රටේ අර්බුදවලට විසඳුමක් නැති පාර්ලිමේන්තුව වහන්න – විපක්‍ෂයේ මන්ත්‍රීවරු කියති  

266

පාර්ලිමේන්තුවෙන් රටේ ආර්ථික අර්බුදයට හෝ ජනතා ප්‍රශ්නවලට නිසි පිළිතුරු නොලැබෙන බැවින්, පාර්ලිමේන්තුව වසා දැමිය යුතු යැයි විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසූහ.

එහිදී ඇති වූ කතාබහ මෙසේය.

අනුර කුමාර දිසානායක මහතා

මේ අර්බුදය ඇතිවෙලා මාස ගණනක් තිස්සේ මේ පාර්ලිමේන්තුව රැස්වුණා. නමුත් පාර්ලිමේන්තුවේ සිදුවන කතාබහෙන් රටේ ජනතාවට වැඩක් වෙලා නෑ. පාර්ලිමේන්තුව රටේ ජනතාවගේ හඬ නියෝජනය කරන්නෙත් නෑ. මේ සභා ගර්භයේ අපි රැස්වුණාට එළියේ තිබෙන්නේ ජනතා අඳෝනා. රෝහල්වල ඖෂධ නැහැ. තෙල්, ගෑස් පෝලිම්වල ජනතාව මියයනවා. ගොවියන් හූල්ලනවා. ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම වැටිලා. රටේ සියල්ල අද බිඳවැටිලා. උසුලාගත නොහැකි ලෙස භාණ්ඩ මිල ඉහළ ගිහින්.

ජනතාව විශාල අර්බුද රැසකට මුහුණ දීලා. ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා විශාල වශයෙන් දියත් වුණා. ජනාධිපති, තමන් තමයි හොඳටම කරන්නේ, තමන් තමයි වැඩියෙන්ම දන්නේ වගේ උඩඟු මනෝභාවයකින් හැසිරුණා. ජනතාව මැරෙනවානම්, ජනතා වගකීම් ඉටු කරන්නේ නැතිනම්, ජනතාව ජනාධිපතිට ගෙදර යන්න කිව්වා. ඒක සාධාරණයි.

ඔහු තමයි මේ අර්බුදයේ නිර්මාතෘ. රනිල් වික්‍රමසිංහ අගමැති කළා. ඔහු කරන්නේ ප්‍රකාශ නිකුත් කිරීමයි. මුදල් අච්චු ගැසීමයි විතරයි. මහනායක හිමිවරුන් සහ නීතිඥ සංගමය, දේශපාලනඥයන් කුමක්ද කළ යුත්තේ කියලා කිව්වා. නමුත් ජනාධිපති, රනිල් වික්‍රමසිංහව අගමැති පුටුවේ ඉන්දුවා.

ඒ නිසා මේ තත්ත්වය තුළ ජනතාවට සෙතක් නෑ. මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද? අර්බුදය කවදාද අවසන් වන්නේ කියලා මේ පාලකයන් දන්නේ නෑ. උදේට එකක් කියනවා, දවල්ට තව එකක්, රෑට තවත් එකක් කියනවා. රටේ අරාජිකත්වයක් නිර්මාණය වෙලා. මේ ගමන අපි නතර කළ යුතුයි. මේ කතා වලින් කිසිදු පලක් නෑ. ඒ නිසා මේ සතිය අපි විපක්‍ෂයක් ලෙස පාර්ලිමේන්තුව වර්ජනය කළ යුතුයි. කරුණාකරලා මේ අර්බුදය අවසන් කිරීමට පාර්ලිමේන්තුව ගන්නා ක්‍රියාමාර්ග දැනුවත් කළ යුතුයි.

දයාසිරි ජයසේකර මහතා

දැන් මේ පාර්ලිමේන්තුව මාස ගණනක් රැස්වුණා. නමුත් තීන්දුවක් නෑ. කතා සාප්පුවක් බවට මේ පාර්ලිමේන්තුව පත්වෙලා. ජනතාව හිතනවා මේ පාර්ලිමේන්තුව රැස්වෙලා ප්‍රශ්න විසඳයි කියලා. නමුත් පාර්ලිමේන්තුව තුළ කතා කිරීම පමණයි සිදුවන්නේ. ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ, ජනාධිපතියි, කැබිනට් මණ්ඩලයයි. නමුත් අපේ මිනිස්සු හිතන්නේ පාර්ලිමේන්තුව රැස්වන හැම දිනයකම මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙයි කියලා. ඒ නිසා එක්කෝ පාර්ලිමේන්තුව රැස්නොවී මේ ප්‍රශ්න ටික ඉවර කරන්න ඕනෑ. නැත්නම් මේ පාර්ලිමේන්තුව රැස්නොකර නිකම් ඉන්න ඕනෑ. අපි 225 ටම බැණුම් අහන්න වෙලා. නාගානන්ද කොඩිතුවක්කු මහතා කියලා තිබෙනවා, ඩොලර් 95 ට ගන්න පුළුවන් ගෑස් ටික ඩොලර් 129 ට අරන් කියලා. ඒකට 225 ම වගකිව යුතුයිලු. අපි ඒකට වගකියන්නේ කොහොමද? අපි නොවෙයි ගෑස් ගෙන්නුවේ.

නිමල් ලන්සා මහතා –

අපි සජිත් ප්‍රේමදාස මහත්තයාට, අනුර කුමාර දිසානායක මහත්තයාට කිව්වා සර්වපාක්‍ෂික ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න කියලා. නමුත් ඒ අය ඇහුවේ නෑ. මේ ප්‍රශ්න ටික විසඳන්න වැඩපිළිවෙළක් තියෙනවා නම් ඉදිරියට ඇවිත් කියන්න. වැඩපිළිවෙළක් තිබෙනවා නම් අපි සියලු දෙනාම සහාය දෙනවා.

විමල් වීරංශ මහතා –

අපි මුලින්ම මේ වගේ ප්‍රශ්න ටිකක් එන බව දැනගෙන ඒ ගැන කියලා වැඩපිළිවෙළක් ඉදිිරිපත් කළා. නමුත් ඒක තුට්ටුවකටවත් මායිම් නොකොට ඒ ඉදිරි ක්‍රියාමාර්ගය තබපු අපව තනතුරුවලින් නෙරපා හැරියා. එතැනින් තමයි මේ අතිවෙමින් තිබුණු ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වුණේ. අපි පක්‍ෂ 11 ක නියෝජිතයන් ලෙස යම් වැඩපිළිවෙළක් යෝජනා කළා. අපි ඒ ගැන දේශපාලන පක්‍ෂ සමඟ කතා කළා. නමුත් ඇතැමුන් රෑට රෑට ගිහින් ජනාධිපති හමුවෙලා රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න කියලා කිව්වා. ඔය නිමල් ලන්සා මන්ත්‍රීතුමාලගේ කට්ටිය සහ ඔය ශ්‍රීලනිපයේ ඇමැති ධුර අරන් ඉන්න අය තමයි ජනාධිපතිව නොමඟ යවලා කිසි කමකට නැති රනිල් වික්‍රමසිංහව අගමැති කළේ. උත්තර දෙන්නවත් එතුමා අද මෙතැන නෑ. එතුමාට මේ ප්‍රහ්නවලට කිසිම උත්තරයක් නෑ. වැඩපිළිවෙළක් ඇත්තෙත් නෑ. ආර්ථීක අර්බුදයට මේ ආණ්ඩුවේ කිසිවකුගේ සාධනීය වැඩපිළිවෙළක් නෑ. ගොවීන්ට පොහොර නැත්නම්, පාසල් ටික ගෙනියන්න බැරි ඇමැතිධුර මොන බම්බුවකටද ඕනේ ? අපි සතියක් පාර්ලිමේන්තුව නිවාඩු ගන්නේ නෑ. මේ ආන්ඩුව නිදියගෙන ද ඉන්නේ.

නිමල් ලන්සා මහතා –

ජනාධිපතිව හමුවන්න මම ගියේ නෑ. අපි කිව්වේ පොහොට්ටුවේ අගමැති කෙනෙක් පත්කරන්න කියලායි. විමල් වීරවංශ මන්ත්‍රීතුමා අමු කාලා ඇවිල්ලා. මගේ කට අවුස්සගන්න එපා.

විමල් වීරවංශ මහතා – එක් අවස්ථාවක් තිබුණා සජිත්ව අගමැති කරන්න කියලා. ඒ ජනාධිපතිව හමු වූ අය කියලා තිබුණේ, සජිත් වුණත් අවුලක් නෑ කියලා. නමුත් ජනාධිපතිතුමා ඒ වනවිට රනිල් වික්‍රමසිංහට තමාගේ අදහස කියලා තිබුණා. අර නලින් ප්‍රනාන්දුට ඇමැතිකම දුන්නේ. මෙයා කිව්වා මට එපා ඒක නලින්ට දෙන්න කියලා. නැතිනම් නලින් ප්‍රනාන්දු කියන්නේ ඇමැතිකමක් ගන්න තරම් ජ්‍යෙෂ්ඨත්වයක් තිබෙන මන්ත්‍රීවරයෙක් නොවෙයි.

ඇමැති නලින් ප්‍රනාන්දු මහතා –

විමල් වීරවංශ මහතා කිව්වා මට ඇමැති ධුරයක් ලැබීම ගැන. ඒක ජනාධිපතිගේ තීරණයක්. අනෙක ජනාධිපති සමඟ සාකච්ඡා කරපු ඔබතුමාලාගේ නියෝජිතයා ටිරාන් අලස් ඇමැතිතුමා. එතුමාත් ඇමැතිකමක් ගත්තා. ඒක නිසා බොරු කතා කියන්න එන්න එපා.

මනෝ ගනේෂන් මහතා –

මේ ප්‍රශ්න ඒ අයට විසඳාගන්න කියන්න. අපට කතා කරන්න දෙන්න. මේගොල්ලෝ බොරුවක් කරන්නේ.

වඩිවේල් සුරේෂ් මහතා –

මේ වනවිට වතු ජනතාව බඩගින්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව කැඳවන එක තේරුමක් නෑ. මේ රටට ඩොලර් ගෙන්නපු ජනතාව අද බඩගින්නේ. ගෑස් නෑ, ලාම්පුතෙල් නෑ. පාසල් වහලා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව වහන්න. පාර්ලිමේන්තුවට වැයවන සල්ලිවලින් වතු ජනතාවට කන්න දෙන්න.

පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි –

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ලෙස මේ ආණ්ඩුව පවත්වාගෙන යන බව රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා. මේ ආණ්ඩුව සර්වපාක්‍ෂික විය යුතුයි.

මේ ආණ්ඩුවට මාසයකට වැඩියි. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් අඩු වී තිබෙනවාද? නැහැ. මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක්. රුසියාවෙන් තෙල් ලබාගත යුතුව තිබුණා. මේ ගැන ආණ්ඩුව තුළ කිසිම සාකච්ඡාවක් නැහැ. ජනතාවගේ අවම ප්‍රශ්නවත් විසඳීමට නොහැකි වෙලා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment