රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න එපා

110

මහනුවර ව්‍යාපාරික හා නීතිඥ හමුවකට එක් වෙමින් ජනාධිපති අවධාරණය කරයි

රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නිවැරදි සැලැස්මක් තිබිය යුතු බවත් වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා පසුගිය මාස කිහිපය තුළ පැවති ආර්ථික දුෂ්කරතාවන් තරමක් අඩු වී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීමට සූදානම් බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන් සමග ඊයේ (20දා) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද අප මේ ගත කරමින් සිටින්නේ අසීරු කාලයක්. නිවසක ආර්ථිකය කඩා වැටුණු විට එය දැනෙන්නෙ නිවසේ පුද්ගලයින්ට. ව්‍යාපාරයක් කඩා වැටුණොත් ඒක ව්‍යාපාරිකයින්ට දැනෙනවා. නමුත් රටක ආර්ථිකයක් කඩා වැටුනොත් ඒක සමස්ත ජනතාවටම දැනෙනවා. මීට මාස එකොළහකට පෙර අප මේ තත්ත්වයට මුහුණ දුන්නා. අපට ඉන්ධන, විදුලි බලය, ඖෂධ තිබුණේ නෑ. ඉතා දුෂ්කර තත්ත්වයකට රටක් ලෙස අපි මුහුණ දුන්නා. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැවතුණා.

මම ජනාධිපති ධුරය භාර ගන්නා විට රටේ පැවතුණේ එවැනි ගැටලු‍කාරී තත්ත්වයක්. නමුත් අප නිසි සැලැස්මක් ඔස්සේ රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ඒ වගේම ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික ලබා දුන්නා. නිසි වේලාවට එම පොහොර ලබාදීම නිසා මෙවර මහ කන්නයේ සාර්ථක අස්වැන්නක් ලැබී තිබෙනවා. දැන් ඉන්ධන පෝලිම් නැහැ. විදුලි බලය තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය ටිකෙන් ටික පෙර තිබූ තත්ත්වයට වඩා හොඳ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. නමුත් අපට තවත් ප්‍රශ්න තිබෙනවා.

අද උද්ධමනය ඉහළ මට්ටමක තිබෙනවා. පොලී අනුපාතය ඉතා වැඩියි. ඒ නිසා ව්‍යාපාරික ප්‍රජාව අසීරුතාවට මුහුණ දී සිටින බව අපි දන්නවා. ඒ වගේම නීතීඥවරුන්ටත් ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යෑමේදී ගැටලු‍වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. රටේ මූලික ගැටලු‍ රැසකට අප මේ වන විට විසඳුම් ලබාදී තිබෙන බව කිව යුතුයි. ඒ වගේම තවත් ගැටලු‍ ගණනාවක් අප ඉදිරියේ තිබෙනවා. රටක් බංකොලොත් වූ විට යන්න තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටයි. ඒ හැර ලෝකයේ රටක් බංකොලොත් වූ විට ආධාර ලබා දෙන්න වෙනත් සංවිධානයක් නෑ. ආර්ථිකය කඩා වැටුණු හැම රටක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තමයි නැවත ගොඩ ආවේ. කඩා වැටුණු ආර්ථිකයෙන් ගොඩ නඟන්න ග්‍රීසියට අවුරුදු 13 ක් ගතවුණා. මම අවුරුදු දහතුනක් ජනාධිපති ධූරයේ සිටීමට බලාපොරොත්තුවක් නැහැ. විවිධ දේශපාලන පක්ෂ විවිධ කතා කියමින් ඉන්නවා. කඩාවැටුණු ආර්ථිකය ගොඩ එන්න වෙනත් ඉණිමඟක් තියෙනව නම් කියන්න කියලා මම ඒ අයට යෝජනා කරනවා.

රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න එපා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ 2019 දී පැවති ආකාරයට අපේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් විය යුතුයි කියලයි. මේ වන විට එය 09% දක්වා පහළ ගොස් තිබෙනවා. ඔවුන් විමසා සිටින්නේ ඔබ ඔබේ ජනතාවට බදු සහන දෙනවා නම් අපි කොහොමද අපේ ජනතාවගෙන් වැඩියෙන් බදු අය ‍කර ගෙන ඔබට සහනයක් දෙන්නේ කියලා. ඒ නිසා අපේ ප්‍රතිපත්තිවලට විරුද්ධ අයටත් අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න, යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීමට අපි සූදානම්. එම යෝජනාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙනවාද කියා බලන්න පුළුවන්.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළේ පසුගිය අගෝස්තු මාසයේ දී. ඒඅනුව සැප්තැම්බර් මාසයේදී මාණ්ඩලික ගිවිසුමට එකඟ වීමට හැකි වුණා. ඔවුන් අපට ක්‍රියාත්මක කිරීමට කරුණු පහළොවක් ලබා දුන්නා. එය දෙසැම්බර් 31දාට පෙර ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කාලය ලබා දුන්නා. නමුත් එදිනට එය සිදු කරගන්න අපට නොහැකි වුණා. ඉන්පසුව ජනවාරි 31 වැනිදා දක්වා කල් ලබා ගැනීමට අප කටයුතු කළා. එම අවස්ථාවේදීත් අපට එම කරුණු 15ක් ඉටු කරගන්න නොහැකි වුණා. අවසන් වශයෙන් පෙබරවාරි 15දා දක්වා කල් ලබා ගැනීම සිදු කළා. පෙබරවාරි 15දා සවස 06:00 වන විට අපි කරුණු සියල්ල සම්පූර්ණ කර වොෂින්ටන් නුවරට යොමු කළා.

මෙම කරුණු පහළොවෙන් එක් කරුණක් පමණයි ප්‍රමාද වෙමින් තිබුණේ. ඒ විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කිරීම සම්බන්ධ කරුණයි. විදුලි බල මණ්ඩලයට වසරකට රුපියල් බිලියන 230ක් අලාභයක් සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ ලබාගන්නා රාජ්‍ය බදුවලින් ආයතන නඩත්තු කරන්න යන්න එපා කියලා.

එහෙම වුනොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය ලැබෙන්නේ නෑ කියලා දන්වා තිබුණා. නමුත් මේ රටේ එක් පුද්ගලයෙක් විදුලි ගාස්තුව වැඩි කිරීමට ගත් තීරණයට විරුද්ධව කටයුතු කළා. ඒ නිසා සති හයක් ජාත්‍යන්තර අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රමාද වුණා. නැත්නම් ජනවාරි මාසය අවසන් වන විට අපට මෙය අවසන් කළ හැකිව තිබුණා. මේ වනවිට අපට ලබා දුන් කරුණු 15 ම ඉටුකර අවසන්. දැන් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවස්ථාවයි. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර නොලැබුනොත් ඉදිරියට ඉන්ධන නැතුව, පැය 12ක පමණ විදුලි කප්පාදුවක් සමඟ ජීවත්වීමට සිදු වෙනවා. යල කන්නයට පොහොර ටික ලැබෙන්නෙත් නැහැ. මේ තත්ත්වය යටතේ ජනතාවට ඉතා අසීරුතාවකට මුහුණ දෙන්න වෙනවා. රටේ මූලික ප්‍රශ්නය ආර්ථික ගැටලු‍වයි. එය ඉලක්ක කර ගෙන තමයි අපි කටයුතු කළ යුත‍්තේ. එසේ නොමැතිව මේ ප්‍රශ්නය සැඟවිය නොහැකියි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ආණ්ඩු මාරු කරන එකක් නොවෙයි. පළාත් පාලන ඡන්දය තිබෙන දිනය සම්බන්ධයෙන් උසාවිය තීන්දුවක් ලබාදේවි. නමුත් රටේ ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුලු‍ සියලු‍ විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේදී විසඳා ගත හැකි දෙයක් නෙවෙයි. ආර්ථිකය පවත්වා ගෙන යෑමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එම නිසා පාර්ලිමේන්තුවේ 225 එක තැනකට පැමිණ වැටුණ ආර්ථිකය ගොඩගැනීමට කටයුතු කළ යුතුයි.

අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණ, සමගි බලවේගය,ඉරාන්ගෙ, හර්ෂගෙ යෝජනා වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සඳහා සහයෝගය ලබා දෙන්නත් පුළුවන්. සමහර දේශපාලන පක්ෂ යෝජනා ඉදිරිපත් කරන්නේ නෑ. ඔවුන් මේ සම්බන්ධයෙන් ජනතාවට බොරු කියලා දේශපාලන සෙල්ලමක් කරනවා. අපට අනාගතය සම්බන්ධව සෙල්ලම් කරන්න බැහැ. රටේ තරුණ තරුණියන්ගෙ අනාගතයට අපි වගකිව යුතුයි. ඒ නිසා ආර්ථිකය ගොඩනැගීමට ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නවා. ඕනෑම අයෙකුට විකල්ප යෝජනා තිබෙනවා නම් මම කැමතියි වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන්න අවස්ථා ලබා දෙන්න.

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුවේ 225 කෙරෙහිම අද ජනතා විශ්වාසය නැති වෙලා. ඒ නිසා ඒ ජනතා විශ්වාසය නැවත දිනා ගැනීමටත් කටයුතු කළයුතුයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ආකාරය පිළිබඳව අපි සැලැස්ම ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා ඔබගේ නායකත්වය බලාපොරොත්තු වෙනවා. මගේ විශ්වාසයක් තිබෙනවා 2024 වන විට අප නැවත සංවර්ධනය කරා ගමන් කරන බව.

මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාද අදහස් දැක්වීය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලු‍ම් අමුණුගම, අනුරාධ ජයරත්න, ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහනුවර නගරාධිපති කේසර සේනානායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment