රටට ගැලපෙන මැතිවරණ ක‍්‍රමයකට යමු

158

ඉදිරියෙහි පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය තුළින් ද ඒවායේ ස්ථාවර භාවය රැකීමට හා සුළු ජනවර්ග පක්ෂවල නියෝජනය තුලනය කිරීම සඳහා සමානුපාතික හා කොට්ඨාස ක‍්‍රමය නියෝජනය වන අනුපාතයන්, ‘බෝනස්’ ආසන හා අවම ඡන්ද ප‍්‍රතිශත වැනි වත්මන් ශ‍්‍රී ලංකාවට නොගැලපෙන අවිද්‍යාත්මක පියවරයන් තවදුරටත් නිර්දේශ වනු ඇතැයි වාර්තාවේ. තවද, විටින්විට, අවිධිමත් ලෙස එම අනුපාතයන්, බෝනස් ආසන සංඛ්‍යාවන් හා අවම ඡුන්ද ප‍්‍රතිශත වෙනස් කිරීමෙන් පැහැදිලි වන්නේ එම තීරණ, නියැදි සාක්ෂි (Empirical Evidence) ඇතුළු නිසි පර්යේෂණයන්ට භාජනය වී නොමැති බවය. එහි අනිසි ප‍්‍රතිපලය නම් 1948 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රඥප්තියේ සමානාත්මතාවයේ වගන්තිය අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුළ සෑම ඡන්දයකටම ලැබිය යුතු සමාන වටිනාකම අහිමි වීමය. සීමා නිර්ණන ක‍්‍රියාවලිය තුළම ජනගහනය, භූමිය, ජනවර්ග, නාගරික හා දරිද්‍රතාවය වැනි විචල්‍යයන් සැලකිල්ලට ගෙන ඇති බැවින්, අපක්ෂපාති, පිරිසිදු මැතිවරණ ක‍්‍රමයක් තුළ ආසන ගණනය කිරීමේදී, මෙවැනි අමතර ක‍්‍රියාකාරකම් හරහා ප‍්‍රතිඵල විකෘති නොකරන ලෙස ස්වෛරී ඡුන්ද දායකයකු වශයෙන් අවධාරණය කරමි.

‘ශ‍්‍රී ලාංකික’ අනන්‍යතාවය කුළුගන්වමින් රටෙහි සංහිඳියාව ඇති කිරීමට වෙර දරන මොහොතක, සර්ව ජන මැතිවරණ සඳහා මෙවැනි ජනවර්ග බෙදීම් උලූප්පා දක්වන සමීකරණ ඉදිරිපත්වීම අතිශයින් ඛේදජනකය. ඉන් සිදු වන්නේ, අපගේ ජාතික ප‍්‍රශ්නය හිඟන්නාගේ තුවාලය මෙන් තවත් ඉදිරියට පවත්වාගෙන යෑමය. මේ පිළිබඳව අප ගැඹුරින් කල්පනා කළ යුතුය.

මෙහිදී, ස්ථාවර භාවය හා සුළුතර නියෝජනය පිළිබඳව පුරවැසියකු වශයෙන් මාගේ ස්වාධීන මතය තවදුරටත් පැහැදිලි කිරීම යෝග්‍ය යයි සිතමි.

* ස්ථාවර භාවය

ඡන්ද දායකයන් වශයෙන් අප අපේක්ෂා කරන්නේ පක්ෂයක හෝ කණ්ඩායමක හුදු ජයග‍්‍රහණයක් නොව, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මතවාදවල සුමක සංකලනයක් තුළින් රටට වඩාත් හිතකර පනත්, යෝජනා හා ප‍්‍රතිපත්ති අනුමත කරවා ගැනීමය. අනෙක් අතට, එක් පක්ෂයකට විශාල බහුතරයක් ලැබීමෙන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් ඒකාධිපති තීරණයන්ට යොමු විය හැක. නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක ප‍්‍රධාන වෑයමක් විය යුත්තේ එවැනි ප‍්‍රවනතාවයන් වැළැක්වීමය. තවද, සියලූම පක්ෂ විසින් මෙම ආයතනවලට වෘත්තීය මට්ටමේ, දේශපාලන උගතුන්ගේ නම් යෝජනා කරන්නේ නම්, ඔවුන් රටෙහි දියුණුවට මුල් තැන දෙමින් කටයුතු කරනවා නොඅනුමානය. වර්ෂ 73 ක් තුළ නොසිදු වූ, මෙය නිත්‍ය වශයෙන් ඉටු කළ යුතු කාලය දැනටමත් ඉක්මවා ගොස් ඇති හෙයින්, පවතින නීතිමය බාධා ඉවත්කොට, මැතිවරණ කොමිසම විසින් අපේක්ෂකයන් සඳහා අනිවාර්ය අවම සුදුසුකම් උපමානයන් පනවා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක‍්‍රමයක්ද නීති ගත කළ යුතුය. එවිට, ‘පක්ෂ නායකයාගේ හෙන්චයියන් නම් කිරීම’ , ‘අස්ථාවර’ , ‘එල්ලෙන’, පක්ෂ මාරු හා 3/2 බහුතරය වැනි වදන් අපගේ දේශපාලන ශබ්ද කෝෂයෙන් ඉවත්වී ස්වෛරී ඡන්ද දායකයා අපේක්ෂා කරන සංවර, දේශපාලන නියෝජිතයින් පිරිසක් බිහිවනු ඇත.

* සුළුතර නියෝජනය

ඉහත සඳහන් කළාක් මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සුවිශේෂී ලක්ෂණයක් නම් සෑම ඡන්දයකටම සමාන වටිනාකමක් සහතික කිරීමය. එවිට ජාති, ආගම් හා කුල බේදවලින් තොරව සමානාත්මතාවය මූලික කරගත් ‘ශ‍්‍රී ලාංකික’ අනන්‍යතාවයක් ගොඩ නැගෙනු ඇත. රටෙහි කැකෑරෙමින් පවතින ජාතික ප‍්‍රශ්නයට මූලික විසඳුම මෙයයි. ‘සුළුතරයට එරෙහිව බහුතරය’ යන පටු ආකල්පය තුළ රැඳෙමින්, සුළුතරය ලේබලය යටතේ විශේෂ සහන හිඟා කෑමට හෝ බහුතරය කියා හඳුන්වාගනිමින් සුළුතරයට සුළු සහන ලබා දී බාල තෘප්තියක් විඳීම ද මනුෂ්‍යත්වයට නොගැලපේ.

* සරල යෝජනාව

ඉදිරියේදී, පළාත් සභා මැතිවරණය මුළු රටෙහි එකවර පැවැත්වීමේ අවස්ථාව ද හිමි වන හෙයින්, සීමා නිර්ණ වාර්තාවට අනුව සැම දිස්ත‍්‍රික්කයකම ආසන සංඛ්‍යාව පූර්ව- නිශ්චය කර, අදාළ පක්ෂ ලබා ගත් වලංගු ඡුන්ද සංඛ්‍යාවට අනුපාතිකව ඔවුනට හිමි ආසන සංඛ්‍යාව ගණනය කිරීමෙන්, සෑම ඡුන්දයකටම සමාන වටිනාකමක් ලබාදීම තහවුරු කළ හැක. ඉන් පසුව, තම පක්ෂ අභිමතය අනුව, මැතිවරණ කොමිසම විසින්, යෝජිත ‘දිස්ත‍්‍රික්/මැතිවරණ කොට්ඨාස කුසලතා නාමයෝජනා ලැයිස්තු හෝ මධ්‍යම සංචිත ලැයිස්තු හෝ එක් ලැයිස්තුවක් යටතේ, අපේක්‍ෂක නම් ලියාපදිංචි කිරීම තුළින්, නියෝජිතයන් ස්වයංක‍්‍රීයව ආසන සඳහා පත් කළ හැක. මෙම සරල ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය වැඩිවී කාලය හා ශ‍්‍රමය ද ඉතිරි වේ. රජයට ද විශාල මුදල් සම්භාරයක් එලෙසම ඉතිරිවේ. ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලැබීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවත් තහවුරුවේ.

ඉහත සඳහන් කරුණු විද්‍යාත්මකව හා අපක්ෂපාතීව සලකා, යෝජිත අනුපාත, බෝනස් ආසන හා අවම ඡුන්ද ප‍්‍රතිශත වැනි විකෘති කිරීම්වලින් තොරව පළාත් සභා ඡුන්දය පැවැත්වීමට කටයුතු කරන මෙන් ජනතා පරමාධිපත්‍යයට ගරු කරන දේශපාලන අධිකාරියෙන් හා බලධාරීන්ගෙන් උදක්ම ඉල්ලා සිටිමු.

බර්නාඞ් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment