රටට කන්න දෙන්න ගමින් ගමට සහයෝගිතාවයේ කුස්සියක්…Community Kitchen

377

● ආහාර අර්බුදය තිබෙන බොහෝ රටවල ජනප්‍රිය සංකල්පයක්…

● ශ්‍රී ලංකාවේ ආරම්භය මරදානෙන්….

සහයෝගිතා මුළුතැන්ගෙය එහෙමත් නැත්නම් මේ දිනවල නිතර සමාජ මාධ්‍යයේ සංසරණය වන රූප දැන්වීම්වල දකින community kitchen කියන වචනය ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් අරන්. ශ්‍රී ලංකාවේ අපිට නුහුරු නුපුරුදු අලුත්ම සංකල්පයක් ලෙස මේ සහයෝගිතා මුළුතැන්ගෙය වැඩසටහන දැනුණත්, ලෝකය පුරා බොහෝ රටවල මේ සංකල්පය ඉතාමත්ම ජනප්‍රිය සංකල්පයක්. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල්වල අදටත් පවත්වාගෙන යන සහයෝගිතා මුළුතැන්ගෙය දිගුකාලීන ඉතිහාසයක් තියෙන සමාජ සත්කාරයක්.

ඉන්දියාව, ඇමෙරිකාව, වගේ රටවල්වල මේ සහයෝගිතා මුළුතැන්ගෙය සාර්ථකව ක්‍රියාත්මක කරනවා. එක් එක් රටවල් මේ සංකල්පය විවිධ ආකාරවලට ක්‍රියාත්මක කරනවා. පිසින ලද ආහාර, සුප් වර්ග, වියළි ආහාර ද්‍රව්‍ය, එළවළු පලතුරු බෙදා දීම ඒ අතරින් කැපී පෙනෙනවා. ඒ ඒ රටවල්වල ජනතාවට ආහාරපාන සපයා ගන්නට නොහැකි අවස්ථාවලදී එනම් යුදමය වාතාවරණවලදී, සාගත අවස්ථාවලදී මේ සහයෝගිතා මුළුතැන්ගෙය ඇතිවුණා කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ලෝකයේ විවිධ රටවල්වල සහයෝගිතා මුළුතැන්ගෙය ආරම්භ වීම සම්බන්ධයෙන් විවිධ මතවාද තියෙනවා. කොහොම වුණත් මේ වැඩසටහන හරහා මිනිසුන් විසින් මිනිසුන්ටම උදව් උපකාර කර ගැනීම තමයි සිද්ද වෙන්නේ.

සහයෝගිතා මුළුතැන්ගෙය සංකල්පමය විදිහට බැලුවොත් අලුත් සංකල්පයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් අපේ රටේ ඉතිහාසය පුරාවටම අපේම මිනිසුන්ට උදව් අවශ්‍ය වූ හැම මොහොතකම ඒ සඳහා පෙරමුණ අරගෙන අපේම මිනිසුන් උදව් උපකාර කරලා තියෙනවා. කන්න බොන්න තියෙන දේවල් බෙදා හදාගෙන තියෙනවා. ඒ කළ සමාජ සත්කාරවලට සමාන ක්‍රියාවලියක් විදියටත් මේ සහයෝගිතා මුළුතැන්ගෙය හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා.

දැවැන්ත අර්බුද රාශියකට ජනතාවට මුහුණ දෙන්න සිද්දවෙලා තියෙන වෙලාවක ඔවුන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ආහාර සපයා ගැනීම. මේ වෙද්දි අත්‍යවශ්‍ය භාණ්ඩ, එළවළු පලතුරු සහ සියලුම දේවල්වල මිල ගණන් එකට එකක් ඉහළ ගිහින්. තවත් මාස දෙක තුනක් යද්දී දරුණු ආහාර හිඟයක් ඇති වෙනවා කියලත් ඒ සම්බන්ධයෙන් වන විශේෂඥයන් අනතුරු අඟවලා තියෙනවා. මේ වෙද්දි ලංකාව පුරා බොහෝ දෙනෙක් එදිනෙදා තමන්ට අවශ්‍ය ආහාර ටිකවත් සපයා ගන්න බැරි තරමටම අසරණ වෙලා කියන එක රහසක් නෙමෙයි.

ඒ වගේ දුෂ්කර වෙලාවක තමයි අසරණ වූ අපේම මිනිසුන් වෙනුවෙන් මේ සහයෝගිතා මුළුතැන්ගේ ආරම්භ වෙන්නේ. සින්ගියුලාරිටි ශ්‍රී ලංකා (Singiularity Sri Lanka) ආයතනයේ මූලිකත්වයෙන් සර්වෝදය ආයතනයේ සහයෝගිතා ගිවිසුම්ගතව ආරම්භ වුණු සහයෝගිතා මුළුතැන්ගෙය (community kitchen) පසුගිය මැයි 25 වැනිදා, බොහෝ පිරිසකට රාත්‍රී ආහාර වේල සපයා දෙමින් ඉතාමත් සාර්ථකව පළමු අත්දැකීම ජනතාවත් සමඟ බෙදා ගත්තා.

රටට කන්න දෙන්න ගමින් ගමට සහයෝගිතාවයේ කුස්සියක්…Community Kitchen

ශ්‍රී ලංකාව ඉතාමත්ම තීරණාත්මකව සිටින අවස්ථාවක, ලංකාවේ මිනිසුන් තමන්ගේ ආහාර අවශ්‍යතාවය ගැන දැඩි පීඩනයක ඉන්න වටපිටාවක මේවගේ සත්ක්‍රියාවක් ආරම්භ කිරීමට මූලිකත්වය ගත් සින්ගියුලාරිටි ශ්‍රී ලංකා ආයතනයේ නිර්මාතෘ, ඇමෙරිකා එක්සත් ජනපදයේ ආයෝජන බැංකුකරුවෙක් ලෙස කටයුතු කරන මංජු නිශ්ශංක මහතා හමුවීමටත් අපි අමතක කළේ නැහැ.

“බුද්ධි මණ්ඩලයක සාමාජිකත්වයෙන් ආරම්භ කළ සින්ගැයුලාරිටි ශ්‍රී ලංකා ආයතනයේ මුල් සමාජ සත්කාරය සහයෝගිතා මුළුතැන්ගෙයයි. දැනට ශ්‍රී ලංකාවේ තියෙන අර්බුදයන් කෙටිකාලීන මධ්‍ය කාලීන සහ දිගුකාලීන ලෙස හඳුනාගෙන එහි මූලිකම යාවත්කාලීන අර්බුදයක් ලෙස මිනිසුන් පත්ව ඇති අහාර අර්බුදයට යම් කෙටිකාලීන විසඳුමක් ලෙස මෙම සහයෝගිතා මුළුතැන්ගෙය ආරම්භ කළා. මෙම ආහාර අර්බුදය ග්‍රාමීය මට්ටමටත් වඩා බලපාන්නේ නාගරික අඩු ආදයම්ලාභීන්ට කියලා මට හිතෙනවා. තවමත් ග්‍රාමීය ජනතාවට තමන් අවට පරිසරය තුළින් හෝ ආහාර අවශ්‍යතා යම් මට්ටමකට හෝ සපුරා ගත ගන්න පුළුවන්. නමුත් නාගරිකව ජීවත්වෙන අඩු ආදායම්ලාභීන්ට එවන් අවස්ථාවක් නැහැ. ඔවුන්ට අවට පරිසරයෙන් කොස් දෙල් හෝ වෙනයම් ආහාරයක් සපයා ගැනීම ඉතාමත්ම අපහසුයි. ඒ වගේම ග්‍රාමීය නිවෙස් වල දර ළිපෙන් හෝ තවමත් ආහාර පිළියෙල කළ හැකියි. නමුත් නාගරිකව ජීවත්වෙන තට්ටු නිවැසියන්ට හෝ වතු ආශ්‍රිතව ජීවත්වෙන පිරිසට භූමිතෙල් හෝ ගෑස් ලිපක් නොමැතිව තම ආහාර පිළියෙල කර ගැනීම දුෂ්කරයි.”

එවැනි මිනිසුන් වෙනුවෙන් පවතින රජය යම් ක්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කරන තුරුවත්, කෙටිකාලීන වැඩපිළිවෙළක් ලෙස හෝ අපේම මිනිසුන් අප බලාගත යුතුයි කියන හැඟීම පෙරදැරිව මේ සහයෝගිතා මුළුතැන්ගෙය ආරම්භ කළා කියලා මංජු නිශ්ශංක මහත්මයා සිහිපත් කළා.

“මේ සත්ක්‍රියාව වෙනුවෙන් පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතනවල සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වූ අවස්ථාවේදී ඒ වෙනුවෙන් සර්වෝදය ආයතනය හා ගිවිසුම්ගතව මනා සහයෝගයකින් මෙම සත්කාරය ඇරඹීමට හැකිවීම සතුටට කාරණාවක්. ඒ වෙනුවෙන් මුල් අදියරේදී නාගරික ප්‍රජාව වෙනුවෙන් සතියකට උණුසුම් ආහාර වේල් 5000 ක් බෙදාහැරීමේ වැසටහන ආරම්භ කළා.”

සහයෝගිතා මුළුතැන්ගෙය සංකල්පයට සමගාමීව සංකේතාත්මක වැඩසටහනක් ලෙසින්, මුල්ම උණුසුම් ආහාර වේල් දහස බෙදාහැරීම පංචිකාවත්ත අබේසිංහාරාම පන්සල මූලික කරගෙන පසුගිය මැයි විසිපස් වැනිදා ආරම්භ වුණා. විහාරස්ථානයේ දායක සභාව සහ අරගල භූමි තරුණ පිරිසකගේ ශ්‍රම දායකත්වය ඒ සඳහා අඩුවක් නැතිව ලැබුන බවත් මේ වැඩසටහනට සම්බන්ධ වුණු බොහෝ දෙනෙක් අදහස් දක්වමින් කියා සිටියා.

දැනට සහයෝගිතා මුළුතැන්ගෙය සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය දරන්නේ සින්ගියුලාරිටි ශ්‍රී ලංකා ආයතනය. මේ වැඩසටහන ඉදිරි මාස 6 ක් වැනි කාලයක් පුරාවට පවත්වාගෙන යෑම තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව.

“සහයෝගිතා මුළුතැන්ගෙය සඳහා යම් ආධාරයක් ලබාදීමට කැමති කෙනෙක් ඉන්නවනම්, සර්වෝදය ආයතනයේ නිල වෙබ් අඩවියට ඇතුල් වීමෙන් එහි පරිත්‍යාග සඳහා වෙන් කළ ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ඒ සඳහා දායකත්වය ලබා දෙන්න පුළුවන්. කිසිදු තෝරා ගැනීමකින් සහ කොන්දේසියකින් තොරව කුසගිනි දැනෙන ඕනෑම පුද්ගලයෙක් වෙනුවෙන් උණුසුම් ආහාරවේලක් ලබාදීම තමයි අපේ ආයතනයේ බලාපොරොත්තුව. මේ සත්ක්‍රියාවේදී සර්වෝදය සභාපතිතුමා වින්ද්‍යා ආරියරත්න මහතාට “SL work යූ ටියුබ් චැනලයේ හිමිකරු බෲනෝ මහතාට මෙන්ම පළමු වැඩසටහන් දිනයේ ස්වෙච්ඡාවෙන් සහභාගි වී ශ්‍රම දායකත්වය ලබාදුන් අරගල භූමියේ තරුණ පිරිසටත් විහාරස්ථාන දායක සභාවත් ඉතාමත් ස්තුතිපූර්වකව සිහිපත් කරනවා.”

මිනිසා වෙනුවෙන් මිනිසා උදෙසාම නිර්මාණය වූ සහයෝගිතා මුළුතැන්ගෙය පිළිබඳව කරුණු සොයා ගිය ගමනේ අපේ ඊළඟ නවාතැන්පළ වුණේ මේ සංකල්පය මුල්මවරට ක්‍රියාත්මක වූ අබේසිංහාරාම විහාරස්ථානය. එහිදී පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානාධිපති, කොළඹ නව කෝරලේ උප ප්‍රධාන සංඝ නායක, මරදාන සංඝරාජ මහා විද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පති, මැද කොළඹ ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මේධංකර ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූහ.

“සින්ගියුලාරිටි ශ්‍රී ලංකා සහ සර්වෝදය යන ආයතන හා එක්වෙලා විහාරස්ථාන දායක සභාවේ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කළ සහයෝගිතා මුළුතැන්ගෙය පසුගිය දිනක ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුවා. ඒ ගැන මට තියෙන්නේ විශාල සතුටක්. කුසගින්න කුමන ආගමක කුමන ජනවර්ගයක කුමන වයස් සීමාවක වර්ග කිරීමකින් තොරව පොදුවේ මිනිසාට දැනෙන හැඟීමක්. කිසිදු කොන්දේසියකින් තොරව උණුසුම් ආහාර වේලකින් කුසගිනි නිවන්නට ලැබේනම් එය මහත් පුණ්‍ය කර්මයක්. එවන් සත්ක්‍රියාවක් උදෙසා මටත් විහාරස්ථාන දායක සභාවටත් සහභාගිවීමට ලැබීම ඉතාමත් භාග්‍යයක්.”

මෙම වැඩසටහන වෙනුවෙන් විහාරස්ථානයට ලබා දිය හැකි සම්පූර්ණ සහයෝගය ලබාදුන් බවත් ඉදිරියේදීත් සතිපතා මෙම වැඩසටහන විහාරස්ථාන භූමියේදී සිදුකරන බවත් විහාරාධිපති හිමියෝ සිහිපත් කළහ.

පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානය, ග්‍රෑන්ඩ්පාස් සෙන්ජෝසප් දේවස්ථානය, වැල්ලම්පිටිය මුස්ලිම් දේවස්ථානය යන ස්ථානවල සතියට දින තුනක් නාගරික ප්‍රජාව වෙනුවෙන් උණුසුම් ආහාර වේල් අවම වශයෙන් 5000 ක ප්‍රමාණයක්වත් ලබාදීම සින්ගියුලාරිටි ශ්‍රී ලංකා ආයතනයේ බලාපොරොත්තුවයි.

ලාංකික අපි සංග්‍රහය සහ පරිත්‍යාගය යන මානුෂීය ගුණාංගවලින් පිරිපුන් ජාතියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ ගෙවෙන්නේ අපි එකිනෙකාට උදව් කරගත යුතුම කාලයක්. කොළඹින් පටන්ගත් සහයෝගිතා මුළුතැන්ගෙය රට පුරාම ආරම්භ වන්නේ නම් මේ මොහොතේ සමස්ත රට වැසියන්ට එයින් ලැබෙන සහනය වචනයෙන් විස්තර කර නොහැකි තරම්. ඒ වෙනුවෙන් උදව් කරන්න අපේම මිනිසුන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වෙනවා.

ශක්තිමත් හිත් කීපයක මූලිකත්වය ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. සහයෝගිතා මුළුතැන්ගෙය රටටම ආදර්ශයක් සපයමින් ඒ වැඩසටහන මූලික අදියර ආරම්භ කරලා අවසානයි.

දිස්ත්‍රික්ක මට්ටමින් නගර මට්ටමෙන් රට පුරාම ඇති හැකි මිනිසුන්ට නැති බැරි මිනිසුන්ට උදව් කරන්න දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ ගෙවෙන්නේ මිනිස්සුන්ට මිනිසුන්ගේ උදව් අවශ්‍යම කාලයක්. මේ දුෂ්කරම කාලය ඇතුළේ අපේම මිනිස්සු වෙනුවෙන් අපි එකතු වුණොත් අපේ සමාජයට, රටට වගේම මුළු ලෝකයටම ආදර්ශයක් සපයන්න අපිට නැවතත් අවස්ථාවක් ලැබෙනවා. කොහොම වුණත් අපේම මිනිසුන් සිය දහස් ගණනක් අපේ උදව් ලැබෙනකම් ගම්වල නගරවල බලාගෙන ඉන්නවා කියලත් අපි නැවත වතාවක් සිහිපත් කරනවා.

කුමාරි ඉරුගල්බංඩාර – තනූජා සමරවික්‍රම

advertistmentadvertistment
advertistmentadvertistment