රටටම ආදර්ශයක් දෙන දෙමැද දිවුල්ලෑව කාබනික ගම්මානය

511

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 45 නාහෙට්ටිකුලම වසමට අයත් දෙමැද දිවුල්ලෑව ග‍්‍රාමය අද වන විට කාබනික පොහොර නිෂ්පාදනය හා කාබනික වගාවන් සිදුකරන ආදර්ශ ගම්මානයක් ලෙස ඉතා සාර්ථක අයුරින් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

රටටම ආදර්ශයක් දෙන දෙමැද දිවුල්ලෑව කාබනික ගම්මානය

නිරන්තරයෙන් නෑ, බෑ කියමින් විස සහිත රසායනික පොහොර ඉල්ලන අයවලූන්ට ඉමහත් ආදර්ශයක් සපයන දෙමැද දිවුල්ලෑව ගම් වාසීන් මෙම කටයුත්තට මුල පුරා ඇත්තේ දහසකුත් කරදර බාධක මැදයි. නමුදු ඔවුන් ඉන් කිසිවකින් නොසැලී බාධක මැද ගලා බැස යන සුන්දර ගංගාවක් ලෙසින් තම දුවා දරුවන්ගේ නිරෝගීකම වෙනුවෙන් දිවා රැ නොබලා වෙහෙස මහන්සියෙන් වස විස නැති එළවළු, පළතුරු තම ගෙවත්තේම නිෂ්පාදනය කර ගනිමින් සිටියි. මෙම මහගු කර්තව්‍යයට නායකත්වය සපයන්නේ ගල්ගමුව ප‍්‍රදේශයේ ප‍්‍රභල සමාජ ක‍්‍රියාකාරිකයකු වූ කොයි කවුරුත් නම කියූ සැනින් අ`දුනන චරිත් උපශාන්ත මහතාය. මේ වන විටත් ඔහු විසින් දෙමැද දිවුල්ලෑව ග‍්‍රාමයේ පවුල් 100 ක් තෝරාගෙන එම පවුල්වල අයගේ පරිභෝජනය වෙනුවෙන් අවශ්‍ය එළවළු සහ පළතුරු නිෂ්පාදනය කර ගැනීමට හා එම ගොවිතැන් සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දෙමින් දැවැන්ත කාර්යභාර්යක් ඉටුකරමින් සිටියි. අද දෙමැද දිවුල්වැව ගම්වාසීන් වස විසෙන් තොර එළවළු පරිභෝජනය කරමින් සිටියි. නොපසුබට උත්සහය නිසා ලංකාවේ එක් ග‍්‍රාමයක වැසියන් හෝ වස විසෙන් තොර බත් පතක රස බැලීම මුළුමහත් දේශයටම කදිම ආදර්ශයක් සහ ආඩම්බරයකි.

රටටම ආදර්ශයක් දෙන දෙමැද දිවුල්ලෑව කාබනික ගම්මානය

මෙම ව්‍යාපෘතියේ නියමුවා වූ චරිත් උපශාන්ත මහතා අදහස් දැක්වූයේ මෙලෙසය.

 ‘‘ගම්වල ඉපදුන මේ මහ පොළොවේ සුව`ද අ`දුනන මිනිස්සු විදියට අපි හො`දින්ම දන්නවා තාමත් මයියොක්කා දණ්ඩක් විසි කරත් දවසින් දෙකෙන් මුල් අදින මේ මහ පොළවට වස විස නැතුව හො`ද ඵලදාවක් ගන්න විදියට ගහ කොලක් හදා ගන්න විදිය. මේක කරන්න නෑ, බෑ කියන මානසිකත්වය හැදුවේ මේ රටට රසායනික පොහොර ගේන සමාගම්කාරයෝ ටික එකතු වෙලා… උන් සල්ලි විසික්කළා මාධ්‍ය සන්දර්ශන දාලා ආණ්ඩුව අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගත්ත මේ ඓතිහාසික තීන්දුව ආපහු හරවලා සමාගම්වලට නැති වුණ බිස්නස් ටික හදාගන්නයි හදන්නේ… ඒක ගම්වල ඉන්න අහිංසක දුප්පත් ගොවියට තෙරෙන්නේ නෑ… ඒ අසරණකමෙන් ප‍්‍රයෝජන අරන් අවසානේ ඒ ගොවියාගේ අනාගතයම මේ සමාගම් කාරයෝ රුපියල් ශත වෙනුවෙන් විනාශ කරලා දානවා. මුළු රටම ආපහු හැරුනත් අපි හැරෙන්නේ නෑ, අපි අපේ ගමේ හැම පවුලකටම තමන්ට අවශ්‍ය එළවළු ටික වස විස නැතුව නිෂ්පාදනය කර ගන්නත්, ඒවට අවශ්‍ය පොහොර ටික නිෂ්පාදනය කරගන්නත් වැඩපිළිවලක් හදල ඉවරයි. ඒකට අපේ ගමේ මිනිස්සු ටික එක පයින් ඉන්නවා, ගල්ගමුවේ ගොවියට තියෙන ප‍්‍රශ්න මේ රටේ කිසිම ගොවියෙක්ට නැතුව ඇති කියල මන් හිතන්නේ, වල් අලින්ගෙන්, ඌරන්ගෙන්, මුවා, ඉත්තෑව, රිලව්, වගේ කැලෑ සත්තු විශාල ප‍්‍රමාණයක් ඇවිත් ගොවිතැනට හානි කරනවා. එහෙන් කාලෙකට නිය`ගය, තව කාලෙකට එක දිගට අමෝරා වැහි… ඔය වගේ දහසකුත් ප‍්‍රශ්න, හැබැයි එහෙමයි කියල වන්නියේ මිනිස්සු තමන්ගේ උත්සහය අතාරින ජාතියේ අය නෙමෙයි… කොහොමහරි තමන්ගේ ඉලක්කයට යනවා… කාබනික වැඬේට අපි බැස්සෙත් එහෙම තමයි…

රටටම ආදර්ශයක් දෙන දෙමැද දිවුල්ලෑව කාබනික ගම්මානය

මේ වැඬේට අවශ්‍ය මූලික ප‍්‍රාග්ධනය ගමේ දුප්පත් ගොවියට සපය ගන්න අමාරු නිසා මම ලෝක බැංකු ආධාර මත ක‍්‍රියාත්මක වෙන දේශගුණික සුහුරු වාරි තාක්ෂණ කෘෂිකාර්මික ව්‍යාපෘතියට අපේ ගම ගැන දැනුම් දීලා වැඬේට අවශ්‍ය ජල ටැංකි, භාජන, මල් බාල්දි… වගේ මූලික යටිතල පහසුකම් ටික ඉල්ලූවා, කියන්න සතුටුයි රුපියල් මිලියනයකට ආසන්න උපකරණ අපේ ගමට ලබා දුන්නා. ඒ හින්දම බොහොම ලස්සනට හැම ගෙවත්තකම කාබනික වගාව ක‍්‍රියාත්මක වෙනවා. අපිට මේ වැඬේ ක‍්‍රියාත්මක කරද්දී අවශ්‍ය වෙන තාක්ෂණික සහය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නාන්නේරිය කලාපය භාර කෘෂිකර්ම උපදේශක බස්නායක මහත්තයා නිරන්තරයෙන් ලබා දෙනවා, ඒක විශේෂයෙන් මතක් කරන්නම ඕන කාරණයක් මොකද අවුරුදු ගාණක් රසායනික පොහොරට පුරුදු වුණ පස කාබනික පොහොරට හුරු කරන්න යද්දි ගැටලූ මතු වෙනවා, හැබැයි ඒවට ඉතා සාර්ථක විස`දුම් අපේ කෘෂිකර්ම උපදේශකතුමා අපිට ලබා දීලා අපිට ආව

 ගැටලූවලින් අපිව බේරගෙන තියනවා… ඒ් හින්දා කවුරු කකුලෙන් ඇද්දත් වස විස නැතුව අපේ ගමේ මිනිස්සු අද බත් කටක් කන්න වාසනාවන්ත වෙලා තියනවා. ඒ වගේම මේ වෙද්දි අපේ ගම රටකජු බීජ නිෂ්පාදන ආදර්ශ ගම්මානයක් විදියටත් සාර්ථකව වැඩ කටයුතු කරගෙන යනවා.. අපෙන් තමයි ලංකාවේ ගොඩක් තැන්වලට රටකජු බීජ අරන් යන්නේ…

 අවසාන වශයෙන් මට පොඩි ඉල්ලීමක් කරන්න තියනවා ඒ තමයි වැඩි අස්වනු ගන්නයි කියල හිතන් වස විස ගොවිතැනට එකතු කරලා රටේ නැති ලෙඩ හදා ගන්නේ නැතුව තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් හරි තමන්ගේ ගෙවත්තේ කාබනික වගාවක් කරගන්න… අන්න එදාට අපේ දරුවන්ට වස විස නැතුව බත් ටිකක් කාලා නිරෝගීව ඉන්න පුළුවන් වෙයි…

 කුමා රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment