රටම නතර කර මිනිසුන් පාරට ඇද දමා තවමත් නටන තෙල් නාඩගම

206

ඉන්ධන හල් අසල නිල හා නොනිල මැරයන්

ග්‍රාමීය මට්ටමින් තෙල් හිඟය තවත් උග්‍ර වෙයි

මගී ප්‍රවාහන බස් රථ 90% ක් එක තැන

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ පැමිණි අවසන් ඉන්ධන නෞකාව මෙරටට ළඟා වූවේ ඉකුත් 16 වන දිනය. ඩීසල් මෙටි්‍රක් ටොන් 40000 ක් රැගත් එම නෞකාව සිය බර හෑල්ලු කර පිටව ගිය පසු නැවත ඉන්ධන නැවක් මෙරටට පැමිණීම පිළිබඳ කිසිදු කතාබහක් සිදුවන ආකාරයක් දකින්නට නැත. ඒ වෙනුවට දකින්නට ලැබෙන්නේ දින සති ගණන් දිග ඈදෙන දිගු ඉන්ධන පෝලිම්ය. කුමන මොහොතක හෝ ඉන්ධන ලැබෙනු ඇතැයි යන අවිනිශ්චිත අපේක්ෂාවන්ගෙන් පිරුණු මුහුණු එම පෝලිම් අසල දැකගත හැක. මීට මාස හතරකට පමණ පෙර සිට රට තුළ නිර්මාණය වීමට ගත් එම ඉන්ධන පෝලිම් ආරම්භයේදී පෙට්‍රල් හා ඩීසල් පෝලිම් ලෙස කොටස් දෙකකට බෙදී තිබූ අයුරක් දැකගත හැකි විය. මේ වනවිට තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ඇත. ඒ වෙනුවට යතුරුපැදි ත්‍රිරෝද රථ, කාර්, වෑන්, බස් ආදී වශයෙන් විවිධ මාදිලියේ පෝලිම් දැන් දැන් දැක ගත හැක. ප්‍රමාණවත් තරමේ ඉන්ධන තොග ඉන්ධන හල් වෙත නොලැබී යෑම හේතුවෙන් මොහොතින් මොහොත පැයෙන් පැය මේ කියන්නට යන ඉන්ධන පෝලිම් තවදුරටත් වර්ධනය වන ආකාරයක් දැක ගත හැක. ඒ ආශ්‍රිතව සිදුවන අනුවේදනීය සිදුවීම් ද බොහෝය. මෙම සටහන තැබීමට පැය කීපයකට පෙර පානදුර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක් ඉන්ධන පෝලිමක් තුළ මිය යන ආකාරය පිළිබඳ සංවේදී වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය තුළ සංසරණය විය. එම පුවත මගින් වැඩිදුරටත් වාර්තා කර සිටියේ හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් එම පුද්ගලයා ත්‍රීවීල් රථයක් තුළ සිය දිවිසැරිය නිමා කරන අවස්ථාව වනවිට මියගිය පුද්ගලයාගේ පුතණුවන් කෙනෙකු ද එම ඉන්ධන හල අසල යතුරුපැදි පෝලිමේ රැඳී සිට ඇති බවක්ය. ඔහු තම පියාණන්ගේ නිසල දෙණ අසල ඉකිගසා වැලපෙන ආකාරය ද එම වීඩියෝ දර්ශන තුළ දැකගත හැකි විය. එය රිදුම් උපදවන සුළු දර්ශනයක්ය. ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙක් ඉකුත් 15 දා හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. එලෙස මරණයට පත්වන්නේ හොරවඩුන්න ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි ප්‍රේමදාස නමැති 62 හැවිරිදි පුද්ගලයෙක්ය. මාස 04 ක් තිස්සේ රට තුළ උග්‍ර ඉන්ධන අර්බුදයක් පැවතීම මත ඇති වෙමින් පවතින ‘අවුල’ එතෙකින් නිමා වන්නේ නැත. එය දිනෙන් දින අවුලෙන් අවුලට පත් වෙමින් ඇත. අසාධ්‍ය රෝගියෙකු රෝහලක් වෙත රැගෙන යෑමට ත්‍රීවීල් රථයක් සොයා ගැනීම පවා අද වනවිට අභියෝගයක්ය. ඒ හේතුවෙන් කුඩා දැරියක් මියගිය අනුවේදනීය පුවත් මීට සති කීපයකට පෙර මෙරටින් වාර්තා විය.

මේ වන විට රටේ තත්ත්වය පෙරටත් වඩා බරපතළ මුහුණුවරක් ගෙන ඇත. රට තුළ ඉන්ධන පෝලිම් ආරම්භ වූ අවධියේ ඉන්ධන හල් අසල තම වාරය පැමිණෙන තුරු බලා නොසිටි පිරිසක් ද දැන් දැන් ඉන්ධන හල් අසල දැකගත හැක. ඔවුන් නම් වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තීන්හි නිරත වෘත්තියවේදීහුය. රට පුරා විසිරී සිටින එවැනි පිරිස් ද මේ වනවිට ඉන්ධන හල් අසල පැය ගණන් කාලය ගත කරන අයුරු දැක ගත හැක. ඒ සම්බන්ධයෙන් ඉකුත් දිනක මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කර සිටියේ ඉකුත් 15 දා තමන් ද බොරැල්ල ප්‍රදේශයේ ඉන්ධන හලක් අසල පැය තුනකට වැඩි කාලයක් ගත කර හිස් අතින් එම ස්ථානයෙන් නික්ම ගිය බවත් මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් වන තම බිරිඳ ද එම ඉන්ධන හල අසල පැවති පෝලිමේ වෙනත් ස්ථානයක සිට ඉන්ධන අවසන් වීම හේතුවෙන් ඉන් පිටව ගිය බවත්ය. විශේෂඥ වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ වෛද්‍ය වෘත්තිකයන් වන තමන්ට ඉන්ධන ලබා ගැනීමේදී ලැබෙන ප්‍රමුඛතාව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් ඒ හේතුවෙන් රෝහල් කටයුතුවලට ද විශාල බාධාවක් සිදුවන බව ද එම පුවත මගින් වැඩිදුරටත් වාර්තා කොට තිබිණි.

ඉන්ධන හිඟයත් සමග දුම්රිය මගීන්ගේ අධික තදබදයක් දැකගත හැක. කාර්යාලයීය දුම්රිය වේලාවන් තුළ එම තත්ත්වය දැඩිව දැකගත හැකි අතර දුම්රිය මැදිරි මගීන්ගෙන් පිරී යෑමත් සමග ඉතාමත් අනාරක්ෂිත අයුරින් දුම්රිය වහල මත පවා ඇතැම් පුද්ගලයන් ගමන් කරන අයුරු මේ දිනවල සුලබ දසුනක් බවට පත්ව ඇත..

● පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය කම්බස්

රටම නතර කර මිනිසුන් පාරට ඇද දමා තවමත් නටන තෙල් නාඩගම

මේ වනවිටත් ප්‍රමාණවත් ඩීසල් තොග නොලැබීම හේතුවෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සේවය බරපතළ කඩා වැටීමකට ලක්ව ඇත. ඒ හේතුවෙන් ඉකුත් 16 දා වනවිටත් මෙරට දිනපතා ධාවනය වන පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් 90% ක් පමණ ධාවනයෙන් ඉවත්ව තිබූ ආකාරයක් දැක ගත හැකිය. මේ හේතුවෙන් බස් රථ හිමියන් මෙන්ම මගී ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වී ඇත. ධාවනයෙන් ඉවත් කරන ලද පෞද්ගලික මගී බස් රථ විශාල වශයෙන් ඉන්ධන හල් අසල ගාල් කර තිබෙන අතර එලෙස ගාල් කර තිබූ බස් රථ දින හතර පහ ඒ ආකාරයෙන්ම දකින්නට ලැබීම විශේෂත්වයක්ය. මේ සම්බන්ධව බස් රථ හිමිකරුවන් කීප දෙනකුගෙන්ම අප කළ විමසීම්වලදී ඔවුන් සඳහන් කර සිටියේ ඩීසල් හිඟය හේතුවෙන් සුපුරුදු ධාවන කටයුතුවලින් ඉවත් වුව ද ඉන්ධන අපේක්ෂාවෙන් දින ගණන් ඉන්ධන පෝලිම් අසල රැඳී සිටින රියැදුරන් සහ සහායකයන් සඳහා යම් ගෙවීමක් සිදු කළ යුතු බවත් ආදායම් නොලැබී යෑම තුළ එවැනි වැය කිරීම් දිගින් දිගටම සිදු කිරීම තුළ තමන්ට ද ආර්ථික අපහසුකම් ආදියට මුහුණ දීමට සිදු වී ඇති බවත්ය.

ඉන්ධන බෙදා හැරීමේදී ප්‍රමුඛතාව දිය යුතු අංශ කෙරෙහි තවමත් රජයේ අවධානය යොමු වී නැත. විශේෂයෙන් පෞද්ගලික අංශය වෙත ඉන්ධන නිකුත් කිරීමේදී මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන ආකාරයක් කිසිසේත්ම දැක ගත නොහැකි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මගී ජනතාව, පාසල් ළමුන් ඇතුළු කාර්යාලයීය සේවකයන් මහ මඟ අතරමං වීම මේ වනවිට සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් ඇත. මෙරට මගී ප්‍රවාහන අවශ්‍යතාවයෙන් වැඩි බරක් අදින පෞද්ගලික බස් රථ ධාවනය දිනෙන් දින කඩා වැටීමකට ලක් වෙමින් පවතින වටපිටාවක ඒ ආශ්‍රිත රැකියාවන්හි නිරත බස් රථ රියැදුරන් හා සහායකයන්ගේ රැකියා ද දැඩි අවදානමකට ලක්ව ඇත. ඔවුන් පවසා සිටින්නේ දින ගණන් ඉන්ධන පෝලිම් අසල රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් තම දෛනික ආදායම් මාර්ගය අහිමි වී ඇති බවත් ඒ හේතුවෙන් තම දරු පවුල් නඩත්තු කිරීම ඇතුළු අනෙකුත් සියලු කටයුතු අඩාළව යමින් පවතින බවත්ය.

මේ සම්බන්ධයෙන් මගී ජනතාවගෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ නගරයෙන් බැහැර දුර බැහැර ජනතාව බස් රථ හිඟවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බවක්ය. උදෑසන කාර්යාලයීය දුම්රියක් හෝ බස් රථයක් ලබා ගැනීම පිණිස නගරයට පැමිණීමේදී නිසි කාල වේලාවට පැමිණිය නොහැකි බවත් දුර ගමන් සේවා බස් රථ දෛනික ධාවනයෙන් ඉවත් වෙමින් පැවතීම ඊට හේතුව බවත් පෙන්වා දුන් මගී ජනතාව එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ නියමිත වේලාවන්ට අදාළ ස්ථාන වෙත ළඟා වීමට නොහැකි වීම හේතුවෙන් රෝහල්ගත රෝගීන් බැලීම, අධිකරණ කටයුතුවලට නිසි වේලාවට පැමිණීමට නොහැකි වීම සහ පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු ආදියට මෙන්ම නගරයේ රැකියාවල නිරත පිරිස් වෙත නිසි වේලාවට තම තමන්ගේ සේවා ස්ථානය වෙත පැමිණීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උදාවෙමින් පවතින බවක්ය.

● ඉන්ධන හල් අසල පාතාල මැරයන්

රටම නතර කර මිනිසුන් පාරට ඇද දමා තවමත් නටන තෙල් නාඩගම

මේ අතර රටම ඉන්ධන පොරයක නිරත වන වටපිටාවක් තුළ ඒ ඒ ප්‍රදේශවල තම නොනිල බලය පවත්වාගෙන යන ඇතැම් කල්ලි කණ්ඩායම් කරලියට පැමිණ ඇති ආකාරයක් ද මේ දිනවල දැක ගත හැක. ඒ අනුව පාතාල මැරයන්ගේ හිතවතුන් ඉන්ධන ලබා ගැනීමේදී ඉහත සඳහන් පාතාල අපතයන්ගේ නම් ගම් බල පුළුවන්කාරකම් ආදිය යොදා ගැනීම තුළ ඉන්ධන හල් අසල දින ගණන් රස්තියාදු වන සාමාන්‍ය ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන ආකාරයක් දැකගත හැක. එම අනීතික ක්‍රියා හමුවේ බොහෝ දෙනකු නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලබන්නේ පාතාලයන් විසින් ප්‍රාදේශීය මට්ටමින් තම තමන්ගේ බලය ව්‍යාප්ත කර තිබීම හේතුවෙනි.

එවැනි නොනිල ක්‍රියාවන් බහුලව සිදුවන වටපිටාවක් තුළ නිල ඇඳුමෙන් සැරසුන ඇතැම් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද තම නිලය බලය පෙන්වමින් ඉන්ධන කොල්ලයක නිරත වන බව රටේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙමින් ඇත. මේ වනවිට මෙම චෝදනාවට බහුලව ලක්වන පිරිස අතර ඉදිරිපෙළ පසුවන්නේ ඇතැම් ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ය. නිල ඇඳුමෙන් සැරසෙන ඔවුන් රජයේ නොවන වාහන සඳහා ඉන්ධන ලබා ගන්නා බවත් ඒ හේතුවෙන් දින ගණන් ඉන්ධන පෝලිම් අසල පසුවන්නන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවත් රටේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙමින් ඇත. මේ අතර වැඩි මිලට ඉන්ධන අලෙවි කරන කූට ජාවාරම්කරුවන් ද මේ දිනවල බහුලය. යමෙක් හොර අරක්කු විකුණන්නේ යම් සේද ඉන්ධන ජාවාරමේ යෙදෙන පිරිස ද ඒ ආකාරයෙන්ම තම ජාවාරම කරගෙන යන අතර නියමිත මිල ගණනට වඩා ඉහළ මිලක් යටතේ එලෙස හෝ ඉන්ධන ලබා ගැනීම පිණිස පෙළඹෙන පිරිස ද දිනෙන් දින ඉහළ යමින් ඇත.

මේ වනවිට රට තුළ පවතින ඉන්ධන හිඟය විසින් බරපතළ අර්බුද රැසක් නිර්මාණය කර අවසන්ය. ඒ අනුව නිලය හා බලය සහිත පිරිසට එක් නීතියක් සහ සාමාන්‍ය ජනතාවට තවත් නීතියක් යටතේ ඉන්ධන ලබා ගැනීමට සිදු වී ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සහ ඉන්ධන හල් අසල ඇති වන නොසන්සුන්කාරී තත්ත්වයන් පාලනය කිරීම පිණිස පොලිසිය, හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඇතත් ඉහත සඳහන් අකටයුතුකම් සිදුවන්නේ තිරයෙන් පිටුපස සිටින ඇතැමුන්ගේ ඕනෑ එපාකම් මතය. දින ගණන් තෙල් පෝලිම් අසල කල්මරණ සාමාන්‍ය ජනතාව උස් හඬින් ඉල්ලා සිටින්නේ සියලු දෙනාට සාධාරණයක් ඉටුවන වැඩපිළිවෙළක් දැන්වත් ක්‍රියාත්මක කළ යුතු බවය. ඊට විසඳුමක් ලෙස ඉන්ධන ලබා ගැනීමේදී කෝටා ක්‍රමයක් හඳුන්වාදීම පිළිබඳව පසුගිය දිනවල රජයේ අවධානය යොමු වුව ද එය මේ වන තෙක් ක්‍රියාවට නංවා නැත. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නැත. ඉන්ධන හිඟය උග්‍ර වීමත් සමග රටේ මහජනතාවගේ ඉවසීමේ සීමාව ද දිනෙන් දින ඉක්මවා යන බව ඉන්ධන පෝලිම් අසලදී මේ දිනවල දැකගත හැක. සමස්ත සමාජයම ඉන්ධන හිඟය හේතුවෙන් අකර්මන්‍ය වෙමින් පවතින තත්ත්වයක් තුළ රට හිඟමනට ඇද දැමූ පාලකයන්ට ශාප කරන රටක පාලකයන් විසින් තවදුරටත් මුදාහරින සුරංගනා කතා පලක් නොවන බවත් අවශ්‍යව ඇත්තේ දැවෙන ප්‍රශ්න යම් තරමක් දුරට හෝ සමනය කළ හැකි විසඳුම් පමණක් බවත් යළි යළිත් සිහිපත් කර සිටින්නේ ඉන්ධන පෝලිම් අසල මිනිසුන් මැරී වැටෙමින් පවතින අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය උදා වෙමින් පවතින මොහොතකය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment