රටට ඩොලර් ඕනෑනම් ඖෂධමය ගුණයෙන් යුත් ආහාර අතිරේකයට අනුමැතිය ලබාදීම කල්දාන්න එපා

256

කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන

මෙරට වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ඖෂධීය ගුණයකින් යුතු ආහාර අතිරේකයන් මේ වන විට නිෂ්පාදනය කර ඇති බැවින් ඒවා විදේශ රටවලට අපනයනය කර රටේ ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය ඩොලර් රටට ගෙන ඒමට බලධාරීන් විසින් කටයුතු කළ යුතු බව කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන පැවසුවේය.

ශ්‍රී ලාංකිකයන්ට නව බලාපොරොත්තුවක් ලබා දෙමින්, ප්‍රතිජීවික ඖෂධවලට වඩා ප්‍රබලත්වයකින් යුත් ඖෂධීමය ගුණයකින් යුත් ආහාර අතිරේක වෛද්‍ය කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කර අවසන්කර ඇති බව පෙන්වා දෙන වෛද්‍ය ගුණවර්ධන මහතා ඒ සදහා ජාත්‍යන්තර වාර්තා හා සහතික ලබාගෙන තිබෙන බව අවධාරණය කළේය.

බටහිර වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බැක්ටීරියාවන්ට එරෙහිව කටයුතු කළ හැකි ඖෂධීමය ගුණයෙන් යුත් ආහාර අතිරේක අපි නිෂ්පාදනය කළා කියලා පිළිගෙන තිබෙනවා. මේවාට අනුමැතිය ලබාදීම කල් දාන්න එපා. වහාම අනුමැතිය ලබාදෙන්න. මේ වගේ නිෂ්පාදන විදේශ රටවලට යවලා රටට ඩොලර් ගේන්න පුලුවන්. මෙහෙම ගේන ඩොලර් අපි කන්න භාවිතා කරන්නේ නෑ. රටේ ජනතාවට අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට, බෙහෙත් ගෙන්වීමට තමයි අපි මේ මුදල් භාවිතා කරන්නේ. අද වන විට බෙහෙත් හිගය නිසා රෝහල්වලට යාමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත්, ඉන්ධන ගෙන්වීමට නොහැකිවීම නිසා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති බව පෙන්වා දෙන වෛද්‍ය ගුණවර්ධන මහතා මෙයට විසඳුමක් ලෙස රටට ඩොලර් ගෙන ආ හැකි ක්‍රමවේදයන් සඳහා අවස්ථාව ලබාදිය යුතු බව අවධාරණය කළේය.දැන් මිනිස්සු ඉල්ලන්නේ වෙන කිසිවක් නෙමෙයි. ජීවිතය. හැමෝම එකතුවෙලා මිනිස්සුන්ට ජීවිතය ලබාදෙන්න.

ග්‍රෑම් නෙගෙටිව්, ග්‍රෑම් පොසිටිව් බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියාත්මක කරන්න පුලුවන් ඖෂධීය ගුණයෙන් යුත් ආහාර අතිරේක නිෂ්පාදනය කරලා ලෝකයට අපි පණිවුඩයක් ලබාදෙනවා. ශ්‍රී ලාංකිකයනි බිය වෙන්න එපා, ඉදිරියේදී ප්‍රතිජීවක බෙහෙත් නැතිවුනොත් ඒ සඳහා භාවිතා කළ හැකි ඖෂධමය ගුණයෙන් යුත් ආහාර අතිරේක අපි නිෂ්පාදනය කරලා ඉවරයි. මුඛ මාර්ගයෙන් ලබාගත හැකි මේවා ඉදිරියේදී එන්නත් තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනවා.

මේවාට සවන් දීලා, රටට වැඩි වශයෙන් ඩොලර් අරගෙන එමු. මිනිස්සු ඉල්ලන්නේ ජීවිතය. අත්‍යවශ්‍ය බෙහෙත් , තෙල් ටික ගේන්න පුලුවන් හැම ක්‍රමයක්ම සකස් කරන්න. කවුරුන් හෝ ඩොලර් ගේන්න ඉදිරිපත් වෙනවා නම් ඔවුන්ට උදව් කරන්න. ඉදිරියේදී අප මේ සම්බන්ධයෙන් මෙයට වඩා ප්‍රබල හඬක් නගනවා. මේ දේවල් නොකළහොත් පාරට බැහැලා සටන් කරන බවට වන පණිවුඩය දකුණු පළාතේ සිට අප ලබාදෙනවා. එසේ නොවුනහොත් මේ මිය යන සැම කෙනාගේම ජීවිතවල වගකීම පාලකයින් විසින් භාරගත යුතු යැයි වෛද්‍ය ගුණවර්ධන කීවේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment