රටටම පාඩමක් කියාදෙන ‘රෑ ඉස්කෝලෙ’

386

දරුවන් සමග සිටිය යුතු කාලය තම පාසලේ දරුවන් වෙනුවෙන් කැප කරන මාගේ ගුරු මණ්ඩලයට මම අනේක වාරයක් තුති පුදනවා – විදුහල්පති වසන්ත කුමාර

කෙනෙකුට සොරාගත නොහැකි ජීවිතයේ වටිනාම දේ අධ්‍යාපනය බව කිවහොත් නිවැරැදිය. වර්තමානයේ දෙමාපියන් දරුවන්ට මේ අධ්‍යාපනය ලබා දෙන්නට දරණ උත්සාහය මෙයට කදිම උදාහරණයකි. පාසල් කාලය මෙන්ම පාසලෙන් බැහැර වූ සැණින් තවත් විවිධාකාරයෙන් දරුවන්ට උගන්වන්නට දෙමාපියන් ගන්නේ මහත් වෑයමකි. ඒ තම දරුවා දැනුමෙන් මෙන්ම ගුණයෙන්ද උසස් මට්ටමක තැබීමටය. මේ සමාජයේ උසස් තැනක් හිමිකරදීම සෑම දෙමාපියෙකුගේම අරමුණ වීම හේතුවෙනි.

දිවා කාලයේ කිසිදු මුදලක් අය නොකරමින් නොමිලයේම අධ්‍යාපනය හදාරන්නට තවමත් ලංකාවේ හැකියාව ඇත. ඒ පාසල තුළිනි. එහෙත් රාත්‍රී කාලයට හෝ සවස් කාලයට තවත් දැනීම එකතු කරගැනීම සඳහා දෙමාපියන් විසින් කෙතරම් හෝ අමාරුවෙන් වුවද වියදම් කර ටියුෂන් පන්ති කරා රැගෙන යයි. එහෙත් පාසල තුළින් රාත්‍රී කාලයේත් තමන්ට රිසිසේ අධ්‍යාපනය ලබා ගැනීමට විෂය කරුණු සාකච්ඡා කිරීමට හැකියාව ඇත්නම් ඒ දරුවන් ලබන භාග්‍යයකි.

රටටම පාඩමක් කියාදෙන ‘රෑ ඉස්කෝලෙ’

මේ එවැනි කතාවකි.

දහවල් මෙන්ම රාත්‍රීයේද පාසල පැවැත්වෙන පාසලක් පිළිබඳව මේ වාර්තා වෙන්නේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයෙනි. ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ ඕමල්පේ මහා විද්‍යාලයේ මේ වනවිට දින ගණනාවක සිට සවස හයට පාසලට පැමිණෙන දරුවන් පාසලෙන් නික්මෙන්නේ රාත්‍රී දහයටය. එම රාත්‍රී පාඩම් කඳවුරට ඔවුන් සහභාගී වෙන්නේ ඉතාමත් කැමැත්තෙනි. දහවල් කාලයේ සතියේ දවස් පහේම උදේ පාසලට පැමිණෙන සිසුන් තම අධ්‍යාපන කටයුතු නිමවී පාසලෙන් නිවස කරාගොස් පසුව නැවත පාසලට ගැළපෙන සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණෙන්නේ සවස හයටය. ඒ වනවිටත් ගුරුභවතුන් පාසලට පැමිණ දරුවන් පැමිණෙන තුරු මඟ බලා සිටී.

දරුවන්ගේ පැමිණීමත් සමග ඔවුන් සමඟ මඟ හැරුණ විෂය කොටස් සාකච්ඡා කර ඔවුන් නොදන්නා දේ කියා දීමට ගුරු භවතුන් ඉදිරිපත්ව සිටී. මේ අය මේ සිදු කරන්නේ කිසිදු අය කිරීමක් හෝ කිසිදු වරප්‍රසාදයක් ලබා නොවේ. ගුරු භවතුන් තම දරුවන් සමග සිටිය යුතු කාලය පාසලේ දරුවන් වෙනුවෙන් ඔවුන් කැප කරයි.

ඒ වෙනුවෙන් දෙමාපියන් දක්වන්නේ මහත් සහයෝගයකි. දෙමාපියන්ද සිසුන්ට අවශ්‍ය කෑම වර්ගද තේද රැගෙන පැමිණ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල තුළ සිටිමින් දරුවන්ට දක්වන්නේ මහත් සහයෝගයකි.

ඇඹිලිපිටියේ සිට ඕමල්පේ දක්වා කිලෝමීටර් 20 ක් පමණ දුර දුෂ්කර මාර්ගයක් ගෙවා ඕමල්පේ මහා විද්‍යාලයට යා යුතුය. එය කඳු සහිත ඉතා දුෂ්කර මාර්ගයකි. මෙම ප්‍රදේශයේ බහුලව ජීවත් වන්නේ ගොවි ජනතාවය. ගත සිත සැනසෙන ගොංගල කඳු පන්තියට ආසන්නයේ පිහිටි ඉතාමත් හොඳ දේශගුණික පරිසරයක පිහිටා ඇති විද්‍යාලයකි ඕමල්පේ මහා විද්‍යාලය.

අප විද්‍යාලයට යන විටත් රාත්‍රී හතට පමණ විය. ඒ වනවිටත් පාසලේ සිසුන් අධ්‍යාපනය ලබන ආකාරය අපිට දක්නට ලැබුණි. පාසල් කාලය මෙන් නොව ඉතාමත් විනීතව සිසුන් තම පාඩම් කටයුතුවල නිරත වන ආකාරය අප දුටු මනරම් දසුනක් විය. දරුවන්ගේ ආරක්ෂාව සඳහා දෙමාපියන්ද පාසලේ විවිධ ස්ථානවල රැඳී සිටිනු දක්නට ලැබුණි.

සිසුන් කණ්ඩායම් වශයෙන් එක්වී තමන්ට මඟ හැරුණු විෂය කොටස් සාකච්ඡා කරයි. විෂයන් පිළිබඳව මනාව දන්නා සිසු සිසුවියන් තම සහෝදර සිසු සිසුවියන් සඳහා පාඩම් කියාදෙන අතර අමාරු විෂය කොටස් ගුරු භවතා මැදිහත්වී විසඳා දෙයි. ගුරු වරුන් මෙන්ම ගුරුවරියන්ගේද කැප කිරීම දක්නට විය. ඕමල්පේ මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පති වසන්ත කුමාර විතාන මහතාගෙන් දෙමාපියන් කළ ඉල්ලීමක් අනුව ගුරු භවතුන් මැදිහත් වී මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ගුරුභවතුන් කිසිම වරප්‍රසාදයක් නොමැතිව සිය කැමැත්තෙන්ම මෙම වැඩසටහනට දායකත්වය දැක්වීම අගය කළ යුතු කරුණකි. තවත් කරුණක් වන්නේ ඕමල්පේ විද්‍යාලයේ සිටි නියෝජ්‍ය විදුහල්පති මෙන්ම චිත්‍ර විෂය භාර ගුරු මහතා වන සෝමසිරි අතපත්තු මහතා විශ්‍රාම ගියද දිවා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීද පාසලට පැමිණ විෂය කොටස් ආවරණය කරදීම කරනු ලබයි.

ජානක පුෂ්පකුමාර උපාධිධාරී මහතෙකි. එහෙත් තවමත් රජයේ රැකියාවක් නොකරයි. ඕමල්පේ මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයා ස්ථාන මාරුවීමත් සමග මේ දක්වාම ගණිත විෂය දරුවන්ට කියා දෙමින් ඔවුන් විභාගවලින් සමත් කිරීමට අවශ්‍ය පරිසරය ඔහුද සකසා ඇත. මෙම පාඩම් කඳවුරට ඔහුගෙන් ලැබෙන්නේ ඉමහත් දායකත්වයකි.

මෙම වැඩසටහන ගැන අදහස් දක්වන විද්‍යාලයේ වත්මන් විදුහල්පති වසන්ත කුමාර විතාන මහතා පැවසුවේ,

“මේ දරුවන් පාසලට පැමිණෙන්නේ ඉතා කැමැත්තෙන්. ඒ වෙනුවෙන් මගේ ගුරු මණ්ඩලය ඉතාමත් කැපවීමෙන් කටයුතු කරනවා. ඒ අයට මම ස්තුතිවන්ත විය යුතුයි. අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කැපවීම මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට මහත් පිටු වහලක්. අපි මේ වැඩසටහන අඩු ලකුණු ගන්න දරුවන්ට සංවිධානය කළේ. එහෙත් දැන් සියලුම දරුවන් කැපවීමෙන් පැමිණ වැඩ කරනවා. ඒක සතුටට කාරණයක්. අපිට හැකියාව ලැබෙයි ඉදිරි විභාගවලදී මේ දරුවන්ට හොඳ ප්‍රතිපලයක් අරගෙන දෙන්න.”
ඕමල්පේ – ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment