රටත් වහලා, තෙල් මිලත් නැගලා කළුකඩකාරයොත් වැහි වැහැලා

203

කොවිඞ් නිසා ජනතාව මේ වන විටත් සියලූ අංශවලින් කඩා වැටී අවසන් ය. වසර එකහමාරකටත් වැඩි කාලයක් වරින් වර විවිධ ස්වරූප වලින් ඉස්මතු වූ කොරෝනා නිසා තවමත් ජනතාව ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද පීඩා විඳියි. කොරෝනා බිය , අධ්‍යාපනය බිඳ වැටීම, ගංවතුර ගැටලූ, පොහොර ගැටලූ, පරිසර ¥ෂණය ආදී බොහෝ අභියෝග වලට මේ මොහොතේ ලංකාව මුහුණ දෙමින් සිටී. මේ අතර තෙල් මිල ඉහළ නැංවීම තවත් බොහෝ ප‍්‍රශ්න නිර්මාණය කළ කාරණාවක් බවට ජනතාව ප‍්‍රකාශ කරයි. 

ඛණිජ තෙල් මිල වැඩි වීම සාමාන්‍ය ජන ජීවිතයට බොහෝ බලපෑම් එල්ල කළ සිදුවීමක් බව දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් ලැබුණු තොරතුරු වලින් අවබෝධ විය. තෙල් මිල වැඩි වීමට සාපේක්ෂව ගමනාගමන හා ප‍්‍රවාහන ගාස්තු ඉහළ යෑමට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලද ඉහළ ගොස් තිබේ. සාමාන්‍යයෙන් පාලන මිලක් නියම කර තිබෙන භාණ්ඩ පවා වැඩි මිලකට විකිණෙන බවට පාරිභෝගිකයන් පවසයි.
 
 මැයි 21 දා සංචරණ සීමා ලිහිල් කිරීම සිදු වුවද තවමත් කොරෝනා බලපෑම අඩු වී නැත. ඒ නිසා සංචරණය සීමා කරමින් හැකි තරම් නිවෙස් තුළම රැඳෙන්නට සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දෙයි.
 
 තමාට ආසන්නම වෙළෙඳ සලෙන් අත්‍යවශ්‍ය භාණඩ මිලදී ගන්නා ලෙසත් නිවෙස් අසලටම පැමිණෙන ජංගම වෙළෙඳුන්ගෙන් භාණ්ඩ මිලට ගන්නේ නම් නගර තුළ වෙළෙඳ සංකීර්ණ තුළ සිදු වන තදබදය අවම කර ගත හැකි බවත් ජනතාවට උපදෙස් ලැබී තිබේ. බස්නාහිර පළාතේ තවමත් ඇතැම් වෙළෙඳසල් විවෘත කර නොමැත. විවෘත කර ඇති වෙළෙඳ සල් වලින් හා ජංගම වෙළෙඳ රථ වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී වෙනදාට වඩා වැඩි මුදලක් වැය වන බවට පාරිභෝගිකයන් පවසයි.
 
 

රටත් වහලා, තෙල් මිලත් නැගලා කළුකඩකාරයොත් වැහි වැහැලා

පුවත් ඕනෑ තරම් වාර්තා විය. නමුත් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් කිසිවකු සොයා බැලීමක් හෝ නියාමනයක් කර නැත. ඉන්ධන මිල ඉහළ යෑම හේතුවක් ලෙස ගෙනෙමින් ඇතැමුන් තවමත් අත්තනෝමතික ලෙස අධික මිලක් නියම කරමින් භාණ්ඩ අලෙවි කරනු ලබයි.
 
 ‘‘සංචරණ සීමා තිබ්බ කාලෙ ගෙවල් ළඟට ආව ජංගම වෙළෙඳ රථවල භාණ්ඩ මිල අධිකයි. එළවළු පලතුරුවල මිල ඉතාමත් වැඩියි. සංචරණ සීමා නිසා එළියට යන්න බැරිව හිටිය අපි කරන්නම දෙයක් නැති තැන ඒ රථවලින් භාණ්ඩ මිලට ගත්තා. දැන් තෙල් මිල වැඩිකරපු එකෙන් උපරිම ප‍්‍රයෝජන අරගෙන තවත් වැඩි මිලට තමයි එළවළු පලතුරු අලෙවි කරන්නේ. කැලණිය පදිංචි ශිරානි මහත්මිය පවසයි.
 
 මැයි මාසෙ සංචරණ සීමා පනවන්න කලින් තිබ්බ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මේ වෙද්දි හොඳටම වැඩි වෙලා. පොල් ගෙඩියක් රුපියල් සීයට එකසිය දහයටත් විකුණනවා. හාල් වලට එක එක වෙළෙන්දෝ ගන්නෙ එක එක ගණන්. පොල්තෙල්, කහ කුඩු, මිරිස්කුඩු, තුනපහ මේ හැම දේකම මිල වැඩි වෙලා. තමන්ට හිතෙන මිලට තමයි භාණ්ඩ අලෙවි කරන්නේ. මිල වැඞී කීවාම තෙල් මිල වැඩි වෙලා නිසා හැමදේම ගණන් කියලා මුදලාලිලා අපිට කියනවා” ඉනෝකා මහත්මිය පවසන්නේ භාණ්ඩ මිල වැඩි වීමට හේතුව ඉන්ධන මිල වැඩි වීම බව වෙළෙඳුන් ප‍්‍රකාශ කළ බවයි.
 
 සංචරණ සීමා ලිහිල් වුවත් ඇතැමුන් නිවෙසින් බැහැර යෑමට ඇති බිය නිසාම නිවෙස් අසලට පැමිණෙන ජංගම රථවලින් හා ළඟම ඇති කඩයෙන් තවමත් භාණ්ඩ මිලදී ගනී. සමහරු කියනවා food city වල හා අනෙක් සුපිරි වෙළෙඳ සල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ වලට මිල අඩු කරලා කියලා. ඒ වගේම ඒවා සෞඛ්‍යාරක්ෂිතයි කියලා. ඒත් අපි කිලෝමීටර්
 
 ගාණක් ටවුන් එකට ගිහින් දිග පෝලිම්වල තෙරපෙන්න බයයි. ගෙවල් ළඟටම බඩු ගේන අයත් කුණු කොල්ලෙට ඒවා විකුණන්නේ. බයිසිකලයෙන් ගිහින් බඩු ටිකක් අරන් එන ගමේ මුදලාලිත් කියන්නෙ තෙල් මිල වැඩි නිසා බඩු ගණන් වැඞී කියලා. පලූකන්දෑව ගම්වාසීන් පවසයි. හාල් සීනි, පිටි, පොල් වලට පමණක් නොව දුරකථන කාඞ්වලට පවා රුපියල් පහක් දහයක් වැඩි පුර ගන්නා ඇතැම් ගම්වල වෙළෙඳුන්ට ඉන්ධන මිල වැඩි කිරීම වැඩි ආදායමක් ලැබීමට ඇති හොඳම මඟයි.
 
 රජය විසින් වැඩි කළ ඉන්ධන මිල ඇතැම් ගම්වලට යන විට තවත් රුපියල් පහකින් දහයකින් වැඩි වීම ජනතාවට දරා ගත නොහැකිය.
 
 ඇතැම් වෙළෙඳුන් තුනපහ කහ කුඩු මිරිස්කුඩු වලට පාන් පිටි එකතු කරයි. හාල් මැස්සන්, කරවල, සීනි වල බර වැඩි කිරීමට ඒවාට වතුර ඉසියි. මෙලෙස කූට ලෙසින් තම ආදායම් වැඩි කර ගන්නා වෙළෙඳුන් බොහෝය. එළවළු පලතුරු හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීම සම්බන්ධයෙන් අපි වෙළෙඳුන් කිහිප දෙනකුගෙන් ප‍්‍රශ්න කළෙමු.
 
 ‘‘21 දා මැනිං මාර්කට් එකට එළවළු ගන්න ආව වෙළෙඳුන් විශාල ප‍්‍රාමාණයක් ආපහු හැරිලා ගියා. කැරට් කිලෝ එකක් 200යි. ලීක්ස් බෝංචි කිලෝ එකක් තුන්සීයයි. සමහර වෙලාවට කුලියට වාහන අරගෙන ගිහින් අපි මේ එලවළු ගේන්නෙ. කඩ කුලී ගෙවාගෙන බිස්නස් කරන්නෙ. මේ වෙලේ සහන මිලට මේවා අලෙවි කරන්න අපිට පුළුවන්කමක් නෑ. ජනතාව වගේම අපිත් අසරණයි.” කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ එළවළු පලතුරු අලෙවිසල් හිමියෙකු වන ප‍්‍රියන්ත මහතා එලෙස අදහස් දැක්වීය.
 
 ඉන්ධන මිල වැඩි කිරීම නිසා ධීවර කර්මාන්තයටද විශාල බලපෑමක් සිදුව ඇති බව ධීවරයන් පවසයි. පසුගිය කාලයේ එක්ස්ප‍්‍රස් පර්ල් නැව නිසා ඇති වූ බලපෑමත් සමඟ මාළු මිලදී ගැනීමට ජනතාව මැලි වන බවත් ඒ නිසා වෙළෙඳාම් වෙනදා මෙන් සිදු නොවන බවත් ධීවරයන් පවසයි. නැව් හා ධීවර යාත‍්‍රා සඳහා ඉන්ධන විශාල වශයෙන් වැය වන අතර වෙනදා මෙන් ආදායම් නොලැබෙන විටෙක ඉන්ධන මිල වැඩි වීම විශාල පීඩනයක් බවද ධීවරයන් ප‍්‍රකාශ කරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ එළවළු, පලතුරු, මස් මාළු මෙන්ම පාන් හා බේකරි නිෂ්පාදනයන්හි මිලද වැඩි වී තිබේ. පාන් හා බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩි වීම සම්බන්ධයෙන් අපි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතාගෙන් විමසා සිටියෙමු.
 
 ‘‘ඉන්ධන මිල ඉහළ යෑම, විශේෂයෙන්ම ඞීසල් හා, භූමිතෙල් මිල ඉහළ යෑම බේකරි හිමියන්ට තදින්ම බලපානවා. ලංකාවේ බේකරි හිමියන්ගෙන් සීයට තිහක් විතර අවන් භාවිත කරනවා. ඒ අවන් වැඩ කරන්නෙ භූමිතෙල් හා ඞීසල් වලින්. කොවිඞ් එක්ක බොහෝ විට බේකරි නිෂ්පාදන අලෙවි කළේ ජංගම අලෙවි රථ වලින්. ඒවට පෙට‍්‍රල් වැය වෙනවා. මේ නිසා බේකරි කර්මාන්තයට ඉන්ධන මිල ඉහළ යෑම සෘජුවම බලපානවා.”
 
 පාන් හැර අනෙකුත් ආහාර සඳහා මිල වැඩි කිරීමක් සංගමය මඟින් තවමත් සිදු කර නැතත් බේකරි හිමියන් මිල ගණන් වැඩි කර ඇති බවද එලෙස මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බේකරි හිමියන්ට චෝදනා කළ නොහැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.
 
 ‘‘තුන් වේලම බත් කන්න තරම් ආදායමක් නැති මිනිස්සු සමහර වෙලාවට වේලක් දෙකක් බඩගින්න නිවා ගන්නෙ පාන් කාලා. දැන් පාන් මිලත් වැඩි වෙලා. හෙට අනිද්දට පාන් පිටි මිලත් වැඩි වෙයි. ගෑස් මිලත් වැඩි වෙලා. පොල්, පොල් තෙල්, හාල් හැම දේකම මිල වැඩියි. මෙහෙම ගියොත් අපිට වෙන්නෙ බඩගින්නෙ මැරෙන්න.” ලෙසින් වැඩි වුණු ඉන්ධන හා භාණ්ඩ මිල පිළිබඳව ජනතාව හඬා වැටෙයි. ඉන්ධන මිල ඉහළ යෑමත් සම්බන්ධයෙන් කුලී රථ රියැදුරන්ද මැසිවිලි නඟයි..
 
 මාස ගාණක් ගෙවල් වලට වෙලා ඉඳලා හයර් එකක් යන්න එළිය බැස්සාම තෙල් මිල වැඞී. එතකොට අපි අය කර ගන්න ගාණ වැඩි කරන්න වෙනවා. හැමදාම අපිත් එක්ක හයර් ගියපු මිනිස්සුන්ට පවා වැඩි මිලක් කියන්න වෙනවා. සමහර වෙලාවට වාහන වල ෆිනෑන්ස් ගෙවලත් නෑ. හරි විදියට ආදායමකුත් නෑ.” මෙලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ ප‍්‍රවාහන ක‍්‍රමෝපායන් සඳහා වන අයකිරීම්ද ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ වැඩි වී තිබේ.
 
 කාලයෙන් කාලයට ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල සංශෝධනය වීම සාමාන්‍ය කාරණාවක් වුවද කොරෝනා සමඟ ජීවිතය ගැට ගසා ගැනීමට ජනතාව මහත් වෙහෙසක් දරන මොහොතක ඉන්ධන මිල සමඟ අනෙකුත් භාණ්ඩ මිලද ඉහළ යෑම ජනතාවට දැරිය නොහැකි තරම් ය.
 
 ඇතැම් වෙළෙඳුන් ඉන්ධන මිල වැඩි කිරීමෙන් උපරිම ප‍්‍රයෝජන ගනිමින් තම ව්‍යාපාර දියුණු කර ගනිමින් සිටියි. ඇතැමුන්ට එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමද දුෂ්කරය.
 
 රජය විසින් යෝජනා කළ බොහෝ දෑ ක‍්‍රියාත්මක කිරීමේදී ඒවා නියාමනයට කිසිවකු ඉදිරිපත් වී නොමැත. එමෙන්ම කොරෝනා සමයේ වෙළෙඳාම සම්බන්ධයෙන් පැනවූ නීති පිළිබඳව වගකීමක් දැරීමට අදාළ බලධාරීන්ද ඉදිරිපත් නොවේ. පාරිභෝගිකයන්, වෙළෙඳුන් මෙන්ම සමස්ත මහජනතාවම වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් වෙනුවෙන් සහන සලසන ලෙසටය.
 
 
 * නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment