් අපිට මේ මත්තල මහා සුරපුරයක් මවලා පෙන්නුවා. ඉතින් අපිත් හිතුවා අපේ කාලේ දැන් ඉවරයි. අපි වගේම අපේ දරුවොත් හේන් කොටන්න ඕනේ නෑ. ඒ අයටවත් ජාත්‍යන්තර ගුවන් තොටේ රස්සා ලැබේවි කියලා. නමුත් එහෙම වුණෙත් නෑ. මත්තල මේ ගමේ හදපු ගුවන් තොටුපළේ රස්සා ටික ලැබුණේ ගමේ දරුවන්ට නෙමේ. මැති ඇමැතිලාගේ අයටයි රස්සා ලැබුණේ. අදටත් අපේ දරුවෝ මත්තල ගුවන්තොටුපළ දිහා බල බලා වෙන වෙන පැතිවලට කුලී වැඩට යනවා. අද වන විට අපිට ගුවන් තොටුපළෙන් වෙච්ච සෙතකුත් නැහැ. අපිට ජීවත් වෙන්න තිබුණු ගොවිතැන කරගන්න විදියකුත් නෑ. ඒ මදිවට අලි කොටි ඇතුළු වන සතුන් ටිකටත් ඉන්න කැලයක් නැති නිසා ගම්වැදිලා. මත්තල ජනතාවගේ ජනජීවිත අද වන විට අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටිලා තියෙන්නේ. වවාගෙන කාපු ජාතියක් මිනිස්සු වෙච්ච අපිට අද අනුන්ගෙන් ඉල්ලගෙන කන්න වෙලා තියෙනවා යැයි පැවසීය.

කෙසේ වෙතත් දිනෙන් දින මත්තල ගුවන්තොටුපළේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින්නේ නිලධාරීන්ගේ කොන්දක් නැති තීන්දු තීරණ නිසා නම් බව ඉතා පැහදිලිය. සියල්ලෝම තම දේශපාලන මතය ඉස්සරහට දමාගනිමින් වැජඹෙන්නට උත්සාහ දරනවා මිසක් රටක් ලෙස ජාතියක් ලෙස ගොඩ නැගෙන්නට දායකත්වයක් ලබා නොදෙන බව නම් පැහැදිලිය.

ජායාරූප අන්තර්ජාලයේ උපුටා ගැනීමකි.

මත්තල-
දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment