රටත් ලෝකයත් විශ්වාස තබා තිබෙන්නේ රටේ එක පුද්ගලයෙක් ගැන පමණයි

77

අපේ රටේ ජන ජනතාව සහ සමස්ත ලෝකය මේ මොහොතේ විශ්වාස තබා තිබෙන්නේ රටේ එක පුද්ගලයෙක් ගැන පමණක් යයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ(27) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

වඩාත් තරඟකාරීව සහ සැඟවුණු අයට අවස්ථා ලබාදීමේ අපේක්ෂාව ඇතිව ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ආසන සංවිධායකයන් පමණක් නොව පළාත් පාලන මැතිවරණ කොට්ඨාස මට්ටමේ සංවිධායකවරුන්ද පත් කිරීම් උදෙසා පසුගිය කළමණාකරන කමිටුවේදී ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගත් තීරණය පරිදි ඒ වෙනුවෙන් අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ කරමින් ඔවුන් පත් කිරීමට පියවර ගන්නවා. ඒ අනුව ජනවාරි පලවෙනි ඉරිදා පුවත්පත්වල දැන්වීම් පළ කරලා ජනවාරි 15 වැනිදා දක්වා අයදුම්පත් කැඳවීමට පියවර ගන්නවා. ඊට අමතරව පක්ෂයේ ජාලය ඇතුළත ඒ උදෙසා අයදුම්පත් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. එනිසා උගත් බුද්ධිමත් සමාජශිලි, ප්‍රතිපත්ති ගරුක පිරිසක් මේ යාන්ත්‍රණය තුළින් පළාත් පාලන ආයතන වෙත යැවීමට අපි උත්සාහ කරනවා.

ජනතාවට, ජනාධිපතිතුමන්ට යහපත් රටක් බිහිකරලීමේ බලාපොරොත්තුවෙන්, බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා ධාතුව තැන්පත් කර තිබෙන සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රධාන සෝමාවතී පුණ්‍ය භූමියේදී අපි ආගමික වතාවත් රාශියක් සිදු කරන්නට සැලසුම් කරලා තිබෙනවා. දෙසැම්බර් 31 වෙනි දින ගෙවන වසරට ස්තූතිවන්ත වෙමින්, සෝමාවතී චෛත්‍යය අබියස ගිලන්පස පූජාවක් පැවැත්වීමටත්, ජනවාරි පළවෙනි දින එළඹෙන වසරට ආසිරි පතමින් උදෑසන කිරි ආහාර පූජාවක් සහ අනතුරුව දළදා දානය පිළිගැන්වීමටත් වගේම මහා සංඝයා උදෙසා දානය

පිළිගැන්වීමටත් අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම හාරසියය පන්සලේ පුලස්තිපුර ගම විහාරස්ථානයේදී ප්‍රදේශය පාසල් දරුවන් 500ක් උදෙසා පොත්පත් සහ පාසල් බෑග් ඇතුළු උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ පූජා භූමියට ජනවාරි පළවෙනිදා දින පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් උදෑසන හා දිවා ආහාරයත්, තේ පැන් සංග්‍රහයත් එක්සත් ජාතික පක්ෂය සිරිකොත පක්ෂ මූලස්ථානයේ විසින් සංවිධානය කොට තිබෙනවා කියන කාරණය සියලු‍ දෙනාටම සතුටින් දැනුවත් කරන්නට කැමතියි.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් පවත්වන්නට ඉඩ ලැබෙන පළමුව අවස්ථාවේම ජනාධිපතිවරණයක් පැවැත්වීම සුදුසුයි. රටේ කුමන සභා තිබ්බත් වැඩක් නැහැ. පළාත් සභාව මහජන නියෝජිතයින් නැතුව සෑහෙන කාලයක් දුවනවා. නමුත් රටේ ජනතාවට ඒක දැනුනද? තිබුණයි කියලා විශාල වැඩක් වුණෙත් නෑ. පළාත් පාලන ආයතනවල මැතිවරණ කලබලෙන් තියලා කරන්න කාරණයක් තිබෙනවා ද? කරන්න දේවල් තිබෙනවාද? 225 වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, කාර්යභාරය කුමක්ද ? අපේ රටේ ජන ජනතාව සහ සමස්ත ලෝකය මේ මොහොතේ, විශ්වාස තබා තිබෙන්නේ මේ රටේ එක පුද්ගලයෙක් ගැන විතරයි. රටේ ආර්ථිකය ඉදිරියට යන එක තමයි කරන්නට තිබෙන්නේ. පළාත් පාලන මැතිවරණය තියෙනවද කියන එක මැතිවරණ කොමසාරිස්වරයා සහ රජය තීරණය කළ යුතුයි.

වර්තමාන ජනාධිපතිතුමා බස් පදවන්නේ නැති නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔහුට අභියෝගයක් නෙමේ. සජිත් ප්‍රේමදාස මහත්තයා ගන්නා ක්‍රියාමාර්ග අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සහනාධාර දීලා මේ රට දියුණු කරන්න බැහැ. ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. මොන ඡන්දෙටද සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් වුණේ. ඔහු පක්ෂයේ නායකත්ව අර්බුදයක් තිබුණු මොහොතක ඒකෙ තීරණාත්මක පැත්තක් නියෝජනය කළා. නමුත් ඡන්දේ දවසෙ කරු ජයසූරිය මහත්තයා ඒකට දාල රවි කරුණානායක මහත්තයත් එක්ක නියෝජ්‍ය නායකකමට ගියොත් තමන්ට දිනන්න පුළුවන් කියලා තමන්ට ජයග්‍රහණය ට සුවපහසු තනතුරක් වෙනුවෙන් ඉදිරිපත් වුණා. අවසානයේ කොච්චර හොඳ මහත්මයෙක් වුණත් කරු ජයසූරිය මහත්මයා පරාජයට පත්වුණා. කෑගහලා කෑ ගහලා පාර්ලිමේන්තුවේදී ඡන්දය ඉල්ලලා, අන්තිමේදී ඩලස් අලහප්පෙරුම ඉස්සරහට දාලා පැත්තකට වුණා. ඉතින් ඉදිරියේදී වෙන්න නියමිත ඔය දේම තමයි. ඒක ලියලා තියාගන්න.

advertistmentadvertistment
advertistmentadvertistment