රටත් ජනතාවත් තවත්  කාලකණ්නි නොකර ගෝඨා-රනිල්  හොර ආණ්ඩුව වහාම ඉවත්වන්න රට ගොඩ ගන්න අප සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

137

දූෂිත නායකයෝ රට පාලනය කරනකම් ලෝකයෙන් කිසිදු සහායක් නැහැ – සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

රනිල්ගේ පාංකඩ ආණ්ඩුව  එළවන සටන අප අරඹනවා – රාජිත සේනාරත්ත

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩදී ජනපති අගමැති ඉවත්විය යුතුයි – හර්ෂ ද සිල්වා


මෙරට ගොඩ ගැනීම සඳහා තිබෙන එකම ක්‍රියාමාර්ගය ගෝඨාභය, රනිල් හොර ආණ්ඩුව පලවා හැරීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (20දා) පැවැති රට බේරා ගැනීමේ මෙහෙයුම විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අපේ රට ගොඩ ගැනීම සඳහා තියෙන එකම ක්‍රියාමාර්ගය ගෝඨාභය රනිල් හොර ආණ්ඩුව පලවා හැරීමයි. මේ රට ඒ ඛේදනීය ශෝචනීය තත්ත්වයට වැටිල තියෙන්නේ අදක්ෂ අකාර්යක්ෂම දුර්වල ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු ආණ්ඩුව නිසයි. මේ ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන්නට බැහැ. අදටත් පෝලිම් යුගය එලෙසම තියෙනවා. ඒ තත්ත්වය එන්න එන්නම වර්ධනය වෙලා. ගෝඨාභය රනිල් ආණ්ඩුවට දේශීය පිළිගැනීමකුත් නැහැ. ජාත්‍යන්තර පිළිගැනීමකුත් නැහැ. පොරොන්දු වුනු ආකාරයට රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට විසඳුම් නැහැ. අපි සතුව තිබෙනවා රටේ ප්‍රශ්නවලට විසඳුම්. එය තමයි සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය ප්‍රමුඛ තාවකාලික සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ලබාදීලා කෙටි කාලයක් තුළ අලුත් ජනවරමක් ලබා ගෙන අඛණ්ඩව වසර පහක රාජ්‍ය පාලනයක් තුළ මේ රටේ සාර්ව ආර්ථික විචල්යයන් ක්ෂුද්‍ර ආර්ථික ස්ථාවරත්වය ස්ථාපනය කරලා අපේ රට සැමට සෞභාග්‍යය උදා කරන දැවැන්ත ආර්ථික ශක්තියක් සංවර්ධනයක් කරා ගෙනයෑම.

එය සිද්ධ කරන්නට අප සතුව දක්ෂ නිපුණතාවන් හැකියාවන් තිබෙන උගත් බුද්ධිමත් ප්‍රායෝගික

කණ්ඩායමක් සිටිනවා. ඉලක්කගත කාල වකවානු සහිත කාල රාමු තුළ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා. මේ මොහොතේ ගෝඨාභය රනිල් රජයෙන් ඉල්ලීමක් කරනවා ඔබලාට වැඩ බැහැ රටේ ජනතාවට සහන දෙන්න බැහැ රට ශක්තිමත් කරන්න බැහැ ජනතාව ජීවත් කරවන්න බැහැ කරුණාකරලා තවදුරටත් රටත් ජනතාවත් කාලකන්නි කරවන්නේ නැතුව ඛේදනීය තත්ත්වය තවදුරටත් වර්ධනය කරන්නේ නැතුව වගකීම අපිට බාර දීලා ගෙදර යන්න. අපි සූදානම් වගකීම බාර අරගෙන මේ රට මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න.

මෙහිදී අදහස් දැක්වූ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා-

අද රට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙලා. රජයේ කාර්යාල සියල්ල වහලා. රජයේ පාසල් වහලා. ළමයින්ගේ අධ්‍යාපනය වසර දෙකක් එක තැන. රජයට අද බැරි වෙලා තියෙනවා රාජ්‍ය පාලනය ගෙනියන්න. රජයට මුදල් නැති වෙනකොට තෙල් ටික නැති වෙනකොට රජයේ කාර්යාල වහනවා. ඒ විතරක් නෙමෙයි බඩු මිල අහස උසට නැගලා. තෙල් ටික දෙන්න බෑ. පාරේ දුවන වාහනවලට වැඩිය පෝලිමේ වාහන තියෙනවා. ගෑස් ලබාදෙන දිනයක් වත් රජයට ලබා දෙන්න බැහැ. තෙල් ඇමැතිවරයා කියන්නේ දවස් හතරක් පහක් ඉන්න කියලා. අපි අහනවා රජයට මේ ප්‍රශ්න විසඳන්න හැකියාවක් තියෙනව ද?

සමගි ජන බලවේගය විදිහට ප්‍රධාන විපක්ෂය විදිහට අපි ලෑස්තියි අපි ඉල්ලා සිටින්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න. පිළිගන්නේ නැති නායකයො තියාගෙන ලෝකය ආධාර දෙන්නෙ නෑ. දූෂිත නායකයෝ තියාගෙන ලෝකයා ආධාර දෙන්නේ නෑ. උදව් කරන්නේ නෑ. අපි අහනව පහුගිය

කාලයේ ඉන්දියාවෙන් ලැබුණ මානුෂීය ආධාර ඇරෙන්න ලෝකෙ කිසිම රටකින් ආධාර හම්බවෙලා තියෙනවා ද. බෙහෙත් ටිකක් හම්බ වෙලා තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ පක්ෂ පාට භේද අත්හැරලා මව්බිම බේරා ගැනීමේ සටනට සියලු දෙනා එකතු වෙන්න. පක්ෂයක් විදිහට අපේ පක්ෂය නායකයාගේ නායකත්වය බාර ගන්න සුදානමින් රට වෙනුවෙන් ඕන කැපකිරීමක් කරන්න අපි සූදානම්.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා-

මේ වෙනකොට ඇත්තටම මිනිස්සු සාගින්නේ පෙළෙනවා දරුවෝ කිරිපිටි ඉල්ලා අඬනවා. බෙහෙත් නැතිව මිය යනවා. මේ වෙනකොට ජීවිතාරක්ෂක ඖෂධ නැහැ. රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ නැහැ. ශල්‍ය උපකරණ නෑ. ශල්‍යකර්ම නැවතිලා. වාහනයට පෙට්ට්‍රල් ඩීසල් නෑ. කෑම

උයාගන්න ගෑස් නෑ. විදුලිය නෑ. අද වෛද්‍යවරුන්ට රෝහල්වලට එන්න බෑ. වෛද්‍යවරු 50% කට අඩුයි. දැඩිසත්කාර ඒකකයේ

රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ සූම් එකෙන්.

මේ රටේ තත්ත්වය ගැන යුනිසෙෆ් සංවිධානය මොකක්ද කියන්නේ. දීර්ඝ විදුලි කප්පාදුවකට රට ගිහින් තියෙනවා. දිගු පෝලිම්වලින් රට පිරිලා. සුපර් මාකට්වල තියෙන රාක්ක හිස් වෙලා. බඩු මිල ඉහළ යනවා. ඒ තත්ත්වය අනුව ඔවුන් කරන ලද ගවේෂණයේදී රට ගැන කියන්නේ පවුල් 10න් 7ක් කෑම ගන්නේ වේල් දෙකයි නැත්නම් එක වේලයි. මිනිස්සු බඩගින්නේ ඒකයි තත්ත්වය. නමුත් ආහාර සුරක්ෂිතතාව වැඩසටහන යටතේ රනිල් වික්‍රමසිංහ කැඳවලා අග්‍රාමාත්‍ය කාරයාලයට එයා කියනවා මම මිනිස්සුන්ට බඩගින්න ඉන්න දෙන්නේ නෑ කියලා. රනිල් වික්‍රමසිංහ තවම දන්නේ නෑ මිනිස්සු බඩගින්නේ ඉන්නේ කියලා. මොකද රනිල් වික්‍රමසිංහ හොඳට වේල් තුනක් කාලා ඉන්න නිසා නමුත් එතැන ඉදපු එකම මහජන නියෝජිතයකුටවත් කියන්න බැරි වුණා. අද මිනිස්සු බඩගින්නේ ඉන්නේ කියන්න. මේ නිසා තමයි මහජන නියෝජිතයන්ට අද මිනිස්සු ගරහන්නේ 225ම එපා කියන්නේ.

යුනිසෙෆ් සංවිධානය කියනවා රටේ තත්වය එන්න එන්නම නරක් වෙනවා කියලා. අපේ දරුවෝ ලක්ෂ 17 ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා බව කියනවා. අද ගෝඨාභය රාජපක්ෂට මේ පාපකර්මයම ඇති පලිසන් දෙන්න.

ඒබ්‍රහම් ලින්කන් කියලා තියෙනවා එරෙහි විය යුතු තැන නිහඬව සිටීම පාපයක් කියලා. මේ වෙලාවේ අපි නිහඬව හිටියත් පාපයක්. ඒ නිසා මේ රටේ දේශප්‍රේමී ජනතාවට අපි ආයාචනා කරනවා ගෝඨාභය එළවන්නට රනිල්ගේ පාංකඩ හොර ආණ්ඩුව එලවන්න ඉදිරියට එන්න. ජනතාවගේ ආණ්ඩුවක් බිහිකරන්න එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අද ඉඳලා ඉදිරියට ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ගෝඨාභය ගෙදර යනකං රනිල් දොට්ට දානකන් අපි මේ සටන සියලුම බලවේග එකතු කරගෙන අපේ නායකයා සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් ඉදිරියට ක්‍රියාත්මක කරනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා-

අද ලෝක සරණාගත දිනය. අද ශ්‍රී ලංකාව ජනතාව සරණාගතයෝ බවට පත් කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තවදුරටත් මේ රට පාලනය කිරීමට ජනතාවගේ කිසිදු සහයෝගයක්

නැති බව නැවතත් ඉතාමත් තදින් අවධාරණය කරනවා. රටේ ආර්ථික තත්ත්වය මෙවැනි පහත් තැනකට ගෙන එන්න මූලිකවම කටයුතු කළේ වෙන කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. දැන් ඔහු මේ රට ගොඩ ගන්න කියලා නැවතත් අලුත් ආණ්ඩුවක් පත් කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ මූලිකත්වයෙන්. හැබැයි දැන් මාසයක් ගිහින් තියෙනවා අපිට පේන දේ තමයි කිසිවිදියකටත් ජනතාව බලාපොරොත්තු වෙච්ච ආකාරයට රට ගොඩගන්න ආර්ථිකය ගොඩ ගන්න වැඩපිළිවෙළක් ධනාත්මකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

ඒ නිසා ජනතාව තීරණය කරලා ඉවරයි මින් එහාට මේ කණ්ඩායමට බලාපොරොත්තු වුන විදියට ගොඩ ගැනීමේ හැකියාවක් නැති බව. ඒ නිසා අපි නැවතත් අවධාරණය කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ රජය ඉවත්විය යුතුයි. ඉන් පසු කෙටිකාලීනව අන්තර්කාලීන සියලු පක්ෂ එකතු වෙච්ච සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කළ යුතුයි. එය පිළිගත්ත පොදු වැඩපිළිවෙළක් සඳහා ඊලග ජනමතය ලබාගන්නා තුරු ක්‍රියාත්මක විය යුතුයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment