රටින් ගේන ඩොලර් ගුවන් තොටින් අතුරුදන්…

383

සියල්ල ඩොලරය මත තීරණය වන වටපිටාවක ‘ඩොලර්’ පිළිබඳ වෙනස්ම කතාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් වාර්තා වෙමින් ඇත. එය වාර්තාවකට පමණක් සීමා නොවුණ පුවතක් බවට පත්වන්නේ මේ කියන්නට යන ජාවාරමේ නිරත ගුවන්තොටුපළ බැංකු ශාඛාවක නියෝජ්‍ය කළමනාකරුවකු රුපියල් ලක්ෂ ගණනක මුදලක් ද සහිතව හසුවීමත් සමගය. හෙළිදරව්වෙමින් පවතින ආකාරයට අනුව ඔහු විසින් බැංකු රාජකාරියට අමතර රාජකාරියක් එම බැංකුව වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් වෙනුවෙන් පවත්වාගෙන ගොස් ඇත. එහිදී ඔහුගේ අමතර රාජකාරිය බවට පත්ව ඇත්තේ ඩොලර් ඇතුළු විදේශීය මුදල් රුපියල් බවට පත්කර ගැනීම පිණිස බැංකු ශාඛාව වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් වෙනත් පිරිසක් වෙත හඳුන්වාදෙමින් සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ඩොලර්, රුපියල් බවට පත්කර දීමය. මේ ආකාරයට ගුවන්තොටුපළ තුළ පිහිටි බැංකු හා තිරු බදු රහිත සාප්පු සංකීර්ණවල රාජකාරියේ නිරත තවත් පිරිසකගේ අනු දැනුම සහිතව මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් තිබෙන බව දැනට සිදුකර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අනාවරණයේ වෙමින් පවතින කරුණුවලට අනුව මෙම ජාවාරමට බාහිර පාර්ශ්වයක් සම්බන්ධය. ඔවුන් හා ගුවන්තොටුපළ රාජකාරියේ නිරත ඇතැම් දූෂිත නිලධාරීන් අතර පවතින දැඩි හිතවත්කම් මත සිදුවන මෙම මූල්‍ය ජාවාරම් පිණිස අවශ්‍ය රුපියල් ලක්ෂ ගණනින් වූ මුදල් ගුවන්තොටුපළ වෙත රැගෙන යන්නේ ඉහත සඳහන් දූෂිත නිලධාරීන් විසින්ය. පරීක්ෂාවකින් තොරව ගුවන් තොටුපළ වෙත ඇතුළු වීම සහ පිටවීම සඳහා රේගු නිලධාරීන්ට හිමි වරප්‍රසාදය අවභාවිත කරන මෙම දූෂිත නිලධාරීන් බාහිර පාර්ශ්වයන් සමග සම්බන්ධ වෙමින් සිදුකර ගෙන ගොස් තිබෙන මෙම මූල්‍ය ජාවාරම හේතුවෙන් රටට රැගෙන එන ඩොලර් බැංකු ගත නොවී බාහිර පාර්ශ්වයක් අතට පත්වීම රටේ ආර්ථිකයට බරපතළ අතුල්පහරක් එල්ල කරන කාරණයක් බවට පත්ව ඇත.

රටින් ගේන ඩොලර් ගුවන් තොටින් අතුරුදන්…

වැඩි මිලට ඩොලර් මිලදී ගැනීමට කැමැත්තක් දක්වන ව්‍යාපාරිකයන් හා ජාවාරම්කරුවන් එක්ව පවත්වාගෙන යන මෙම ජාවාරම සිදුකරන ආකාරය වාර්තා වන්නේ මේ ආකාරයෙන්ය. විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී ඔවුන් විසින් රැගෙන එන ඩොලර් පිටතට රැගෙන නොගොස් ගුවන් තොටුපළ තුළ පිහිටි බැංකු ශාඛාවක තැන්පත් කිරීමට විදේශයන්හි සිට මෙරටට පැමිණෙන බොහෝ පිරිස් කටයුතු කරනු ලබන්නේ ගුවන් තොටුපළ තුළ ඊට අවශ්‍ය පහසුකම් පැවතීමත් වැඩි ආරක්ෂාවත් හේතුවෙන්ය. තවත් පිරිසක් එලෙස රැගෙන එන ඩොලර් වැයකොට තීරු බදු රහිත මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම පිණිස යොමුවන ආකාරයක් දැකගත හැකිය. දිනපතා ගුවන් මගීන් දස දහස් ගණනින් යන එන ස්ථානයක් බැවින් ඉහත ක්‍රමවේද දෙක යටතේ විශාල ඩොලර් ප්‍රමාණයක් ගුවන්තොටුපළ තුළ සංසරණය වන අතර ඉහත සඳහන් ඇතැම් දූෂිත නිලධාරීන් විසින් සිදුකරනු ලබන්නේ ඉහත ක්‍රමවේද දෙක යටතේ යම් ගනුදෙනුවක් පිණිස යොමුවන ගුවන් මගීන් හා සම්බන්ධ වෙමින්ය. ඩොලරයේ හුවමාරු අගයට වඩා වැඩි මිලක් ලබාදෙන බව විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට පවසන මෙම දූෂිත නිලධාරීන් ඒ අනුව ගනුදෙනුකරුවන්ව තමන් වෙත ආකර්ෂණය කර ගන්නේය. ඒ අනුව ඩොලර් බැංකු ගත කිරීමේදී බැංකුව විසින් එක් ඩොලරයක් සඳහා ලබාදෙන මිලට වඩා රුපියලක් වැඩිපුර ලබාදීමේ කොන්දේසිය මත රුපියල් ලක්ෂ ගණනින් වූ මෙම වංචාව දිනපාත සිදුකර ගෙන ගොස් ඇත. එලෙස වැඩිපුර රුපියල් ප්‍රමාණයක් ගෙවමින් ගුවන් තොටුපළ තුළදී මිලදී ගන්නා එම ඩොලර් පිටතට රැගෙන විත් බාහිර පාර්ශ්වය වෙත ලබාදීමේ වගකීම ද මෙම දූෂිත නිලධාරීන් විසින් අකුරට ඉටුකර ඇත. ඒ සඳහා මුදලින් හා වරප්‍රසාද වශයෙන් යම් යම් දේ ලබා ගැනීමට ද එම නිලධාරීන් විසින් කටයුතු කර ඇති බව ද සිදුකර ඇති විමර්ශන ආදියෙන් හෙළිදරව් වෙමින් ඇත. මේ සම්බන්ධ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ අවධානය යොමු වී ඇත. වහාම මෙම ජාවාරම නතර කිරීම පිණිස අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසට ද ඇමැතිවරයා විසින් රේගු බලධාරීන් වෙත දැනුම් දී ඇත.

වෘත්තීය ගරුත්වයට නිගාකරමින් හැසිරෙන මෙම දූෂිත නිලධාරීන් හේතුවෙන් දෙපාර්තමේන්තු කීර්තිනාමය පමණක් නොව රටේ සමස්ත ආර්ථිකයට ද බලවත් හානි සිදුවෙමින් ඇත. පැලැස්තර ඇලවීම පමණක් මෙවැනි තැන් සුවපත් කිරීමට ප්‍රමාණවත් නොවන බව අපගේ වැටහීම බවට පත්ව ඇත්තේ එබැවින්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment