රටට බඩගිනියි…

273

රටේ දරුවන් අනතුරක……. හරි අඩකට හදිසි උපකාර ඕනෑ! – යුනිසෙෆ් කියයි
සාමාන්‍ය පවුලක 63,000 ට තිබ්බ මාසෙ වියදම 110,000 ත් පැනලා….
අන්ත දුප්පත් පවුලකට මාසේ වියදම 26,000 ට කිට්ටුයි

අපට නම් කොස් ඇටයක් පුච්චගෙන කාල හරි ඉන්න පුළුවන්. ඒත් මේ දරු පැටවුන්ට… මෙය මේ දිනවල බොහෝ දෙමාපියන් විසින් නඟන පැනයක් බවට පත්ව ඇත. ඊට හේතුව බවට පත්වන්නේ මිලියන 22ට අධික මෙරට ජනගහනයෙන් වැඩි පිරිසක් මේ වනවිට බඩගින්න පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් පමණටත් වඩා බැටකමින් පැවතීමය. එහි අතුරු ප්‍රතිඵල ද මේ වනවිට නිකුත් වෙමින් ඇත. රටක් ලෙස මේ වනවිට ශ්‍රී ලංකාවට අත්ව ඇති ඉරණම කිරා මැන බැලීම පමණක් නොව, ඉන් සෑහීමකට පත්විය නොහැකි නම් අසා දැක බලා ගැනීමට ද ඒ හරහා හැකියාව ලැබී ඇත. සංඛ්‍යාලේඛන සහිතව වාර්තා වන එම අසුබ පුවත් අතර බරපතළම රිදුම උපදවන සුළු පුවත බවට පත්වන්නේ ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ගෝලීය වශයෙන් 06 වැනි ස්ථානයට පත්ව ඇතැයි සඳහන් පුවතය. කලාපීය වශයෙන් ගත්කල දකුණු ආසියාව තුළ ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව පසුවන්නේ 02 වන ස්ථානය හිමිකර ගනිමින්ය. උද්ධමනය ඉහළ යන රටවල් අතර අපට 05 වන ස්ථානය හිමිව ඇත. ඉකුත් දිනක කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර සිටින්නේ යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්‍ෂ ජෝර්ජ් ලැරී මහතා විසිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ දිනෙන් දින උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් මෙරට ළමා පරපුරට ඉන් දැඩි බලපෑමක් සිද්ධවන බවත් ආහාරවේලක් නොලැබී යෑම, ආහාර මිලට ගැනීමට නො හැකිවීම සහ මෙරට පවුල් විශාල ප්‍රමාණයක් දෛනික ආහාර වේල් මඟහරිමින් සිටීම ළමා මන්දපෝෂණය ඉහළ යෑම පිණිස හේතු වී ඇති බවත් ය. එපමණක් නොව, යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්‍ෂවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවැනි අර්බුදකාරී වටාපිටාවක වුවද සෞඛ්‍ය හා අධ්‍යාපන යන අංශයන්ගෙන් මෙරට අත්පත් කරගෙන තිබෙන ‘තැන’ තවදුරටත් එම තත්ත්වයෙන් පවත්වාගෙන යෑම පිණිස සහයෝගය දක්වන ලෙස යුනිසෙෆ් ආයතනය විසින් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් ද කරන බවය. රටවල් 190ක් පුරා ක්‍රියාත්මක යුන්සෙෆ් ආයතනය විසින් ගණන් ඉලක්කම් සහිතව පෙන්වා දෙන්නේ මෙරට දරු පරපුර ප්‍රධාන සමස්ත ප්‍රජාවගෙන් විශාල පිරිසක් බඩගින්න හේතුවෙන් දැඩිව බැට කමින් සිටින බවය.

මේ අතර පේරාදෙණිය විශ්විද්‍යාලය මගින් කරන ලද අධ්‍යයනයකට අනුව මෙරට වත්මන් මුහුණුවර පිළිබඳ ‘ඇඟ හිටිවැටෙන’ තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත. එම අධ්‍යයනය මගින් හෙළිදරව් වන තොරතුරුවලට අනුව මෙරට සාමාන්‍ය පවුලක් 2019 වර්ෂය වනවිට රුපියල් හැටතුන්දහසක මාසික පරිභෝජන වියදම (ආහාර ඇතුළු අනිකුත් දෑ) දරා ඇත. පවතින උද්ධමනකාරී තත්ත්වය තුළ මේ වනවිට එය රුපියල් එක්ලක්‍ෂ දසදහස දක්වා රුපියල් හතළිස්හත්දහසකින් ඉහළ ගොස් ඇත. එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා විසින් ඒ බව හෙළිකර සිටින අතර එහිදී මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ රුපියල් දහහතරදහස් පන්සීයක්ව පැවැති මෙරට අන්ත දුගී පාරිභෝජන වියදම 2019 වසරට සාපේක්‍ෂව මේ වනවිට රුපියල් විසිපන්දහස් පන්සීයයක් දක්වා රුපියල් එකොළොස්දහසකින් ඉහළ ගොස් ඇති බවක් ය. මෙම අන්ත දුගී පවුල් සමූහයට මෙරට ජනගහනයෙන් ලක්‍ෂ 21ක් ඇතුළත් ය.

එම අධ්‍යයන මගින් අනාවරණය කරගත් තොරතුරු මෙරට සාමාන්‍ය ජීවිත හෝ අන්ත දුගී ජනතාව මේ මොහොතේ අත්විඳිමින් සිටින පීඩනයේ දිග පළලින් කෙළවර වන්නේ නැත. එම සමීක්‍ෂණය සමස්ත රට ම ආවරණය කරගත් එකක් බැවින් ඉහළ ආදායම් ලබන්නන්ගේ මුදල් පසුම්බියට ද සෙනසුරා උදා වී ඇති බව මනාව ඔප්පු වී ඇත. ඒ අනුව 2019 වර්ෂයේ රුපියල් එක්ලක්‍ෂ අනූඅටදහසක්ව පැවැති මෙරට ඉහළ ආදායම් ලබන පවුලක මාසික වියදම දැනට රට තුළ පවතින උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් රුපියල් තුන්ලක්‍ෂ හතළිස්පන්දහස දක්වා රුපියල් එක්ලක්‍ෂ හතළිස්දහසකින් ඉහළ ගොස් ඇත. මෙම සැපවත් ජීවිත ගත කරන පිරිස අතරට මෙරට ජනගහනයෙන් ලක්‍ෂ 20ක් ඇතුළත්ව ඇත. මෙරට මැදි ආදායම් ලබන පිරිස 2019 වසරට සාපේක්‍ෂව මේ වනවිට ඇති ‘ඵල’ පිළිබඳව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් කරන ලද අධ්‍යනයකදී කරුණු හෙළිදරව් වී ඇත.

එහිදී මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ 2019 වසර තුළ රුපියල් හතළිස්අටදහසක්ව පැවැති මැදි ආදායම් ලබන පවුලක මාසික වියදම මේ වනවිට රුපියල් අසූතුන්දහසක් දක්වා රුපියල් තිස්පන්දහසකින් පමණ ඉහළ ගොස් ඇති බවය. මේ අතර පසුගිය 2019 වර්ෂය වනවිට මාසික පාරිභෝජන වියදම රුපියල් ලක්‍ෂය ඉක්මවූ පුද්ගලයන් ලක්‍ෂ 21ක් රටේ සිට ඇති අතර එම සංඛ්‍යාව මේ වනවිට ලක්‍ෂ අසූහතරක් දක්වා ඉහළ ගොස් ඇත.

එය ‘සුබ ආරංචියක්’ නොවන්නේ එසේ වීමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ ජීවන තත්ත්වයේ ඉහළ යෑමක් නිසා නොව, වෙළෙඳපොළ තුළ පරිභෝජන භාණ්ඩවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් එවැනි තත්ත්වයක් හටගැනීමය. ඉහත සංඛ්‍යාලේඛන පිළිබඳ විමසිලිමත් වීමේදී පෙනී යන්නේ සමාජ දේහයේ මුල, මැද, අග වෙනසක් නැතුව ‘පට්ට කට්ටක්’ කන බවය. මෙම ‘කට්ට’ කෑමේ තරගයෙන් මධ්‍යම පාන්තික හා ඉහළ මධ්‍යම පාන්තික ජනතාව මදකට ඉවත් කොට බැලූ කල රට තුළ සාමාන්‍ය ජීවිත ගතකරන්නන් සහ දුප්පත්භාවයයේ කරවටක් ගිලී සිටින්නන් මේ වනවිට හිඟා නොකා හිඟා කන තත්ත්වයට පත්ව ඇත. සිය ආත්ම අභිමානය පවා පැත්තකින් තබන ඔවුන් ජීවත්වීම පිණිස අනවරත ජීවන අරගලයක නිරතව ඇත. එය ගාලු මුවදොර අරගලය මෙන් නොව, වෙන් වෙන්ව තනි තනිව කරනු ලබන අරගලයක් ය. එය කොතෙක්ද යන්න මේ වනවිට සමාජය තුළින්ම පොලා පනිමින් පවතින සිදුවීම් හරහා තේරුම් ගත හැක. තම කිරිකැටියාගේ කුසගිනි නිවීම පිණිස පියවරුන් කිරිපිටි සොරකමේ යෑම, ගණිකා වෘත්තිය පිණිස වැඩි වැඩියෙන් කාන්තාවන් යොමුවීම, රජයේ හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන සේවකයන් දිනෙන් දින ණයකරුවන් බවට පත්වීම සහ තරුණ පිරිස් අන් කවරදාකටත් වඩා වැඩි කැමැත්තකින් රට හැර යෑම පිණිස දරන උත්සාහය තුළින් පෙනී යන්නේ ඉහත ගණන් ඉලක්කම් සහිතව හෙළිකර සිටින සමාජ යථාර්ථය මහපොළොව මත මේ වනවිට සැබෑවක් බවට පත්ව ඇති බවය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment