රටින් පනින්න යද්දී ජීවිත 55 ක් අනූනවයෙන් බේරේ – ගැඹුරු මුහුදේදී  සුළි කුණාටුවකට හසුවූ බෝට්ටුව නාවික හමුදාවෙන් බේරාගැනේ

101

බෝට්ටුවක ආධාරයෙන් නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ 55 දෙනකු රැගත් යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී අනතුරට ලක් වීමෙන් පසු එහි සිටි පිරිස ජීවිතයත් මරණයත් අතර පොරබදිමින් සිටියදී නාවික හමුදාව විසින් මුදවාගත් පිරිස පෙරේදා (12 දා) හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.

මෙලෙස නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ දරා ඇත්තේ ත්‍රිකුණාමලය, යාපනය, කිළිනොච්චිය, වව්නියාව, මන්නාරම හා කල්පිටිය ප්‍රදේශවල පදිංචි 55 දෙනෙකි.මේ පිරිස අතර පිරිමි පුද්ගලයන් 46 ක් , කාන්තාවන් 03ක් හා කුඩා දරුවන් 06ක් වෙති. මෙහි සිටි කුඩාම දරුවාගේ වයස අවුරුදු 03ක් බවද නාවික හමුදාව පවසයි.

මෙම පිරිස රැගත් යාත්‍රාව හම්බන්තොට සිට නාවික සැතපුම් 360ක් පමණ දුරින් ගිණිකොණ දෙසට වන්නට ගැඹුරු මුහුදේදී සුළි කුණාටුවකට හසුව අනතුරට පත්ව තිබේ.

ලංකාවට ගිණිකොණ දිගින් පිහිටි ගැඹුරු මුහුදේ මෙරට බහුදින යාත්‍රාවක් අනතුරට පත්ව මුහුදේ පාවෙමින් තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සහන සලසන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය 08 වන දින නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබේ.

එම දැනුම් දීමට අනුව නාවික හමුදාවේ පරාක්‍රමබාහු නෞකාව ආපදාවට පත් යාත්‍රාව පිහිටි ප්‍රදේශයට ගොස් තිබේ. ඒ අනුව පසුගිය 10 වන දින පෙරවරුවේ අනතුරටපත් යාත්‍රාව අසලට ගොස් එහි සිටි පිරිස් මුදාගෙන තිබේ. එහිදී මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් යාත්‍රාවේ බඳට දැඩි හානි සිදුව තිබේ. ඒ වන විටත් යාත්‍රාව ගිළී යෑමේ අවදානමකට ලක්වෙමින් තිබී ඇත. නාවික හමුදාවේ නිලධාරීන් විසින් පිරිස මුදාගැනීම සිදුකරන අවස්ථාව වන විටත් එහි සිටි පිරිසට ආහාර හා ජලය හිඟවීම නිසා කිහිපදෙනෙකුම දැඩි අසාධ්‍ය තත්වයට පත්ව සිට තිබේ. අනතුරට පත් යාත්‍රාව තුළට අධික ලෙස ජලය කාන්දුවීම හේතුවෙන් යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට නොහැකිවීම හේතුවෙන් යාත්‍රාය අතහැරදැමීමට මුදවා ගැනීමේ ඒකකය කටයුතු කර තිබේ. නාවික හමුදා බාරයට ගත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට වරාය පොලිසියට බාරදීමට නියමිතය.

මත්තල – දිලිප් එන්. ජයසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment