රටට බරක් වූ පළාත් පාලන ආයතන වහා විසුරුවන්නැයි මහරගමදී උද්ඝෝෂණ

194

රට ආර්ථික අර්බුදයකට පත්ව ඇති මොහොතක කාලය දීර්ඝ කර ඇති සියලුම පළාත් පාලන ආයතන වහාම විසුරුවන ලෙසත්, එසේ නොමැති නම් සභිකයන් වැටුප් රහිතව ගරු සේවාවක් ලෙසින් සේවයේ නිරත වන ලෙසත් ඉල්ලා මහරගම නගරයේදී ඊයේ (07 දා) උදෑසන උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

මහරගම නගර සභාවේ ස්වාධීන නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා සංවිධානය කළ මෙම උද්ඝෝෂණය සඳහා මහරගම ප්‍රදේශයේ ජනතාව එක්ව සිටියහ.

මහරගම නගර සභාවේ සභිකයන් හතළිස් හත් දෙනකු නියෝජනය කරන අතර ඔවුන් සියලු දෙනා මින් ඉදිරියට දීමනා රහිතව සේවය කරන ලෙසටත්, රුවන් සේනාරත්න මන්ත්‍රීවරයාගේ මාසික දීමනාව ඉදිරියේදී ලබා නොගන්නා බවත් දන්වමින් සභාපති ටිරාජ් ලක්රුවන් මහතාට ඉකුත්දා ලිඛිතව දන්වා තිබුණි.

එම යෝජනාව ඊයේ (07 දා) පැවති සභා රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ අතර සභාපතිවරයාගේ අභිමතය පරිදි එම යෝජනාව න්‍යාය පත්‍රයෙන් ඉවත් කළ බව දන්වා රුවන් සේනාරත්න මන්ත්‍රීවරයාට ලිඛිතව දන්වා තිබු අතර ඊට විරෝධය පළ කරමින් රුවන් සේනාරත්න මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මෙසේ උද්ඝෝෂණයේ නිරත විය.

රටට බරක් වූ පළාත් පාලන ආයතන වහා විසුරුවන්නැයි  මහරගමදී උද්ඝෝෂණ

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ මේ වනවිට දිවයින පුරා පළාත් පාලන සභිකයන් 8436 දෙනකු සිටින බවත්, ඉන් එක් අයෙකු ඉකුත් වසර හතර පුරා ලක්ෂ පහළොවකට ආසන්න දීමනාවක් ගෙන ඇති බවත්, ඒ අනුව කෝටි පහළොවකට අධික මුදලක් දීමනා ලෙස පළාත් පාලන සභිකයන් ලබා ගෙන ඇති බවත්ය.

එවන් තත්ත්වයක් තුළ මීට මාස තුනකට පෙර පළාත් පාලන ආයතන නැවත වරක් තවත් වසරක් සඳහා දික් කිරීමෙන් රටේ ආර්ථිකයට පළාත් පාලන ආයතන මහ බරක් වන බවද ඔවුහු කියා සිටියහ.

ඒ අනුව වහාම පළාත් පාලන ආයතන විසුරුවා හරින ලෙසත් එසේ නොමැතිනම් දීමනා නොගෙන ගරු සේවයක් ලෙස සේවයේ නිරත වන ලෙසත් ඉල්ලා ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment