රටපුරා සියලු වෛද්‍යවරු අද වර්ජනයේ: චැනල්වලිනුත් ඉවත් වෙති

113

රජයේ අසාධාරණ බදු සංශෝධනය ඇතුළු ප්‍රධාන කරුණු හතරකට විරෝධය පළ කරමින් අද (08 දා) උදෑසන 8.00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

මේ සඳහා පෞද්ගලික අංශයේ සේවය කරන සියලුම වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවෘත්තිකයන්ගේ ද සහාය ලැබී තිබෙන අතර, ඔවුන් අද පෞද්ගලික සේවාවන්ගෙන් ද ඉවත් වී සිටින බව ඊයේ (07 දා) පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත්, ළමා රෝහල, පිළිකා, වකුගඩු ප්‍රතිකාර ඇතුළු හදිසි ප්‍රතිකාර සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබන බව ද හෙතෙම කියා සිටියේය.

අත්තනෝමතික රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය, ඖෂධ හිඟය සහ තිබෙන ඖෂධවල මිල ඉහළ යෑම, අනර්ථකාරී සහ විනාශකාරී රාජ්‍ය වියදම් හේතුවෙන් රට අර්බුදයට ලක්කිරීම සහ රජයේ හිතවතුන්ට බදු සහන ලබාදී එහි බර ජනතාව පිට සහ වෘත්තිකයන් පිට පැටවීම ඇතුළු කරුණුවලට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment