රටේ විනිමය අනුපාත 3 ක් නිසා ඩොලරයේ අවුල තවත් දිග්ගැස්සෙයි

707

රට තුළ මේ වනවිට විනිමය අනුපාත තුනක් ක‍්‍රියාත්මකවන බවත් එය විදේශ විනිමය ප‍්‍රවර්ධනයට ද අහිතකර ලෙස බලපාන බවත් ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

මහ බැංකුව දිගට ම කෘත‍්‍රීම ලෙස විනිමය අනුපාතය අඩු අගයක පවත්වාගෙන යෑම නිසි පරිදි විදේශ විනිමය පේ‍්‍රෂණ රටට ලැබීමට ද බාධාවක් වී ඇති බවද ඔවුහු සඳහන් කරති.

මේ අහිතකර බලපෑම් වළක්වා ගැනීමට දැනට ඇමෙරිකානු ඩොලරය සහ ශ‍්‍රී ලංකා රුපියල අතර පවතින විනිමය අනුපාතය වෙළෙඳපොළ තත්ත්වයන් අනුව කිසියම් මට්ටමකට අවප‍්‍රමාණය වීමට ඉඩ සැලසීම වඩාත් සුදුසු බව එම ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ රජයට යෝජනා කරති.

මහ බැංකුව විසින් පවත්වාගෙන යන නිල විනිමය අනුපාතයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු 198.50ක මට්ටමේ සහ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 202.99ක මට්ටමේ සැලකිය යුතු කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යමින් තිබේ.

මේ අතර මහ බැංකුව විසින් විදේශ සේවා නියුක්තිකයින් එවන ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 10ක අතිරේක මුදලක් දීම ආරම්භකර ඇති අතර ඒ අනුව ඔවුන් වෙනුවෙන් තවත් විනිමය අනුපාතයක් ක‍්‍රියාත්මක වෙමින් පවතියි. එසේම කළු කඩයේ ඇමෙරිකානු ඩොලරයක් ඊට වඩා විශාල ඉහළ අගයක හුවමාරු වෙමින්ද තිබේ.

මේ තත්ත්වය යටතේ ආනයනකරුවන්, අපනයනකරුවන් මෙන්ම විදෙස්ගත රැුකියා කරන ශ‍්‍රී ලාංකිකයින් ද අපහසුතාවට පත්ව ඇති බවත් ඔවුන් විනිමය හුවමාරු කිරීම සඳහා අවිධිමත් මාර්ග වෙත යොමුවීමට මේ තත්ත්වයට බොහෝ දුරට හේතු වී ඇති බවත් එම විශේෂඥයෝ සඳහන් කරති.

දැනට රට විශාල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින අතර මෙසේ රට තුළ විනිමය අනුපාත තුනක් ක‍්‍රියාත්මක වීම බැංකු ක‍්‍රමය හා විධිමත් මාර්ග ඔස්සේ විදේශ විනිමය ලැබීම ප‍්‍රවර්ධනයට ද බාධාකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.

රටේ නිල විනිමය අනුපාතයට අනුව විදේශ සේවා නියුක්තිකයින්ට ලැබෙන ප‍්‍රතිලාභ අඩුවීම ඔවුන් නිල මාර්ගවලින් මෙරටට විනිමය පේ‍්‍රෂණය කිරීම අඩුවීමට ද හේතු වී ඇත. මේ නිසා දිගින් දිගටම කෘත‍්‍රීම ලෙස විනිමය අනුපාතය පවත්වාගෙන යමින් ශ‍්‍රී ලංකා රුපියල ඉහළ අගයක රඳවා ගන්නවා වෙනුවට කිසියම් මට්ටමක විනිමය අනුපාතය අවප‍්‍රමාණය වීමට ඉඩ සලසන ලෙස ද එම ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ තවදුරටත් සඳහන් කරති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment