රටට යමක් කළ හැකි එකම නායකයා රනිල් පමණයි – කුමාර වෙල්ගම

237

“විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ එක්වී දැනට රටට යමක් කිරීමට පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ඒ බව මම බය නැතුව පක්ෂ භේදයෙන් තොරව රට ගැන සිතා ප්‍රකාශ කරනවා” යැයි නව ලංකා නිදහස් පක්ෂයේ නායක කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගාල්ලේදී පැවසීය.

ගාල්ල නවාරා උත්සව ශාලාවේ පැවති එම පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමින් වෙල්ගම මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

“දැන් බලනකොට රට ගොඩගන්න පුළුවන් කෙනෙක් පේන්න නැහැ. දැන් ඉන්න පක්ෂ නායකයො දිහා බලන්න. මේ පක්ෂවල රට ගොඩගන්න පුළුවන් නායකයො ඉන්නවද? මම අවුරුදු තිහක් පාර්ලිමේන්තුවේත් අවුරුදු හතළිහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් හිටියා. මට නම් එවැන්නෙක් පේන්න නැහැ.

හැබැයි ටිකක් හරි පිටරට රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග එකතු වී යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඒ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තය තමයි. ඒක මම බය නැතුව පක්ෂ භේදයෙන් තොරව රට ගැන හිතල කරන ප්‍රකාශයක්. එතුමාට පුළුවන්, එතුමා යම් උත්සාහයක් ගනීවි මේ රටට යම්කිසි දෙයක් කරන්න.

නමුත් දැන් යන තත්ත්වය අනුව මේ අයවැය දෙස බැලුවාම මට සැකයක් මතුවෙනවා. මොකද මේ අයවැයේ ප්‍රතිඵල පෙන්වන්නේ අවුරුදු 25කට පස්සේ. එතකොට එතුමාත් මමත් ජීවතුන් අතර නැහැ. දැන් ඉන්න ජෙනරේෂන් එකත් ජීවතුන් අතර සිටීද කියල සැකයක් තියෙනවා. ඒක හින්ද තමයි අද වැඩි දෙනෙක් මේ රට දාල යන්නේ.

මම හිතන්නේ නැහැ රටේ ලේ වැගිරීමක් වෙයි කියල. රටේ ජනතාව ඒ තැනට යන්නේ නැහැ. දැන් විශාල ලේ වැගිරීමක් වුණානේ. 225න් එකෙක් නිසා මටත් ගැහුවනේ. ලේ

වැගිරීමකට යයි කියා මම සිතන්නේ නැහැ. නමුත් ලේ වැගිරීමකට යන්න රටේ ජනතාව ඉතිරි වෙන්න එපැයි. අද හ‘ඟක් අය මේ රට දාල යනව. වයසක අය පමණක් ඉතිරි වෙයි. තරුණ අය සියයට හැටක් පමණ මේ රට දාල යයි.

අරගලකරුවන් අතරත් ජාති දෙකක් ඉන්නවා. රටට ආදරය කරන අරගලකරුවන් ඉන්නවා. මේ අතර ත්‍රස්තවාදී අරගලකරුවනුත් ඉන්නවා. ඔවුන් ත්‍රස්ත ක්‍රියා මගින් මේ රටේ බලය ගන්න බලනවා. ඒගොල්ල මොනව කරයිද කියල මම දන්නේ නැහැ” යනුවෙන්ද කුමාර වෙල්ගම මහතා කීවේය.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment