රටට බරක් නැති මහඟු සම්පත කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය

193

ලංකාවේ පළමු භූගත බලාගාරය ලෙස කොත්මලේ විදුලි බලාගාරය සැලකේ. කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය සැලකෙන්නේ මෙරට දෙවන භූගත ජල විදුලි බලාගාරය ලෙසය. මෙම බලාගාරය මගින් ජනනය කෙරෙන ධාරිතාව මෙගාවෝට්ස් 80 ක් වන අතර ගිගාවොට් පැය 317 ක් වාර්ෂිකව ජනනය කරයි.

රටට බරක් නැති මහඟු සම්පත කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය

කළු ගඟ ලංකාවේ පිහිටි ගංගා අතරින් දෙවන විශාලතම ගංගාවයි. ඒ වගේම එය ලංකාවේ ගංගා අතරින් වාර්ෂිකව වැඩිම ජල ප්‍රමාණයක් සාගරයට ගලායන ගඟ ලෙසද වාර්තා වෙනවා. නමුත් මහවැලි ගඟ සහ කැලණි ගඟ ආශ්‍රිතව බොහෝ ජල විදුලි බලාගාර ඉදිවී තිබුණත්, කළු ගඟේ හෝ එහි අතු ගංගා පාදක කර ගෙන කුඩා විදුලි බලාගාර හැරෙන්න විශාල විදුලි බලාගාර කුකුළේ ගඟ විදුලි බලාගාරය ඉදිකරන තුරු ඉදිවී තිබුණේ නැත.

සිරිපා කඳු වැටියෙන් ආරම්භව කළුතරින් මහ මුහුදට සම්බන්ධ වන කළු ගංගාවේ ප්‍රධානම අතු ගංගාව කුකුළේ ගඟයි. පහතරට තෙත් කලාපයේ අප සතු එකම නිවර්තන කලාපීය වනාන්තර ලෙස සැලකෙන ලෝක උරුම සිංහරාජයෙන් ආරම්භ වී සබරගමුවේ කුකුළු කෝරළය ඔස්සේ ගලා විත් පස්යොදුන් කෝරළයේදී කළු ගඟට පිවිසෙන කුකුළු ගංගාවේ ජල ප්‍රවාහය වර්ෂය පුරාම නොඅඩුව පවතී.

රටට බරක් නැති මහඟු සම්පත කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය

කුකුලේ ගං ද්‍රෝණියේ විශාලත්වය කළුගඟේ විශාලත්වයෙන් නමයෙන් එකකි. එසේ වුවත් කළු ගඟේ ජල අස්වැන්නට කුකුලේ ගඟෙන් ලැබෙන දායකත්වය සියයට විසි පහක් තරම් ඉහළ වීම සුවිශේෂී තත්ත්වයක් ලෙස සැලකේ.

මේ මහා ජල සම්පත උපයෝගී කර ගනිමින් ජල විදුලි බලාගාරයක් පිහිටුවීම පිළිබඳ අධ්‍යයන කටයුතු ප්‍රථමයෙන්ම ආරම්භ වූයේ 1968 වසරේදීය. කුකුලේ ගඟ හරහා මීටර් 100ක උස් වේල්ලක් ඉදිකොට සුවිශාල ජලාශයක් නිර්මාණය කිරීමෙන් මෙගාවොට් 150 ක ස්ථාපිත ශක්තියක් සහිත ජල විදුලි බලාගාරයක් පිහිටුවීමේ හැකියාව එම මුල් අධ්‍යයනයේ අරමුණ විය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනයේ විශේෂඥයන් විසින් ඉහත කරුණු පෙන්වා දී තිබුණි.

කුකුලේ ගඟ ජල විදුලි ව්‍යාපෘතිය පිළිබඳව දෙවන පූර්ව අධ්‍යයනය 1988 දී ලෝක බැංකුවේ ආධාරයෙන් සිදුකර තිබේ. මෙම ජල ව්‍යාපෘතිය බහුකාර්යය සංවර්ධන යෝජනා ක්‍රමයක් වශයෙන් ආරම්භ කිරීම අරමුණ වී තිබිණි.

රටට බරක් නැති මහඟු සම්පත කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය

අවසානයේ 1992 වසරේ ජේ. වී. කේ. නමැති උපදේශක සමාගමක් මගින් කුකුලේ ගඟ ආශ්‍රිත තනි අමුණු කුඩා ජලාශයක් ඉදිකර ගඟේ ස්වභාවික ජල ප්‍රවාහයෙන් ක්‍රියාත්මක කළ හැකි විදුලි බලාගාරයක් ඉදිකිරීමේ හැකියාව සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකට අනුව එම ව්‍යාපෘතිය ආර්ථික වශයෙන් ශක්‍යතාවය දක්වන බවත් එමගින් පාරිසරික හා සමාජීය බලපෑම අවම බවටත් සඳහන් කළේය.

ඒ අනුව ජපන් රජය, ජපාන අන්තර්ජාතික සහයෝගිතා බැංකුව හරහා ලබා දුන් සහන ණය ආධාරයෙන් කුකුලේ ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය 1998 වසරේ ආරම්භ කර 2003 සැප්තැම්බර් 19 වන දින විදුලි බලාගාරය විවෘත කරන ලදී.

රටට බරක් නැති මහඟු සම්පත කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය

කුකුළේ ගඟ විදුලි බලාගාරය පොළොව මට්ටමට මීටර් 200ක් පහළින් පිහිටි භූගත විදුලි බලාගාරයකි. තවද, එය කි.මී. 4ක් එපිටින් පාලන මැදිරියක සිට ක්‍රියාත්මක කළ හැකි ආකාරයට නව තාක්ෂණය උපයෝගී කරගෙන ඉදිකර ඇත. එම නිසා නඩත්තු හෝ අලුත්වැඩියා කටයුතු නොමැති විට මෙම භූගත බලාගාරය තුළ කිසිවකු නොරැඳීමත් මෙම බලාගාරයේ සුවිශේෂී ලක්‍ෂණයකි. ඊට අමතරව එය ගඟේ ස්වභාවික ජල ප්‍රවාහයෙන් (Runof- the-River) ක්‍රියාකරන ලංකාවේ පළමු ජල විදුලි බලාගාරය වගේම බස්නාහිර පළාතේ පිහිටා තිබෙන එකම විශාල ප්‍රමාණයේ ජල විදුලි බලාගාරයයි. මෙම ජල විදුලි බලාගාරයේ ධාරිතාව මෙගා වොට් (MW) 80කි.

මෙම ජල විදුලි බලාගාරය මගින් වසරකට විදුලි ඒකක මිලියන 317ක් (එනම් ජාතික විදුලි ඉල්ලුමෙන් 2%ක් පමණ) අපේක්‍ෂා කරන අතර, පසුගිය වසර 20 තුළ වසර 15ක දීම මෙම කඩඉම් පසු කිරීමට මෙම විදුලි බලාගාරය සමත් වී ඇත. 2021 වසරේ උත්පාදනය කෙරුණ විදුලි ඒකක මිලියන 401 වසරක් තුළ මෙම බලාගාරයෙන් නිෂ්පාදනය කෙරුණ උපරිම බලශක්තිය ලෙස වාර්තා වේ. එලෙසම මෙම විදුලි බලාගාරයෙන් විදුලිය නිපදවීම එයට හැකි උපරිමයට ප්‍රතිශතයක් (Plant Factor) ලෙස ප්‍රකාශ කිරීමේදී 50% කට වැඩියෙන් වාර්තා කිරීමත් මෙම බලාගාරයේ ඉතා සුවිශේෂී ලක්‍ෂණයක් වේ. (බොහෝ ජල විදුලි බලාගාරවල මෙම සාධකය 30%කට පමණ සීමා වේ.)

මේ අනුව කුකුළේ ගඟ විදුලි බලාගාරය ලංවිම සතු ඉතා අඩු ඒකක පිරිවැයකින් (Unit Cost) පරිසර හිතකාමී විදුලිය ජනනය කරන බලාගාරයක් වන අතර, ඉන් වසරකට නිපදවන බලශක්තියේ සාමාන්‍ය වටිනාකම රු. බිලියන 15ක් පමණ වන බව තක්සේරු කර ඇත. යම් ලෙසකින් මෙම බලාගාරය ඉදිනොවුණේ නම්, මෙම බලාගාරයෙන් නිපදවන බලශක්ති ප්‍රමාණය තෙල් දැවීමෙන් ජනනය කිරීමට මීට අමතරව තවත් රු. බිලියන 15ක් අවශ්‍ය විය හැකිව තිබිණි. තවද මෙම බලාගාරය ඉදිකිරීම තුළින් වසරකට ආනයනය කිරීමට නියමිත ඩීසල් ලීටර් මිලියන 75ක් ඉතිරි කිරීම මගින් රටින් බැහැර වීමට තිබූ අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කර දීමට හැකිවී ඇත. මීට අමතරව මෙම බලාගාරය මගින් වසරක් තුළ පරිසරයට එක් වීමට තිබුණ කාබන්ඩයොක්සයිඩ් ටොන් ලක්‍ෂ 2ක් පමණ වළකාලීමද තවත් මෙහි සුවිශේෂී ප්‍රතිලාභයකි.

රටට බරක් නැති මහඟු සම්පත කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය

කුකුළේ ගඟ විදුලි බලාගාරය

ගඟේ ස්වභාවික ජල ප්‍රවාහයෙන් ක්‍රියාත්මක වන නිසා බලාගාරය උපරිම වශයෙන් ධාවන තත්ත්වයේ පවත්වා ගැනීම ඉතාම වැදගත් වේ. එසේ නොමැති වුවහොත් විශේෂයෙන් වර්ෂාව ඇති විට ජලාශයක් නොමැතිකමින් ජලය රඳවා ගැනීමට නොහැකි වීම නිසා ජලය පිටාර ගැලීම හේතුවෙන් සිදුවන විදුලිය අපතේ යාමෙන් අති විශාල පාඩුවක් සිදුවිය හැකිය. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බලස්ථාන කාර්ය මණ්ඩලය නිසි ලෙස නඩත්තු කටයුතු කරමින් විදුලි බලාගාරය වසරේ වැඩි කාලාන්තරයක් ධාවන තත්ත්වයේ (Availabilty) තබා ගැනීමට කැපවී කටයුතු කරනවා. පසුගිය වසර ගණනාවක කුකුළේ ගඟ විදුලි බලාගාරයේ සාමාන්‍ය වාර්ෂික ධාවන තත්ත්වය (Availabilty Factor) අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කිරීමෙන් අනතුරුව 90% ක් වැනි ඉහළ අගයක රඳවා ගැනීමට හැකිවීම කාර්ය මණ්ඩලයේ කැපවීම මොනවට පැහැදිලි වේ.

මතුගම, කලවාන මාර්ගයේ යන විට කුකුළුගම ප්‍රදේශයේදී මීපාගම ජලාශය මෙන්ම කුකුලේගඟ බලාගාරයේ භූගත ජල විදුලි බලාගාරයට පිවිසිය හැකිය. තව ද මතුගම, මෝල්කාව මාර්ගයේ හොරණ, බුලත්සිංහල, මෝල්කාව මාර්ගයේ මෝල්කාව අලුත් හන්දියෙන් මෙම බලාගාරයට පිවිසිය හැකිය. එය රමණීය පරිසරයක පිහිටි රටට බර නැති මහඟු සම්පතකි.

රාජිත දසනායක

advertistmentadvertistment
advertistmentadvertistment