රටම හාමතේ.. දුෂ්කරයි දැන් කොළඹ ජීවිතේ..

218

බිත්තර කෑම ගොඩක් ම අඩු වෙලා, මාළු කෑම සම්පූර්ණයෙන්ම නතර වෙලා මස් කන්නම බෑ…

බත් කන්නේ වේල් දෙකයි…

පවුලේ හත්දෙනයි එළවළු ග්‍රෑම් 250 දෙවේලකට ගන්නවා…

දර ළිපේ අපි උයන්නේ ෂෆ්ට් එකට…

මාස තුනකින් අපිට ගෑස් නෑ ඒත් වැඩි මිලට ගන්න ගෑස් ඕනෑ තරම්…

පූර්ණ මානුෂීය හදිසි තත්ත්වයක් අත ළඟය. ඒ බව කියන්නේ අප නොවේ. මානුෂීය කටයුතු සම්බන්ධීකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයයි. මෙරට තුළ උද්ගත වෙමින් පවතින භයානක හදිසි තත්ත්වය ගැන අවධානය යොමු කරමින් මානුෂීය ආධාර එකතු කිරීමේ වැඩසටහනක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආරම්භ කර ඇති බව වාර්තා වේ. එමෙන්ම කොළඹ නගර සීමාවේ ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසකට සහ මෙරට ලක්‍ෂ පනහකට වැඩි පිරිසක් අඩුවෙන් ආහාර ලබාගනිමින්, රන් ආභරණ විකුණමින්, මුදල් ණයට ගනිමින් ජීවත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයට දැනුම් දී ඇත. එම කතාවේ ඇත්ත, නැත්ත සොයාබැලීමට පසුගිය දිනක අපි කොළඹ නගර සීමාවේ අඩු ආදායම්ලාභී ජනතාව අතරට ගියෙමු. වතු මිනිසුන් ජීවත්වන හැටි දෑසින් දැක බලා ගත්තෙමු. ජීවත්වීම සඳහා විඳින දුක ඔව්හු අපට කීහ. මේ පෙළගැසෙන්නේ ඒ පීඩිත මිනිසුන් කියන දුක හිතෙන කතාව ය.

“කොරෝනාවලට රට වහලා තියෙන දවස්වලවත් මෙහෙම කෑම ආහේනියක් තිබුණේ නෑ. ඒ දවස්වල හොඳට කාලා බීලා සැපට හිටියා. දැන් අපි කනවා නෙමෙයි, ලේව කනවා. මේ අහල, පහළ සෑම වත්තකම බතක් ඉදෙන්නෙ උදේට විතරයි. ඒක උදේටත් කාලා, දවල්ටත් කනවා. රෑට කන්නෙ කඩෙන්. රයිස්, කොත්තු නෙමෙයි. රොටි හෝ ඉඳිආප්ප කිහිපයක්. දැන් කඩ කෑමත් අධික මිලයි. පිට්ටු බම්බුවක් රුපියල් අසූවයි. ඉඳිආප්පයක් රුපියල් හතයි ශත පනහයි. ගෙදර උයාගන්න ගෑස් නැති හින්ද තමයි රෑ වේල කඩෙන් කන්නේ. මේ වතුවල මිනිස්සු කුසගින්දරේ ඉන්න ප්‍රධානම හේතුව ගෑස්, භූමි තෙල් නැතිකම. ප්‍රමාණවත් විදිහට ගෑස් ටික දෙනවා නම් හාල් හුණ්ඩුවක් රත් කරගෙන, පොල් සම්බෝලයක් හරි හදාගෙන බත් ටිකක් කනවා. දැන් අපිට කන්න වෙලා තියෙන්නේ දත්මිටි තමයි. බොන්න තියෙන්නේ කඳුළු…” පිටකොටුව ගෝමස් පටුමඟෙහි පදිංචිව සිටින දමයන්ති පෙළගැසෙන කතාවට උස් හඬින් එසේ ප්‍රවිෂ්ට විය. ඇයට වයස අවුරුදු හතළිස් දෙකකි. සිව්දරු මවකි. ඇයගේ දරු පවුල නඩත්තු වී ඇත්තේ සැමියා උපයන වේතනයෙනි. ඔහු මෝටර් කාර්මිකයෙකි. එහෙත් මේ අර්බුදය තුළ සැමියාට ද රස්සාව නැති බව දමයන්ති අපට කීවා ය.

“මාසයකට ආසන්න කාලයක ඉඳලා මහත්තයට වැඩ නෑ. දරුවො හතරදෙනා ම පාසල් යනවා. අම්මා හොඳට ම වයසයි. එයාගේ බෙහෙත්වලටත් මාසයකට ලොකු මුදලක් යනවා. දවස් තුනක් කන්න බඩු ගන්න රුපියල් පන්දහක් මදි. ජීවත් වෙන්න හරිම අමාරුයි. මාසයකින් විතර මස්, මාළු කෑල්ලක් එක්ක කටට, රසට බත් වේලක් කෑවේ නෑ. කටට රසට කෑම නැතිව පුංචි දරුවො නාහෙන් අඬනවා. ඒත් මොනව කරන්න ද? තියෙන විදිහට උදේට හොදි දෙකක් එක්ක බත් ටිකක් උයා ගන්නවා. දවාලටත් ඒවම කනකොට අපිටත් අවුල්. ඒත් මේක අපේ කරුමෙ කියලා හිතාගෙන පුළුවන් කාලයක් ජීවත් වෙනවා. අපි විතරක් නෙමෙයි ගෝමස් පටුමඟෙහි ගෙවල් විසිඅටක් තියෙනවා. අහල, පහළ වතුවල ජීවත්වන සියලු පවුල් දරාගැනීමට බැරි ආර්ථික ආහේනියකින් පීඩා විඳිනවා. මේ වෙනකොට ගෑනුන්ගේ කනක කරාඹුවක්වත් නෑ. මිනිස්සු සන්තකයේ තිබුණු සියලු රත්තරන් උකස් කඩවල. අපිට දුක මේ පුංචි උන් ගැන. ආර්ථික ආහේනිය කියන වචනයවත් මුන්ට තේරෙන්නේ නෑ…” පෙර පාසල් වියේ පසුවන පුංචි දරුවා තුරුලු කරගත්ත දමයන්ති හිස සිඹින්නීය…” කිරිපිටි, ෆයිඩ් රයිස්, ඇපල්, දොඩම් ඉල්ලන පුංචි දරුවා ඉදිරියේ ඇය නිරුත්තර බව දමයන්ති අපට කීවේ දෑස්වල කඳුළු පුරවගෙනය.

රටම හාමතේ.. දුෂ්කරයි දැන් කොළඹ ජීවිතේ..

“ඉස්සර අපේ ළමයි ඇති වෙන්න පලතුරු කෑවා. කොටුවේ මුදලාලිලා ඇපල් පෙට්ටි ගණන් ගෙනැත් වත්තේ ළමයින්ට බෙදුවා. දැන් ඇපල් ගෙඩියක් රුපියල් එකසීය අසූවයි. මිදි කිලෝවක් දෙදහස් අටසියයි. ඉන්ධන මිල වැඩිවීමත් එක්ක අපේ රටේ පලතුරුවල මිලත් අස්ප ගණන්. දැන් අපේ දරුවන්ට ආසාවට පලතුරක් කන්න නෑ. මාළු, මස් කෑල්ලක් කන්න නෑ. කිරි පිටි උගුරක් බොන්න නෑ. පුංචි කිරිපිටි පැකට් එකට කඩෙන් රුපියල් 50ක් ගන්නවා. පැකට් එකේ ගහලා තියෙන මිල රුපියල් 35 යි. කඩ කාරයොත් අපිව මරාගෙන කනවා. සමහර කඩවල උදේ විකුණන ගාණට වඩා හවස බඩුවල මිල වැඩියි. මගේ මහත්තයා කැලේ පොළේ සේර, කරපිංච්චා වෙළෙඳාම් කළා. දැන් බිස්නස් නෑ. මේ දවස් ටිකේම පොළට ගියේ නෑ. දරුවො දෙන්නා තාම පාසල් යනවා. තව ටික දවසක් යනකොට වේල් දෙකක්වත් කන්න විදිහක් නැතිව යනවා…” ඇය ශ්‍යාමලි ක්‍රිෂාන්තිය. වයස අවුරුදු හතළිස් පහකි. දෙදරු මවක් වන ඇයගේ කතාවට තවත් තිදරු මවක් එකතු විය. ඇය අචලා ය. පිටකොටුව කැලේ පොළේ එළවළු වෙළෙඳාම් කරන්නියකි.

“ඉස්සර අපි කළේ තොග බිස්නස්. කැලෑ පොළට එන මිනිස්සු බඩු ගෙනිච්චෙ තොග පිටින්. දැන් ඒ මිනිස්සු ගෙනියන්නෙත් එළවළු ග්‍රෑම් 250 ගානේ. කීර මිටියයි. පොහොර නැති ගැටලු, ප්‍රවාහන වියදම්, නාට්ටාමි කුලී එකතු වුණාට පස්සේ එළවළු අධික මිලයි. කීර මිටිය රුපියල් අසූවයි. ඉස්සර කිලෝ පනහ, සීය බිස්නස් කරපු අපිට දැන් කිලෝ දහයක්වත් බිස්නස් කරගන්න බෑ. ඒ වගේම ඉස්සර පස්, හයදෙනා ඉන්න පවුල්වල වේලකට එළවළු ග්‍රෑම් 500ක් ගත්තා. දැන් ඒ පවුල්වලත් එළවළු ග්‍රෑම් 250 වේල් දෙකකට ගන්නවා. දැන් අපේ මිනිස්සු කන විදිහට මේ විදිහට ජීවත්වීමත් පුදුමයක්. ඒ වගේම ඉස්සර අපේ වතුවල මිනිස්සු හරියට බිත්තර කෑවා. දැන් බිත්තර දෙකක් ගන්නකොට එළවළු ග්‍රෑම් 250ක් ගන්න පුළුවන්. පවුලට ම වේල් දෙකක් කන්න පුළුවන්. මිල වැඩිවීමත් එක්ක බිත්තර කෑම ගොඩක්ම අඩු වෙලා. මාළු කෑම සම්පූර්ණයෙන්ම නතර වෙලා. සාලයෝ ග්‍රෑම් 500 රුපියල් හාරසීයයි. අනිත් මාළුවල මිල ගැන කතා කරනකොට ඇගේ මාළු රත් වෙනවා. කරවල මිල දකිනකොට බඩ, පපුව පත්තු වෙනවා. අඩුම හාල්මැස්සො ග්‍රෑම් 250 රුපියල් හාරසීයයි. අනිත් සියලු ම කරවල ඊට වඩා මිලයි. අපේ මිනිස්සු කරවල සීයක් මිලට ගන්නේ හරිම අමාරුවෙන්. හොද්දට හදාගෙන ඒක වේල් තුනක් විතර කනවා. ආසාවට කවුපි, කඩල, මුංඇට ටිකක් කන්න බෑ. ඒවා ගිනි ගනං. කෙටියෙන්ම කියනවා නම් පස්දෙනා ඉන්න පවුල්වල හාල් ග්‍රෑම් 500 උයාගෙන දෙවේලක් කනවා. එදා වේල සොයාගෙන අති දුෂ්කර ජීවිත ගත කරන පවුල් හැටක් අපේ වත්තේ ජීවත් වෙනවා. ඒ සේරම මිනිස්සු කඳුළු බොනවා…” සැමියගෙන් වෙන් වී ස්වශක්තියෙන් ජීවත්වන අචලා ද තිදරු මවකි. ඇයට වයස අවුරුදු හතළිස් එකකි. ඔවුන් ජීවත්වන කුඩා නිවස පිහිටා ඇත්තේ 14/51 මාටිස් පටුමඟේය. ඇයගේ කතාවට ලසන්ති වත්සලා ද අඩු වැඩි එකතු කළාය. ඇය ද තිදරු මවකි. වයස අවුරුදු පනස් දෙකකි. සැමියා අතහැර ගිය ඇය ඇඳුම් මසන්නියකි.

“මම ගෙදර ඇඳුම් මැහුවා. හවසට කෑම හදලා කඩවලට දැම්මා. ඉස්සර හොඳට බිස්නස් තිබුණා. අවුරුද්දෙන් පස්සෙ එක ඇඳුමක් මහන්න ආවේ නෑ. ගෑස් නැතිකම නිසා කෑම හදන්නත් බෑ. දරුවො ගෙනැත් දෙන දෙයක් අරපිරිමැස්සෙමෙන් කාලා තවම ජීවත් වෙනවා. සමහර දවසට උදේට බනිස් ගෙඩියක් කාලා ප්ලේන්ටියක් බීලා හවස් වෙනකම් ඉන්නවා. රෑට බත් චුට්ටක් කාලා දවස ගෙවනවා. ඉස්සර හිටි හැටියේ ලොකු, ලොකු මහත්වරු ඇවිත් අපේ වතුවලටත් බත් පැකට්, බඩු මලු බෙදලා ගියා. දැන් එහෙම කෙනෙක්වත් එන්නේ නෑ. ඒ වගේම ඉස්සර අපි මාසෙකට, දෙකකට සැරයක් පන්සලේ වැඩසිටින හාමුදුරුවන්ට දානය පූජා කළා. දැන් දානයක් දීපු කාලයක් මතක නෑ. අපේ පන්සවලට දානය ලැබෙනවා ගොඩක්ම අඩුයි. ඒ ගැන අපිට දුකයි. ඒත් මොනව කරන්නද…” වත්සලා ප්‍රශ්නයක් මතු කර නිහඬ විය. ඒ වත්තෙන් මේ වත්තට, අර වත්තට පයින්ම ගෑටුව අපි මිහිඳු මාවතේ මහල් නිවාසයක් අසල නතර විය. එම මහල් නිවාසයේ එක දර ළිපේ උයා පිහාගෙන කන කාන්තාවන් කිහිපදෙනෙක් ද ජීවත්වීම උදෙසා කරන අරගලය අප ඉදිරියේ වචන කළහ. ඒ පොදු හඬ අතරින් රේණුකා ජයවර්ධනගේ හඬ අපි ඉස්මතු කළෙමු.

“මේ තට්ටු ගෙවල් ඇතුළේ දර ළිප්වල උයන්න බෑ. භූමිතෙල් ළිප් පත්තු කරන්න තෙල් නෑ. ගෑස් නෑ. ඒ නිසා අපි පහළ දර ළිපක් හදාගෙන ෆ්ලැට් එකේ අය මාරුවෙන්, මාරුවට උයා ගන්නවා. මම උදේට උයන්න නැඟිටින්නේ පාන්දර 3.00ට. එන්න අපේ ළිප ගාවට යන්න…” රේණුකා මගේ අතින් නොඇද්දා පමණි. නිවාස අතරින් රිංගාගෙන ඉදිරියට යන රේණුකා පසුපස අපි ද ගියෙමු. එකිනෙකට යාව පිහිටි නිවෙස්වලට වාතාශ්‍රයවත් ලැබෙනවද යන්න සැක සහිතය. ඒ නිවාස එතරම් ම සමීපය. එක නිවසක එළිපත්ත තවත් නිවසක ඉදිරිපසය. ඇතැම් නිවසක නාන තැන් තවත් නිවසක දොරකොඩය. ඒ ජීවිත වෙනම කියැවීමකි. රේණුකා දර ළිපක් අසල නතර විය. කුඩා කොන්ක්‍රීට් තට්ටුවක් මත සකස් වූ දර ළිපේ බතක් ඉඳේ.

“බත් එක ළිපේ තියලා දරුවට පැම්පස් එකක් ගේන්න ගියේ…” රේණුකා බත් එක කූරු ගාමින් එසේ කියන්නීය.

පැම්පස් අඳින්න දරුවා තාම චූටි ද? ඇගේ කතාවට මගේ සිතේ මතු වූ කුකුස පැනයක් ලෙස එසේ යොමු කළෙමු.

“නෑ… පුතා උපතින්ම ආබාධිතයි…” එසේ කියමින් පිටුපස දොර විවෘත කළ රේණුකා නිවස තුළ මුණින් අතට පෙරළී සිටින දරුවා අපට පෙන්නුවා ය. ඒ දරුවාට වයස අවුරුදු දාහහතරකි. එහෙත් වයස අවුරුදු තුනක පෙනුම නැත.

“එයා ජීවිත කාලයම පෙරළෙමින්, බඩගාමින් ඉන්නවා. මෙච්චර කාලයක් අපිට පුළුවන් විදිහට පුතාව බලා ගත්තා. අදටත් අපි නොකා හරි එයාගේ කිරි පිටි ටික වේලාවට දෙනවා. මේ දවස්වල නම් අපිත් රැකිලා ඉන්නෙ පුතාට ලැබෙන ආබාධිත දීමනාවෙන්. අපේ කරුමෙ කතා කරල ඵලක් නෑ. පොදු කරුමය ගැන කතා කිරීම ඊට වඩා වටිනවා…” එසේ කියමින් රේණුකා ඉටි බෑග් උරයක දමා තිබූ දර කෑලි කිහිපයක් අප දෙසට දිගු කළාය.

“සල්ලිවලට ගන්නවත් දර නෑ. මේ දර කෑලි ටික රත්තරන් වගේ පරිස්සම් කරගන්නේ. මේ ෆ්ලැට් එකේ පවුල් විසිහතරම උයා ගන්නෙ මේ ළිපේ. එළියේ තිබුණොත් දර නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඊයේ හවස නවය වත්තේ ගෑනු දර ළිපේ උයන්න ගිහින් රණ්ඩුවක් ඇති කරගෙන තියෙනවා. අන්තිමේ පිරිමිත් ඇවිළිලා ගිහින් ලොකු රණ්ඩුවක් වුණා. මේ ආණ්ඩුවට ඡන්දය දීපු මිනිස්සුත් එක්කත් අනිත් අය තරහයෙන් ඉන්නේ. මේ වගේ වල් බූරු, හොර හැත්තකට ඡන්දය දීපු උන්ට අපිත් බයිනවා. උන් ඡන්දය දීලා රාජපක්‍ෂලා ඇතුළු හොර හැත්ත පොහොසත් කළා. අපි බඩට කෑම නැතිව මැරෙන්න යනවා. ඒ වගේම දේශපාලන හොර හැත්ත කරපු වැරැදිවලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ අපිට. මගේ මහත්තයා ඇලුමිනියම් වෑද්දුම් ශිල්පියෙක්. හොඳට වැඩ තිබුණා. ඒත් පහුගිය සිංහල අවුරුද්දෙන් පස්සෙ තවම වැඩක් නෑ. ගෑස් ප්‍රශ්නය නිසා මම කරගෙන ආපු කෑම බිස්නස් එකත් නතර වුණා. දැන් අපිට කන්න නැතිව මැරෙන්න වෙලා තියෙන්නේ. මෙහෙම ජීවත් වෙනවට වඩා මැරෙනවා හොඳයි. ඒත් අපි නැති වුණොත් පුංචි උන්ට යන එනමං නැති වෙනවා…” රේණුකාගේ දෙනෙත් රතු වූයේය. බත් හැළිය ළිපෙන් බා ගත් ඇය නිවස තුළට ගියාය. අපි මිහිඳු මාවතෙන් පහළට බැස්සෙමු.

“මේක කොන්ක්‍රීට් වනාන්තරයක්. මිරිස් ගහක්වත් හිටවගන්න තැනක් නෑ. මේ කෙසෙල්වත්ත කොට්ඨාසයේ විතරක් පවුල් දෙදහස් ගාණක් ජීවත් වෙනවා. ඒ සියලුම පවුල්වලට වගා කරන්න තරම් භූමියක් නෑ. ඒ වගේම එදා වේල හම්බ කරගෙන කන මිනිස්සු. වැඩිම වුණොත් ඔවුන්ගේ දවසේ ආදායම රුපියල් දෙදෙහක් වෙයි. දර කෑල්ලෙ ඉඳලා සියලුම දේවල් කඩෙන් ගන්න මිනිසුන්ට දැන් රුපියල් දෙදෙහකින් පවුලක් ජීවත් කරවන්න බෑ. ඒ වගේම දවසෙන්, දවස භාණ්ඩ මිල වැඩි වෙනවා. පෝලිම් දිගු වෙනවා. අපේ මිනිස්සු මාස එකහමාරක් තිස්සේ ටෝගන් තියාගෙන ගෑස් එනකම් බලාගෙන ඉන්නවා. තවම ගෑස් නෑ. ඒත් වැඩි මුදලට ගන්න ගෑස් තියෙනවා. පෙට්‍රල්, ඩීසල් තියෙනවා. භූමි තෙල් තියෙනවා. මුළු වෙළෙඳපොළ ම කළු කඩයක් වෙලා. ඒ කූට වෙළෙඳුන්ට, ගෑස්, ඉන්ධන හොරාට විකුණන උන්ට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. ඒ වගේම හිතුමතේ ආණ්ඩුව බදු ගහනවා. ඒවා ගෙවන්නෙත් අසරණ ජනතාව. අපිට කියන්න තියෙන්නෙ මෙච්චරයි. රජයෙන් රුපියලක ආධාරයක් එපා. කොහොමහරි අත්‍යවශ්‍ය බඩුවල මිල අඩු කරලා, ගෑස් ටික, භූමි තෙල් ටික දෙන්න. අපි කොහොමහරි ජීවත් වෙන්නම්…” කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි අචින්ත ප්‍රියලාල් එසේ කීවා පමණක් නොව, කොළඹ තවත් වතු කිහිපයකට ම අපව කැටුව ගියේය.

බොරැල්ල හල්ගහවත්ත, ටී විස්සවත්ත, පරිප්පුවත්ත, කොන්ක්‍රීකට්වත්ත, බ්ලූමැන්ඩල්, කොටහේන සහ මට්ටක්කුලිය ප්‍රදේශ කිහිපයක මහල් නිවාසවලට මෙන්ම තනි නිවාස අතරට අපි ගියෙමු. ඒ සියලු පවුල් අඩු ආදායම්ලභින්ය. ත්‍රිරෝද රථයක් හයර් කර, කුලී රස්සාවක් කර හෝ සුළු වෙළෙඳාමක් කර පවුල් නඩත්තු කරන මිනිසුන්ට දැන් වැලේ වැල් නැති බව ඔවුන්ගේ කතාවෙන් ද අපට වැටහිණි. කේඩෑරි වී ගිය ළමයින්ගේ සහ වැඩිහිටි පාරණ තුළින් අපට පෙණිනි. මානුෂීය කටයුතු සම්බන්ධීකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් නිවේදනය කර ඇති කතාව සත්‍ය බව අවබෝධ විය. එහෙත් අපට කරුණු පැහැදිලි කළ කිසිම කෙනෙක් බඩු මලු ඉල්ලාගෙන පින්සෙන්ඩු වූයේ නැත.

“පාඩුවේ හයර් එකක් දුවා ගන්න පෙට්‍රල් ටික දෙන්න… එක වේලක් හරි උයාගෙන කන්න ගෑස් ටික දෙන්න… තව ටික කාලයක් ජීවත් වෙන්න ජීවන වියදම අඩු කර දෙන්න… රජයට බරක් නොවී අපි ජීවත් වෙන්නම්. එහෙම කරන්න බැරි නම්, කරන්න පුළුවන් කෙනෙකුට දීලා ජනාධිපති, අගමැති ගෙදර යන්න…” කුසට හරි හැටි අහරක් නොමැතිව ජීවන ගින්දරේ පිච්චෙන කොළඹ පීඩිත මිනිසුන්ගේ කතාව සරල ය. අවබෝධ කරගැනීමට පහසුය. එහෙත් තියෙන ගැටලුව බුද්ධියක් නැති පාලකයන්ට ජනතාවගේ භාෂාව නොතේරීමය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment