රටට ආදරය කරන කෙනෙකුට යුගදනව් වගේ ගිවිසුම් හොයන එක අමාරු නෑ! ජවිපෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හරිනි අමරසූරිය

215

මේකට අත්සන් කරපු අය ගැනත් ප‍්‍රශ්නයක් තිබෙනවා

ජාත්‍යන්තර ජාවාරම් ජාලයක කොටස්කරුවන් බවට අපේ රටත් පත්වෙලා

වගකීම් දරන සමහර ඇමැතිවරු ව්‍යවස්ථාව දන්නෙත් නෑ!

ජාතික ජනබලවේගයේ මන්ත‍්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා පසුගියදා එල්. එන්. ජී. ගිවිසුම පාර්ලිමේන්තුවේදී සභාගත කිරීමත් සමග පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ඒ පිළිබඳ විවිධ දේ කියමින් සිටී. ඇතැම් කැබිනට් ඇමැතිවරුන්ද මේ ගිවිසුම ලබාගත්තේ අනුර කුමාර සහෝදරයාගෙන් බව පසුගිය දින සුනිල් හඳුන්නෙත්ති පවසා තිබිණි. එල්එන්ජී ගිවිසුමත් සමග රටේ ඇති වී ඇති තත්ත්වය පිළිබඳ ජාතික ජනබලවේගයේ මන්ත‍්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය ගෙන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ විමසීමක් කළේය.

මේ ඇය අප සමඟ සිදුකළ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – ප‍්‍රශ්නගත එල්. එන්. ජී. ගිවිසුම අනුර කුමාර මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සමග එය තවත් ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව තිබෙනවා. කොහොමද ඔහුට මේ ගිවිසුම ලැබෙන්නේ…?

පිළිතුර – මම හිතන්නෙ ඇත්තටම රට ගැන ආදරය තියෙන කෙනෙක් විදිහට අනුර කුමාර සහෝදරයට මේව හොයනව කියන එක ලොකු දෙයක් නෙමෙයි. බොරු දේශපේ‍්‍රමීත්වය සහ සැබෑ දේශපේ‍්‍රමීත්වය අතර වෙනස එයයි. පවතින මේ ක‍්‍රමය ඇතුළෙ සිදුවන වංචා දූෂණ ගැන මේ රටේ බහුතරයක් ඉන්නෙ බොහොම කණස්සල්ලෙන්. ඒ අයට මේ වෙද්දි හඬක් වෙලා තියෙන්නෙ ජාතික ජනබලවේගය. ඒ නිසා මේ වගේ රටට අහිතකර ගිවිසුම් ගැන අනුර කුමාර සහෝදරයාට දැනගන්න ලැබෙනව. ඒ විතරක් නෙමෙයි රජයේ ඇතැම් මැති ඇමැතිවරු පවා අනුර කුමාර සහෝදරයත් එක්ක හිතවත්. එය ඔහු අතට පත් වුණේ කෙසේද යන්න නිශ්චිතව දැන ගත්ත ගත හැකි වන්නේ ඒ පිළිබඳ අනුර කුමාර සහෝදරයා ගෙන් විමසීමෙන්.

ප‍්‍රශ්නය – අනුර කුමාර මහතා සභාගත කළ ගිවිසුම අනුව එල්එන්ජී ගිවිසුම අත්සන් කර ඇත්තේ වෙනත් සමාගමක් සමගයි.

පිළිතුර – ඔව්. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් දැනගෙන හෝ නොදැන අත් ඔසවලා තියෙන්නෙ ඇමරිකානු සමාගමක් වෙන නිව් පෝට‍්‍රස් සමාගමට ගිවිසුමක් අත්සන් කරන්න. ඒත් වෙලා තියෙන්නෙ ඇත්තට ගිවිසුම තියෙන්නෙ එන්.එෆ්.ඊ. ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩින්ස් සමාගමත් එක්ක. මේ සෑම සිදුවීමක් පිටුපසම විශාල බරපතළ ප‍්‍රශ්න තිබෙනවා. ඒ නිසා මෙතන ලොකු වංචාවක් වෙලා තියෙනව.

ප‍්‍රශ්නය – මොකක්ද ඒ වංචාව….?

පිළිතුර – ගිවිසුමේ අන්තර්ගතයෙන් කැබිනට් මණ්ඩලය අනුමත කරපු කරුණු තියෙනවද කියන එක තමයි මූලික ගැටලූව. මේ ගිවිසුමේ 35 වැනි පිටුවට අනුව ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් කරන්නෙ සුජිත් රුචිර ආටිගල. කවුද ඔහු… මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරය. ඔහුගෙ සාක්ෂිකරුවන් හැටියට අත්සන් කරන්නෙ මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක් බව කියන කලින් විදුලි බල අමාත්‍යාංශයේ උපදේශකයෙක් කියල කියන ඒ වගේම කලින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ෆර්ඩිනැන්ඩස්. ඔහු විදුලිබල අමාත්‍යාංශයේ සභාපති විදිහට තමයි මාධ්‍යයේ පෙනී ඉන්නෙ. ඒත් ඔහු මේ ගිවිසුම අත්සන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක් විදිහට.

ඒ වගේම ඩැනියෙල් ක‍්‍රිස්ටෝපර් කියන පුද්ගලයා එන්. එස්. ඊ. ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩිංස් කියන සමාගමේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කර තිබෙනවා. එයාගේ සාක්ෂිකරුවන් හැටියට අත්සන් කරන්නෙත්, ඒ කියන්නේ ඇමරිකානු කොම්පැනිය වෙනුවෙන් අත්සන් කරන්නේ ශ‍්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවාමයි. ගිවිසුමක මෙහෙම වෙන්න පුළුවන්ද? දෙවැනි සාක්ෂිකාරිය නිමල්කා මොරහෙල. එයාගේ තනතුර ව්‍යාපෘති සම්බන්ධීකාරක. එයා කලින් වැඩ කරලා තියෙන්නේ සංචාරක මණ්ඩලයේ ව්‍යාපෘතිවල. හැබැයි බලශක්ති ව්‍යාපෘතිවල සිටි බව දන්නේ නැහැ. ශ‍්‍රී ලංකාවේ සාක්ෂිකරුවෝ දෙන්නෙක් අත්සන් කර තියෙන්නේ ඇමරිකානු සමාගම වෙනුවෙන්. කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට මේ ගිවිසුම හෙළි නොකළේ ඇයි කියලා අපිට හිතාගන්න පුළුවන්.

ක‍්‍රිස්ටෝපර් නයිට් කියන්නේ කවුද? ප‍්‍රධාන මූල්‍ය නිලධාරියාගේ හැටියට ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩිංස් සමාගමේ ඇමරිකානු ඇටර්නි බලපත‍්‍රලාභියා තමයි ක‍්‍රිස්ටෝපර් නයිට්. අඩුම තරමේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරියාවත් ලංකාවට එන්නේ නැහැ. මේ සියල්ල බරපතළ ප‍්‍රශ්නයක්.

ප‍්‍රශ්නය – මේ පිටිපස්සෙ ඉන්නෙ කවුද?

පිළිතුර – ඒක තමයි අපිටත් අහන්න වෙන්නෙ. අපේ රටේ ජනාධිපති ඇමරිකානු පුරවැසියෙක්. මුදල් ඇමැති ඇමරිකානු පුරවැසියෙක්. ඒක අහඹුවක් නෙමෙයිනෙ. මේ සමාගමත් ඇමරිකන් සමාගමක්. මේ පිටිපස්සෙ අතිශයින්ම පෞද්ගලික නැතිනම් එක්තරා පවුලක වුවමනාවක් ගැන ලොකු සැකයක් මට නම් තියෙනව. මේ වෙලාවෙ සිදුවන හැම දේම වෙන්නෙ, සියලූ තීරණ ගන්නේ මේ පවුලෙ වාසියට. මේ පවුලේ වුවමනාව මත. ඒක දැන් හොඳටම පැහැදිලියි. ලංකාවෙ ආයතන තියෙන්නෙ ඒ පවුලෙ වුවමනාවට සීල් එක ගහන්න විතරයි. එහෙම නොමැති ආයතන වහල දානව. පාර්ලිමේන්තුව කල් දානව. කැබිනට් එකට කියන්නෙ නෑ. කැබිනට් එකේ 90%ක් මේ තීරණ ගැනීමෙදි සහභාගි වෙන්නෙ නෑ. මේ මුළු රටක්ම දුවන්නෙ මේ එක පවුලක් වෙනුවෙන් කියල තමයි මට නම් හිතන්නෙ. මේ අතීතයෙ තිබුණු රදළ වැඩවසම් ක‍්‍රමයෙ නූතන මුහුණුවර. ඒ අය කොල්ලකන්නෙ ඉඩම් විතරක් නෙමෙයි, මහා පරිමාණයේ මුදල්. ජාත්‍යන්තර ජාවාරම් ජාලයක කොටස්කරුවෙක් බවට අපේ රට පත් කරල තියෙනව මේ පවුල.

ප‍්‍රශ්නය – ආණ්ඩු පක්ෂයෙ ප‍්‍රධාන සංවිධායකවරයා කියල තිබුණ හැටනම ලක්ෂයක් ආණ්ඩුවට ඡන්දය දීලා තියෙනව. ඒ නිසා ගිවිසුම් දකින්න ඕන නෑ කියල…

පිළිතුර – ඒක හරිම වගකීම් විරහිත ප‍්‍රකාශනයක්. එහෙම 69 ලක්ෂයක් ඡන්දය දුන්න කියන්නේ තමන්ට කැමැති කැමැති දේවල් කරන්න ආණ්ඩුවට බලපත‍්‍රයක් දුන්න කියන එක නෙමෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් කියන්නේ ගන්න තීරණවලට වගකියන්න ඕන. වගකියනව කියන්නෙ යම් දෙයක් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ ව්‍යුහයක් තියෙනව සහ සම්ප‍්‍රදායක් තියෙනව නම් ඒ සියල්ලට ගරු කරමින් කටයුතු කරයි කියල තමයි 69 ලක්ෂය බලාපොරොත්තු වුණෙ. ඡන්දය ගනිද්දි ආණ්ඩුව කිව්වෙ නෑනෙ බලශක්තිය සම්බන්ධ අයිතිය විකුණනව කියල. ඡන්දය ගනිද්දි කිව්වෙ නෑනෙ පාර්ලිමේන්තුවට පිටුපාල ක‍්‍රියාකරනව කියල. එහෙම කිව්ව නම් ඔය 69 ලක්ෂය ඡන්දය දෙන්නෙත් නෑ. ආණ්ඩුව කියනව නම් 69 ලක්ෂයක් ඡන්දය දුන්නෙ ඔවුන් කරන මේ ජනතා විරෝධී ක‍්‍රියාවන්ට කියල, ඒක හරියට ඔවුන්ගෙ මූණට කෙළගහනව වගේ වැඩක්.

ඒකෙන්ම තේරෙනව මේ ආණ්ඩුවෙ වගකීම් දරන ස්ථානවල ඉන්න මැති ඇමැතිවරු ව්‍යවස්ථාව දන්නෙත් නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයක් කියන එක දන්නෙත් නෑ. ඔවුන් මේ වෙලාවෙ කරන එකම දේ තමයි ආණ්ඩුවෙන් ගන්න සෑම තීරණයක්ම වෙනුවෙන්ම කොන්දේසි විරහිතව පෙනී ඉන්න එක. සුදු දෙයක් පෙන්නල කළු කියල ආණ්ඩුව කිව්වොත් ඒකත් ඔව් කියල පිළිගන්න කැබිනට් මණ්ඩලයක් තමයි ඉන්නෙ. ඇත්ත මොකක්ද? වගකීම මොකක්ද කියන එක අදාළ නෑ. හරිම විකෘති මනසක් ඇති පුද්ගලයෙක් තමයි මේ ආණ්ඩුව දැන් මෙහෙයවන්නේ.

ප‍්‍රශ්නය – ආණ්ඩුව තුළ මෙම ගිවිසුමට එරෙහිව කැබිනට් ඇමැතිවරු පවා අදහස් දක්වමින් තිබෙනවා. මෙම ගිවිසුමට පක්ෂව අදහස් දක්වන්නෙ ආණ්ඩු පක්ෂයෙ කිහිප දෙනකු පමණයි.

පිළිතුර – ඔව්, අපි දකිනව මේ ආණ්ඩුවේ බොහෝ දෙනෙක් දැන් නිහඬයි. කීප දෙනෙක් විතරයි කතා කරන්නෙ. ඒ කීප දෙනා ඕනෑම කුණුගොඩක් වෙනුවෙන් පෙනී ඉන්නව. පාර්ලිමේන්තුවේ විවාදයකදී අනිවාර්යයෙන්ම කතා කරන තුන් හතර දෙනෙක් ඉන්නවා ඒ හැර අනෙක් අය හරි නිහඬයි. මේ ආණ්ඩුව ගෙනියන්නෙ තුනෙන් දෙක බලයක් කිව්වට අපිට නම් පෙනේනේ ආණ්ඩුව මේ වෙද්දි ක‍්‍රියාත්මක වෙන්නෙ දහ දෙනෙක්ගෙන් විතර. ඒ වගේම ඒ දහදෙනා එක්ක වැඩකරන නිලධාරීන් කිහිප දෙනෙක් එක්ක. ඉතුරු අය අදාළත් නෑ. කතා කරන්නෙත් නෑ. එහෙම ක‍්‍රියාත්මක වෙන ආණ්ඩුවක්. ආණ්ඩු පක්ෂයෙ ප‍්‍රධාන සංවිධායවරයා වගකීම් විරහිත ප‍්‍රකාශයන් කරනව නම්, තව මොන කතාද…?

ප‍්‍රශ්නය – ආණ්ඩුවෙ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයගෙ කතාවෙ අනියම් වශයෙන් ගැබ් වෙන අනෙක් අර්ථය නම් ඔවුන් මේ ගිවිසුම දැක්කෙ නෑ කියන එක.

පිළිතුර – මම හිතන්නෙ නෑ ඒක නිදහසට කාරණයක් නෙමෙයි. ඇමැතිවරයෙක් වුණාම ලැබෙන වැටුප, වරප‍්‍රසාද, සියල්ල දෙන්නෙ රට වෙනුවෙන් දෙයක් කරන්න. නැතුව උඩබලාගෙන ඉන්න නෙමෙයි. තමන් කැමැති කැමැති දේ කියන්න දෙමෙයි. දන්නෙ නැත්නම්, දැක්කෙ නැත්නම් කරුණාකරල තමන්ගෙ තනතුරුවලින් අයින්වෙලා යන්න. ඒකෙ ඉඳගෙන වරප‍්‍රසාද භුක්ති විඳින එක සදාචාරාත්මක නෑ.

ප‍්‍රශ්නය – අනුර කුමාර මන්ත‍්‍රීවරයා මේක සභාසම්මත කළාට පස්සෙ මේ ගිවිසුම ඔබ දැක්කද? ඒක අධ්‍යනය කළාද?

පිළිතුර – අනුර සහෝදරයට ලැබුණට පස්සෙ තමයි අපිත් ඒ ගැන දැනගත්තෙ. ඊට පස්සෙ මමත් ඒක කියෙව්ව. එහෙම කියවද්දි තමයි එහි භයානකකම දැනෙන්න පටන්ගන්නෙ. මූලික එකම තමයි මෙච්චර කල් අපට කිව්වෙ සහ වාර්තා වුණේ ඇමරිකාවේ නිව් පෝට‍්‍රස් සමාගමත් එක්ක ගිවිසුම්ගත වුණා කියල. දැන් බලද්දි සමාගම ඒක නෙමෙයි. ශ‍්‍රී ලංකා එන්. එස්. බී. ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩිංස් සමාගම එක්ක තමයි ගිවිසුම් ගතවෙලා තියෙන්නෙ. මොකක්ද මේ සමාගම..? මේකෙ කවුද ඉන්නෙ…? ඇමරිකාවේ කොහොමද ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩිංස් කියල සමාගමක් තියෙන්නෙ. කවුද මේ අයිතිකාරය…? ප‍්‍රශ්න රාශියක් මේ හරහා මතුවෙනව. ඇයි ආණ්ඩුව මේ සමාගම හැංගුවෙ…? මේ සමාගමේ කොටස් ලෙකෝ එකෙත් තියෙනව, ඊපීඑෆ් එකෙත් තියෙනව. මුදල් මණ්ඩලය යටතෙත් තියෙනව.

ප‍්‍රශ්නය – මෙවැනි ගිවිසම් ගැන එළිපිට විරෝධතා දක්වන්නෙ නැති එහෙත් මේ නිහඬව කල් ගෙවන ආණ්ඩු පක්ෂයෙත් යම් පිරිසක් සිටින බව පේනවා. ඔවුන් ගැන මොකද හිතෙන්නේ…

පිළිතුර – හෘදසාක්ෂියක් ඇති මිනිස්සු තාම මේ රටේ ඉන්නව. ඒ අයට මෙතන ඉන්න එක එන්නම එන්නම අසීරුයි. එතකොට තමයි ඔවුන් පීඩනයට ලක්වෙනව. ඔවුන්ගෙ ඇතුළාන්තය කුණුවෙලා නැද්ද කියල හිතන්න ඕන. ඔය වගේ තැන්වල පවතින්න නම් මැරිල ඉන්න ඕන. තමන්ගෙ කියල ආත්මයක් තියෙන්න බෑ.

ප‍්‍රශ්නය – ඔබ විශ්වාස කරනවද හෘදසාක්ෂියක් ඇති මිනිස්සු ඉඳියි කියල….?

පිළිතුර – මම එහෙම හිතන්න කැමැතියි. මම දන්න ඉතිහාසය තුළ මේ වගේ දේවල් වෙලා නෑ. හොරකම් කරල තියෙනව. ඒත් ඒ හොරකම් කරපු දෙයින් මොකක් හරි රටට දෙයක් වුණා. හැම දේම පයින් ගහලා, මුළු රටම තමාගේ බූදලයක් කරගෙන කටයුතු කළේ නෑ කවුරුවත්. රජවරුන්ගෙ කාලයෙවත් එහෙම වුණෙ නෑ. හැබැයි මේ දේවල් ගොඩක් කාලයක් පැවතෙන්න බෑ. ඒ පව්කාර වැඩ ස්වභාවධර්මයට දරගන්න බෑ. කොහෙන් හරි ඒව ඉවරවෙන්න ඕන. එහෙම ඒවා ඉවර වෙන්නෙ සම්පූර්ණයෙන් සියයට සීයක් හොඳ මිනිස්සු නිසා නෙමෙයි. මම නම් කියන්නෙ නරකම මිනිහා ඇතුළෙත් තියෙන්න ඕන පොඞ්ඩක් හරි හොඳක් ඉතුරුවෙලා. එවැනි අය ආණ්ඩුවෙ ඇති කියල හිතනව.

ප‍්‍රශ්නය – ජවිපෙ ප‍්‍රමුඛ ජාතික ජනබලවේගය කවදාටත් වඩා අද වෙද්දි සක‍්‍රීයවෙලා තියෙනව බලය ලබාගැනීම කියන සාධකය මත. ඔබ හිතනවද ජාතික ජනබලවේගයට රට මෙහෙයවීමේ බලයක් ඉදිරියේදි ලැබෙයි කියල…?

පිළිතුර – ඔව් පුළුවන්. එහෙම කියන්නෙ හේතු ගණනාවක් ඇතුව. රට මේ පත්වෙලා තියෙන සකල අර්බුදයන්ගෙන් ගොඩගන්න පුළුවන් පිරිස එක්වෙලා ඉන්න අපිත් එක්ක. ඒ පිරිස ප‍්‍රමාණාත්මකව අඩුවෙන්න පුළුවන්. එත් හැකියාවෙන් සහ ගුණාත්මකභාවයෙන් ඉහළයි. මම හිතනනෙ ඒ පිරිස තමයි රටට මේ මොහොතේ අවශ්‍යය. ඒ අය තමයි බලයේ ඉන්න ඕන කියන එක දැන් හිමින් හිමින් ජනතාවට තේරුම්ගන්න වෙනව. මමත් මේකට අලූත්. වෘත්තියෙන් දේශපාලනඥයෙක් නොවේ. මම මේකෙ පැවතෙන්න එකම හේතුව මම වටේ ඉන්න මිනිස්සු. ඒ අයගෙ දක්ෂතාව, අවංක බව මම අගය කරන නිසා තමයි මට මේකෙ පැවතෙන්න පුළුවන්. ජීවිතයේ වෙන තෝරා ගැනීම් තියෙද්දි මම මේකට ආවෙ මේක වටේ ඉන්න මිනිස්සුත් එක්ක මොනව හරි දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇතුළෙ. මම ඒ දැකපු දේ දැන් වෙන අයත් දකින්න පටන් අරන්.

අනෙත් එක තමයි මට හම්බවෙන බොහෝ දෙනා දැන් කියන කතාවක් තමයි අපි ඔයගොල්ලන්ටත් චාන්ස් එකක් දීල බලමු කියල. ඒ කියන්නෙ අපි ගැන ලොකු විශ්වාසයකින් එහෙම නොකිව්වත් මීට වඩා හපන් තැන්වලට දුන්න එකේ ජවිපෙට දුන්නම මොකද කියන තැන ජනතාව ඉන්නව.

ප‍්‍රශ්නය – ඔබ විශ්වාස කරනවද මේ පවතින රැල්ල ජවිපෙ ප‍්‍රමුඛ මේ බලවේගයට ඡන්දයකදී ප‍්‍රදර්ශනය වෙයි කියල…

පිළිතුර – එතන අභියෝගයක් තියෙනව. ඡන්දයක් එන්න තව අවම වශයෙන් අවුරුදු දෙක හමාරකින් එහා. හැබැයි මට හිතෙන්නෙ මේ ආණ්ඩුව තවදුරටත් පිරිහෙනව හැරෙන්න ගෙඩඑන්නෙ නෑ. ගොඩ ඒමේ කිසිම ලකුණක් නෑ. හැබැයි ඒක මගේ බලාපොරොත්තුව නෙමෙයි. මොකද ඒක රටට හොඳ නෑ. නමුත් මේ ආණ්ඩුව ගන්න කිසිම තීරණයක් විද්‍යාත්මක නෑ රට ගැන හිතද්දි. ඒ නිසා මේක වෙනස් වෙයි කියල හිතන්න බෑ. වෙනස් වෙන්නෙම බල හුවමාරුවකින් විතරයි. ඒ බල හුවමාරුවෙදි මිනිස්සුන් දැන් තේරුම් අරන් ඉන්නව ඒකට සුදුසු අපි කියල. ඒක ගැන රට තුළ සංවාදයක් ඇතිවෙලා තියෙනව.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment