රටම විනාශයට ඇද දැමූ තක්කඩි රැළකට යළි  බලයට එන්න  ඉඩ දෙන්නේ නැහැ

256
  • ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

රටේ සම්පත් විකුණමින් රට විනාශයට යැවූ දූෂිත පාලකයන්ට හොර තක්කඩි රැළකට කවදාවත් යළි බලයට එන්නට දෙන්නේ නැහැ. පුතානෝ රජානෝ වන්නට ඉඩ දෙන්නේ නැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිත සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (17 දා) සවස කළුතර දී ප‍්‍රකාශ කළේය.

‘ජන පීඩක ආණ්ඩුව පන්නමු’ යන තේමාවෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ පා ගමනක් අවසානයේ කළුතර ප‍්‍රධාන බස් නැවතුම්පළ අසලට එක්රැස් වූ ජනතාව අමතමින් ඒ මහතා එසේ ප‍්‍රකාශ කළේය.

කටුකුරුන්ද හන්දියෙන් පටන් ගත් මෙම පාගමනට යතුරුපැදි හා ත‍්‍රිරෝද රථ හවුල් කරගෙන යමින් දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගි වූහ. ඔවුන් රජයට විරෝධය පළකරමින් සටන් පාඨ කියමින් කළුතර නගරයට පැමිණියහ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද කීවේය.

ගෝඨාභය රාජපක්‍ෂ මේ රටේ දුර්වලම පාලකයා බව අප එදා කී අනාවැකිය අද සත්‍ය වී තිබෙනවා. ඊයේ ජාතිය අමතමින් ඔහු ඒ බව නැවත ඔප්පුකර පෙන්නුවා. තවදුරටත් රට අඩපණ කරන්නට, වට්ටන්නට මේ අයට ඉඩ දිය යුතු නැහැ.

කොවිඞ් වසංගතය වෙලාවෙත් මේ අය හම්බ කළා. එන්නතෙන් ඇන්ටිජන් කට්ටලයෙනුත් ගසා කෑවා. පිටරටවල්වල ඉඳල එන අයගෙනුත් ගසා කෑවා.

රටට බත දුන් ගොවියාව නැත්තටම නැති කළා. එක පෝර ඇටයක්වත් නොදැක චීනයට ඩොලර් ලක්‍ෂ 67 ක් ගෙව්වා. හොර පොහොර දියර ගෙනල්ල ගසා කෑවා. වරද පිළිඅරන් රසායනික පොහොර ගෙන්වන්න තීරණය කළා. ඒත් ඒ වන විට රටේ ඩොලර් නැහැ. වරායට ආපු නැව්වලින් ගෑස්, තෙල් ගොඩබාගන්න බැහැ. ඩොලර් නැහැ. අද ආණ්ඩුව සල්ලි අච්චු ගහලා රට අගාධයට ගෙන ගොස් තිබෙනවා.

අපට පහළින් සිටි කලාපයේ රටවල් කොවිඞ් අර්බුදය හමුවේ වුණත් අද අප රට අභිබවා ඉදිරියට ගිහින්. රාජපක්‍ෂලා රටට ඇති කළ අර්බුදය හමුවේ ඇමෙරිකාව, චීනය, ඉන්දියාව ආදී බලවත් රටවල් අද අපේ රටට අත පොවන්න පටන් අරන්.

දැන් බැසිල් රාජපක්‍ෂ ඉන්දියාවට ගිහින් සිටිනවා. මෝදි එක්ක ගහන ගිවිසුම් මොනවද කියල රටට හෙළි කළ යුතුයි. මේ අර්බුදය හමුවේ වෙන රටවල් බොරදියේ මාළු බානවා. දැන් ඒ රටවල් අප රටට අත පොවලා ඉවරයි. කෙරවලපිටිය සාම්පූර් දැන් දීලා. ජනතාව පෝළිම්වල කොටු කරල රජය රටේ තෙල් බෙදාහැරීමේ අයිතිය ඉන්දියාවට දෙන්න යනවා. අප රටේ බලශක්තිය ඉන්දියාවේ පාලනයට නතු කරන්න හදනවා.

කළුතර දිස්ත‍්‍රික් හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛi නලින්ද ජයතිස්ස මහතා-

අද රටේ ජනතාවගේ ප‍්‍රධාන ප‍්‍රශ්නය ජීවත් වන්නේ කොහොමද කියන එක. ජනතාව පත්කරපු රජය දැන් නොසිතූ විදියට ජනතාව පීඩාවට පත් කරනවා.

අද තෙල් පෝළිම්වල, ගෑස් පෝළිම්වල සිටින ජනතාව ගැටුම් ඇතිකර ගන්නවා. ගෙවල්වල ප‍්‍රශ්න ඊට වඩා බරපතළයි. ජීවත් වෙනවද, දිවිනසා ගන්නවාද කියා සිතන තැනට ජනතාව පැමිණ සිටිනවා. ඒත් ජීවිතයෙන් පලායන්න එපා කියල අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා. අපි මේ කාලකන්නි රැළ පැන්නීමට සටන ආරම්භකර තිබෙනවා.

රටට අත්‍යවශ්‍ය දේ ගෙන එන්න ඩොලර් නැහැ. ඇමෙරිකානු පුරවැසියකු මුදල් ඇමැති වූ පලියට ඇමෙරිකාවෙන් ඩොලර් දෙන්නේ නැහැ. අපේ රටේ ධනය ගත්තු ණයවලට පොලී ගෙවන්නත් මදි.
සටහන හා ඡායාරූප – කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment