රටට අවශ්‍ය වන්නේ මානුෂීය ධනවාදයයි – අලි-කපුටු ආණ්ඩුව ගෙදර යැවීමට සාමකාමී අරගලයක් කරනවා

156

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෑගල්ලේදී කියයි

සමාජ මාධ්‍ය ජාලවල නිර්මාණය කරන දේශපාලන රැළිවලට වසඟ නොවී රටේ සමස්ත ජනතාව ජීවත් කරවන, ශක්තිමත් කරන පොදු ජන යුගයකට ඔබගේ වරම ලබා දෙන්න යැයි සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ කෑගල්ල නිදහස් මාවතේ දී කෑගල්ල, දැදිගම හා ගලිගමුව යන මැතිවරණ කොට්ඨාසවල අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැති (7 දින) ජන හමුවට සහභාගි වෙමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක් වූ විපක්ෂනායකවරයා මෙසේ ද පැවැසීය.

අද රටේ බංකොළොත්භාවය කිව්වොත් කැබිනට් මණ්ඩලය හඬ නගා ලොවට ප්‍රකාශ කරනවා මැදි ආදායමක් තිබුණු රට අද බංකොළොත්භාවයට පත් වෙලා කියලා. මේ අලි පොහොට්ටු ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ, වැඩ පිළිවෙලක් නෑ, රට ගොඩනැගීමට. මේ අලි පොහොට්ටු ආණ්ඩුවට අපි කියනවා රටේ ජනතාවට තවදුරටත් හිංසා කරන්න එපා කියලා. රටේ ජනතාවට බදු පිට බදු පටවන්න එපා කියලා. විදුලි බිල ආයෙත් නංවන්න එපා කියලා. බංකොළොත් රට ගොඩනගන්න පුළුවන් ආර්ථිකය වර්ධනය කරලා. ජනතාවට මුදල් දීලා ජනතාවගේ මුදල් ආයෝජනය කරලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම තුළින්. කොමියුනිස්ට් හෝ අන්ත සමාජවාදී පාලනයක් හරහා මේ බංකොළොත් රට ගොඩ නඟන්න බෑ. මේ රට ගොඩ නඟන්න පුළුවන් ක්‍රමය තමයි රටට ඩොලර් ලබා ගැනීමේ ක්‍රමය. සෘජු විදේශ ආයෝජන ලබා ගැනීම. රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් ඇති කර ගත යුතුයි. රටට වාසිදායක ගිවිසුම්වලට යා යුතුයි.

මේ ආණ්ඩුව රට බංකොළොත් භාවයෙන් ගොඩඒමට තියෙන ක්‍රමය ආර්ථිකය කුඩා කිරීම කියලා හිතාගෙන ජනජීවිතයේ කුඩා කිරීමට, මුදල් සංසරණය අඩු කිරීමට පියවර ගෙන තියෙනවා. සියයට 30 යි 35 ට පොලී අනුපාතය නිර්මාණය කරලා තියෙන්නේ එම නිසයි. එම අනුපාතය තුළින් කුඩා ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න පුළුවන් ද? කර්මාන්තකරුවන්ට රැකියා ලබා දෙන්න පුළුවන් ද? බැහැ මිත්‍රවරුනි. ආණ්ඩුවේ මේ බදු ප්‍රතිපත්තිය නිසා අද වෛද්‍යවරු, ඉංජිනේරුවන් වැනි අය පිටරටවලට යනවා. බුද්ධි ගලනයක් සිදු වෙනවා. රටට අවශ්‍ය වන්නේ මානුෂීය ධනවාදයයි. අද කෑගල්ල දිස්ත්‍රික්කයේ තුන් කෝරළයේ, හතර කෝරළයේ කෘෂිකර්මාන්තය මත යැපුණු ජනතාව අසරණ වෙලා. 69 ලක්ෂයෙන් පත් වුණ ජනාධිපතිවරයෙක් ගෙදර ගියේ ජනතාවගේත්, තාරුණ්‍යයේත් ශක්තිමත් භාවය නිසයි. එම නිසා ජනතාව එක්රොක් වෙලා මේ පාලනයට විරුද්ධව කොළඹට එන දිනය අතළඟයි. එම නිසා සාමකාමී අරගලයක් අවශ්‍යයි. විනාශකාරි අරගලයක් කිරීමට අපි සූදානම් නෑ. අපි මේ අරගලය කරන්නේ අලි කපුටු ආණ්ඩුව ගෙදර යවන්නයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාළන ආයතනවල බලය අපිට ලැබෙන විට සභාපතිවරු, උප සභාපතිවරු, නගරාධිපතිවරු, උප නගරාධිපතිවරු, මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කළ යුගය නිම කරනවා. සෑම ග්‍රාම සේවා වසමකින්ම අදාළ පළාත් පාලන ආයතනවලට තරුණ තරුණියන්ගේ මූලිකත්වයෙන් උපදේශක කරක සභාවක් ඇති කරනවා. ඒ හරහා තාරුණ්‍යයට එම පාලනයට සහායවීමට අවස්ථාවක් ලබා දෙනවා. ඒ හරහා පළාත් පාලන නියෝජිතයන්ට අන්තනෝමතික හෝ වැරදි තීන්දු තීරණ ගන්න බැරි වෙනවා. පළාත් පාලන ආයතන සුහුරු පළාත් පාලන ආයතන ලෙස ක්‍රියාත්මක කරනවා.
වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment