රටින් පැන්න පොලිස් නිලධාරියෙක් සුරිච් නුවරින් මතුවෙයි

409

● රහස් පොලිස් නිලධාරියා ට්‍රිපොලි අනුකණ්ඩය සහ ගෝඨාභය වරදකරු කරයි
● චීන පර්යේෂණ නැවට දැඩි විරෝධය

ආරක්‍ෂක ලේකම් – පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීන් බලාසිටියදී කටුනායක ගුවන්තොටුපළින් ස්විට්සර්ලන්තයට පවුලේ අය සමඟ පැනගිය රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක ඒඩි්‍රයන් නිශාන්ත සිල්වා සුරිච් නුවර සිට නෙදර්ලන්තයේ හේග් නුවරදී ආරම්භ වූ ශ්‍රී ලංකාවට එරෙහි නඩු විභාගය හමුවේ ප්‍රකාශයක් කරනු ලැබීය.

මහජන විනිශ්චය මණ්ඩලය හෙවත් පීපල්ස් ට්‍රිබියුනල් නමින් හඳුන්වන මෙම මණ්ඩලය හමුවේ ඔහු සාක්කිදුන්නේ රජයේ නීතිරීති උල්ලංඝණය කරමිනි. නීතිඥයකු නොවූ නීති ආයතනයක සේවය කරන ජොආනා ප්‍රිවට් නමැත්තිය ඉංග්‍රීසි භාෂාවෙන් නිශාන්ත සිල්වාගෙන් ප්‍රශ්න කළ අතර ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ සිංහලෙනි.

මෙම නඩු විභාගයට ජංගම දුරකථන විමර්ශකයකු යැයි හඳුන්වන රොබට් නිස් කැඳවා තිබුණි. එහි නඩු අධ්‍යක්‍ෂක ලෙස ඇල්මූඩා බර්මාබේනායි පත්කර තිබුණි. මේ මහජන විනිශ්චය මණ්ඩලය විදේශ රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලැබූ ආයතනයකි. මෙයට පෙර අයර්ලන්තයේ ඩබ්ලින් නුවරද මෙවැනි මහජන විනිශ්චය මණ්ඩල විභාගයක් පවත්වා දින දෙකක් තුළ ශ්‍රී ලංකාව වරදකරු යැයි තීන්දුවක් දෙනු ලැබීය.

ශ්‍රී ලංකාවෙන් ජර්මනියට පැනගිය දේදුන්න නමැති කොටි පත්‍රයේ සංස්කාරක රෝහිත භාෂණ අබේවර්ධනද, එක්නැලිගොඩගේ බිරියද එහි සාක්කිකරුවන් විය.

එහෙත් මොවුන් සැබෑ සාක්‍ෂිකරුවන් නොවේ. නිශාන්ත සිල්වාට මෙරටින් පැනයෑමට කොළඹ ස්විස් තානාපති කාර්යාලය සහය විය. එක්සත් ජාතීන්ගේ නිලධාරිනියක් වූ යස්මින් සුකා සකස්කළ වාර්තාවක නිශාන්ත සිල්වා හඳුන්වනු ලැබුවේ සිවිල් වැසියන්ට වධහිංසා පැමිණ වූ වධකයෙකු ලෙසිනි.

ඔහු මෙරටින් පැනයද්දී හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ බලාසිටියේය. ආගමන විගමන බලධාරීන්ද, කටුනායක ගුවන්තොටුපළේ දී වීසා පරීක්‍ෂාකරන නිලධාරීන්ද එකී රහස් පොලිස් නිලධාරියා සහ පවුලේ අය විදේශගත වන්නේ රජයේ අවසරය සහිතව දැයි විමසුවේ නැත. එහෙත් ජිනීවා මානව හිමිකම් සමුළුව ආවරණය කිරීම සඳහා මා ජිනීවා නුවරට යාම සඳහා කටුනායකට පැමිණි අවස්ථාවේ වීසා මුද්‍රාව සහ වීසා බලපත්‍රය දැඩිලෙස පරීක්‍ෂාවට ලක්කරනු ලැබීය.

මෙවන් පසුබිමක් මැද නිශාන්ත සිල්වා සහ පවුලේ අය කිසිදු බාධාවකින් තොරව ස්විස් එයාර් යානාවකින් සුරිච් බලා පිටව ගියහ. සුරිච් ගුවන් තොටුපළේ දී සංක්‍රමණික ආයතනයේ නිලධාරියකු ඔහුව පිළිගනු ලැබීය.

2022 ස්විස් සංක්‍රමණික වාර්තාව අනුව නිශාන්ත සිල්වාට මරණ තර්ජන එල්ලවීම නිසා ඔහුට දේශපාලන රැකවරණ ලබාදුන් බව දක්වා තිබුණි.

2019 දී මෙරටින් පැනගිය නිශාන්ත සිල්වා යළි කරලියට පැමිණියේ 2022 මැයි මසය. ඔහු මෙරට නඩු වලට අදාළ පොලිස් බී වාර්තාවල කරුණු ද මහජන විනිශ්චය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරනු ලැබීය.

රටින් පැන්න පොලිස් නිලධාරියෙක් සුරිච් නුවරින් මතුවෙයි

එහෙත් ස්විස් ඩයස්පෝරා ක්‍රියාකාරියකු සම්බන්ධ වූ යාපනයේ විද්‍යා ඝාතන නඩුවේ සුලමුල හෙළිකිරීමට ඔහු ක්‍රියාකළේ නැත.

මාධ්‍යවේදියකු ඝාතනය වූයේ මිග් ප්‍රහාරක යානා ගැන පළවූ තොරතුරු නිසා බව ඔහු කියා සිටියේය. ඊට ට්‍රිපොලි හමුදා බුද්ධි අනුඛණ්ඩ සම්බන්ධ බවද හෙතෙම තවදුරටත් පළ කළේය. එහෙත් මෙම මහජන විනිශ්චය මණ්ඩලය සාක්කිදීමට කැඳවා තිබුණේ ඊට සම්බන්ධ වූවන් නොවේ.

එක් සාක්කිකරුවකු වූ භාෂණ අබේවර්ධන නමැත්තා මෙන්ම සන්ධ්‍යා එක්නැලිගොඩ නමැත්තිය මිග් ප්‍රහාරයක යානා ගැන මෙයට පෙර අනාවරණය කර නැත. ඇය විදේශ රටවලට ගොස් පැවසුවේ තම සැමියා හමුදාව රසායනික ප්‍රහාර එල්ල කිරීම හෙළිකළ නිසා අතුරුදන්වූ බවයි.

එහෙත් මහජන විනිශ්චය මණ්ඩලය ඒ ගැන ප්‍රශ්න කළේ නැත. මේ හැර සාක්කිකරුවන් මෙහෙයවූ ජොආනා ප්‍රිවට් ශ්‍රී ලංකාව ගැන දන්නා තැනැත්තියක් නොවේ. නෝර්වේහි නෝරාඩ් සංවිධානයේ සටන් විරාම ගිවිසුම ප්‍රචාරයට අතිවිශාල මුදලක් ලබාගත් පීසරා හෙවත් පාක්‍යසෝති සවරිමුත්තුද මෙහි එක් සාක්කිකරුවෙකු විය. මෙම ඒක පාක්‍ෂික නඩු විභාගයේදී සාක්කිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට කිසිදු නීතිවේදියකු සිටියේ නැත. කොටි සංවිධානයට උදව් කිරීම ගැන තොරතුරු හෙළිවීමත් සමගම රහස් පොලිසිය ඔබව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ කොළඹ ජර්මානු තානාපතිගේ සගයන් මෙරටින් පැනගියා නේද යැයි භාෂණ අබේවර්ධනගෙන් විමසීමටද විනිශ්චය මණ්ඩලය ක්‍රියාකළේ නැත.

මෙම මහජන විනිශ්චය මණ්ඩලය ජුනි මස අවසානයේදී තීන්දුව දෙන බවට ප්‍රකාශ වූවත් ජූලි 31දා දක්වාම තීන්දුව ප්‍රකාශයට පත්කර නොමැත.

එහි තීන්දුව නම් හිටපු ජනපති සහ රජය වගකිවයුතු බව සඳහන් කිරීමයි. නිශාන්ත සිල්වා 2019 අවසාන භාගයේ සිට 2022 මැයි මස දක්වා ස්විස්ටර්ලන්තයේ සැඟවී සිටි අතර පාරිභෝගික බඩු ලබාගැනීම සඳහා පමණක් තෝරාගත් සුපිරි වෙළඳසැලකට පැමිණියේය. එහෙත් ස්විස් රාජ්‍ය නොවන සංවිධාන ඔවුන් සිටින තැන දැන සිටියේය. මේ අතර නේපාල රජය එරට හමුදාව ගලවාගැනීමට යුද අපරාධ පනත සංශෝධනය කර ඇත. ඊට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය කිසිදු ප්‍රකාශයක් කර නැත. මේ පසුබිම මැද යුඇන්වැන්ග් නමැති චීන පර්යේෂණ නැව හම්බන්තොට වරායට පැමිණීම ගැන ඉන්දීය විරෝධතා මතුවිය. එහෙත් ඇමරිකානු යුද නැව් කොළඹ වරායට සම්ප්‍රාප්ත වූවත් ඊට එරෙහි විරෝධතා මතු වූයේ නැත. මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ කැනඩාවේ කොන්සර්වටිව් නායක පියරේ පොලිමේරේද ශ්‍රී ලංකා ජනපති අත්අඩංගුවට ගතයුත යැයි සිංගප්පූරු රජයෙන් ඉල්ලා ඇත. එහෙත් කැනඩා සෙබලුන් යුද අපරාධ කිරීම ගැන ඔහු නිහඬ වී තිබේ.

එහෙත් එකවරම හිටපු ජනපතිවරයෙක් අත්අඩංගුවට ගත හැකිද?

මෙරට හිටපු ජනපති ගෝඨාභය අත්අඩංගුවට ගත්තේ නම් බ්‍රිතාන්‍ය යුද අපරාධකරුවන් වූ ටෝනි බ්ලේයාර් ඇතුළු කණ්ඩායමද අත්අඩංගුවට ගතයුතු වේ. මේ පසුබිම මැද යස්මින් සුකා පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ජනපති ඉම්පියුනිටි හෙවත් මුක්තිය අහිමිවී ඇති බවයි. මේ අතර ඇමරිකානු රිම්පැක් අභ්‍යාසයට සහභාගිවීමට සහ ඇමරිකාව මෙරටට තෑගිකළ වෙරලාරක්‍ෂක යාත්‍රාව මෙරටට ගෙනඒමට ඇමරිකාවට ගිය නැවියන් අතරින් භටයන් 9ක් පැනගොස් තිබේ. ඩල්ගස් මුන්රෝ නමැති මෙම වෙරලාරක්‍ෂක යාත්‍රාවට නාවික හමුදාව විසින් පී-627 යැයි නම්කර තිබුණි. මෙම යාත්‍රාව ගෙනඒමට සහ රිම්පැක් යුද අභ්‍යාසවලට

රටින් පැන්න පොලිස් නිලධාරියෙක් සුරිච් නුවරින් මතුවෙයි

සහභාගිවීම සඳහා නැවියන් 50ක් ඇමරිකාවට පැමිණ තිබුණි. ඇමරිකානු සත්වැනි නාවුක හමුදාව සංවිධානය කළ මෙම රිම්පැක් යුද අභ්‍යාසයට ගිය නැවියන්ව ඇමරිකාවට ගෙනයනු ලැබුවේ ඔස්ටේ්‍රලියානු ගුවන් යානාවක් මගිනි. ජුනි 29 සිට අගෝස්තු 4 වැනිදා දක්වා පැවැත්වෙන මෙම යුද අභ්‍යාස නිමවීමට පෙර පැනගිය එකම නැවියන් පිරිස ශ්‍රී ලාංකිකයන් වේ. මෙයට පෙර ද්‍රවිඩ නාවික නිලධාරියෙක්ද තම පවුලේ අය සමඟ ඇමරිකාවට පැනගොස් එරටින් දේශපාලන රැකවරණ පතා තිබුණි. මේ අතර හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ පසුගිය කාලය තුළ නීතිය හා සාමය රැකීමට කිසිදු විධායක බලතලයක් භාවිතා කර නැතැයි හෙළිවී ඇත. ඔහු අප දැක්වූ කරුණු වලටවත් සවන් දුන්නේ නැහැ යැයි හිටපු මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර හෙළි කළේය. රටේ සිදුවන්නේ කුමක්ද කියලාවත් ඔහු දැනගෙන සිටියේ නැත යැයි හෙතෙම තවදුරටත් පළ කළේය. මේ අතර ඇමරිකාවේදී පැනගිය නැවියන් පිරිස මෙතෙක් හමුවී නැත. මොවුන්ව සොයාගැනීම සඳහා ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ. ආරංචි මාර්ග දක්වන්නේ මොවුන් කැනඩාවට පැනයෑමේ ඉඩකඩ ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment