රටේ අර්බූද ඉහටත් උඩින් මුදල් ඇමැති බැසිල් කිසි කතාවක් නෑ – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

263

කොරෝනා වෛරසය අවුරුදු දෙකයි, නිල්-කොළ වෛරසය අවුරුදු 73ක් අපේ රට හපයක් කළා

රට තුළ බරපතළ ආර්ථික ගැටලූ රැුසක් නිර්මාණය වී ඇතත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කසාය බිව් ගොළුවේකුසේ සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. මෙරට මුදල් ඇමැතිවරයාට වඩා පිටකොටුවේ තොග වෙළඳ මුදලාලිලා හොඳ යැයිද හෙතෙම කීවේය.

අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පැවසූවේ පෙරේදා (26දා* තංගල්ලේ පැවැති ජාතික ජන බලවේගයේ රැුස්වීමේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා මෙසේද පැවසීය.

මේ ආණ්ඩුව අපේ රටේ සමස්ත ගොවි ජනතාවම මහත් විපතකට ඇද දමලා තිබෙනවා. තමන්ගේ කුඹුර දිහා බලාගෙන හූල්ලන ගොවියෙක් අද ඉන්නේ. ඒ වගේම කිරිපිටි හිඟයත් මිල ඉහළ යෑමත් නිසා ඇකයේ ඉන්න දරුවාට කිරි ටිකක් දෙන්න බැරිව මව්පියන් පීඩාවට පත්වෙලා. කිරි ආනයනය කරන්න ඩොලර් නැතිවෙන කොට පෝලිමේ ඉන්න වෙනවා. සමහර අම්මලා දරුවා දිහා බලාගෙන අඬනවා. මේක ඇකයේ ඉන්න දරුවත් පීඩාවට පත් කරන ලද ආණ්ඩුවක්.

අපේ රටේ අපනයනකරුවන් අර්බුදයට ලක් වෙලා. වරායේ කන්ටේනර් විශාල ප‍්‍රමාණයක් හිරවෙලා. ව්‍යපාරිකයින් අසරණ වෙලා. ධීවර ප‍්‍රජාවගේ බහුදින යාත‍්‍රාවට තෙල් ටික ගහගන්න බැරිවෙලා. මෙවැනි ව්‍යසනයකට කිසිදාක පත්වී නැති බව ඔවුන් අපට කියනවා. රටේ විශ්වවිද්‍යාල තවමත් ආරම්භ කරලා නැහැ. ආණ්ඩුවේ සංගීත සංදර්ශන පවත්වන්න අවසර දුන්නා. හැබැයි විශ්වවිද්‍යාල දේශන කරන්නේ අවුරුදු දෙකක් පුරා ඔන්ලයින් ක‍්‍රමයට. එක දවසක්වත් විශ්වවිද්‍යාලයේ නොගිහින් දෙවන වසරේ අධ්‍යාපනය ලැබීමට සලස්වා මානසිකව කඩා වට්ටවා තිබෙනවා. ඒ පැත්තෙන් ගත්තාමත් මේක ජන පීඩක ආණ්ඩුවක්. ගෝඨාභය, මහින්ද, බැසිල්, නාමල්, චමල්, ශෂේන්ද්‍ර, නිපුන කියන පිරිස හදාගත් සත් කට්ටුවේ ආණ්ඩුව මේ රටේ ජනතාව හැම අතින්ම පීඩාවට පත්කර තිබෙනවා.

ඇමැතිවරු ජනතාවට ප‍්‍රශ්නය ඉදිරිපත් කරන මට්ටමට වැටිලා. මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආර්ථික අර්බුදය ගැන රටට කියන්න ඕනෑ. හැබැයි මුදල් ඇමැති බැසිල් කසාය බීපු ගොළුවා වගේ ඉන්නවා. මෙවැනි අර්බුදයක් වෙලාවකදී රටක පාලකයන් අර්බුදයේ ස්වභාවය පැහැදිලි කර විසඳුම් සැලැස්ම ඉදිරිපත් කරන්න ඕනෑ. හැබැයි මුදල් ඇමැති පාර්ලිමේන්තුවට එන්නෙත් නැහැ. අපේ රටේ මුදල් ඇමැතිට වඩා පිටකොටුවේ තොග වෙළඳ මුදලාලිලා හොඳයි. ජනාධිපති ඊටත් එහා. මතුවී තිබෙන ප‍්‍රශ්න ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. හිරිවැටිලා ඉන්නේ. ජනාධිපතිවරයා ඉන්න මිරිහානේ ලයිට් කපන්නේ නැහැ. බලශක්ති ඇමැතිගේ නිල නිවාසයට මහජන මුදලින් ජෙනරේටර් ගේනවා. වාහන දුවන්න තෙල් නැති අතරේ අගමැති ජෙට් අරගෙන තිරුපති යනවා. මේක රට හෝ ජනතාව පිළිබඳව කිසිදු සංවේදීතාවයක් නැති ආණ්ඩුවක්. ඒ නිසා මේ ආණ්ඩුව පලවා හැරිය යුතුමයි.

මේ රටේ ජනතාව පෙළ ගැසෙන්නේ ආණ්ඩුවක් පලවා හරින පළවෙනි අවස්ථාවට නොවෙයි. මීට කලිනුත් ආණ්ඩු පලවා හැර තිබෙනවා. ඒ හැමදාමත් තිබුණු ආණ්ඩුවට වඩා අසාර්ථක එකක් පත්කරගෙන තිබෙන්නේ. රනිල්-මෛත‍්‍රී ආණ්ඩුව පලවා හැරිය යුතුව තිබුණා. ඒ වෙනුවෙන් රටේ ජනතාව තීන්දු කළ එක හරි. නමුත් වැරදුණේ මොකක්ද? ඊළඟට තෝරා ගත් කෙනා. ඒ අතර මෛත‍්‍රීපාල වේදිකාවට ඇවිත් ඒ කාලේ නම් හොඳයි කියනවා. පරණ රංචුවම දෙපැත්තට චෝදනා කර ගන්නවා. මීරිගම සිට රඹුක්කන දක්වා හයිවේ එක හැදීමෙන් හොරකම් කළා කියලා මේ පැත්තෙන් ජොන්ස්ටන්ට කියනවා. ඒකට උත්තර හැටියට කිරිඇල්ල කඩවත ඉඳලා මීරිගමට ගහපු හැටි කියනවා. චන්න ජයසුමන බෙහෙත් ගේන කොට හොරකම් කළා කියලා තව ඇමැතිවරයෙක් කියනවා. ආණ්ඩුව නාස්තිකාර වියදම් කරන බව විපක්ෂය පැත්තෙන් කියනවා. එතකොට සජිත් නිවාස අධිකාරයෙන් කෝටි සියයක් ගහපු හැටි කියනවා. ඒ නිසා එකම ගමන් මග ගිය මේ කණ්ඩායම් දෙකම ප‍්‍රතික්ෂේප කරන නව ව්‍යාපාරයක් අතට බලය ලබාදිය යුතුයි.

හම්බන්තොට සමහර පාසල්වලට වැසිකිළියක්, පිට්ටනියක්, පුස්තකාලයක් නැහැ. විදුලිය, වතුර නැහැ කියලා වාර්තාවක් තිබුණා. මහජනයාගේ ධනය යොදවන්න ඕනෑ මේ වගේ පහසුකම් සලසන්නයි. ජනතාවගේ ජීවිත උසස් කරවන්න යොදවන්න තිබුණු ධනය මජර පවුල් කිහිපයක් හොරකම් කළා. මේවා නැවත අත්පත් කර ගත යුතුයි. ඒ නිසා මහින්ද මහත්තයා, ගෝඨාභය, වගේම සජිතුත් කලබල වෙන්න ඕනෑ. හැබැයි අපි පියවරෙන් පියවර ක‍්‍රමානුකූලව මේ රට අලූත් පරිවර්තනයකට ගෙන යන්න ජනතා බලය පෙළගස්වමින් තිබෙනවා. අද තංගල්ල නගරයේ රැුව්දෙන්නේ ඒ මහා ජනතා බලයයි.

අද අපේ රටේ දේශපාලනය සම්බන්ධ නඩු පිළිබඳව විශාල සැකයක් ඇතිවී තිබෙනවා. බැසිල්ගේ මල්වානේ නඩුව ගම්පහ අධිකරණයේ තිබෙනවා. ඒ ගැන සැකයක් තිබෙනවා. අද අපේ රටට ඕනෑ තමන්ගේ තනතුරේ ගරුත්වයත් එක්ක නීතිය ඉටුකරන්න පුළුවන් රටක්. අපේ පොලිසියේ මහත්වරුන්ට තමන්ගේ හැකියාව, දැනුම අනුව උසස්වීම් ලබාදෙන ක‍්‍රියාමාර්ගයක් තහවුරු කරන්න ඕනෑ. මේ ප‍්‍රදේශය භාර එච්.කියු.අයි මහත්තයා අපේ ස්පීකර් කිහිපයක වයර් කපන්න නියෝග කරලා. හැබැයි අපේ පාලනයක් යටතේ තමන්ගේත් අනුන්ගේත් ගරුත්වය තනතුරේ ගරුත්වය ආරක්ෂා කරන්න පුළුවන් සාධාරණව නීතිය ක‍්‍රියාත්මක වන රටක් ගොඩනගනවා. මේ ගොල්ලන්ට ඒක කරන්න බැහැ. ගම්පහ අපේ රැුස්වීමකට පසුගියදා බිත්තර

ගැහුවා. ගෝඨාභය පව්. ඒකට ආපු දෙන්නෙක් අල්ලාගෙන පොලිසියට භාර දුන්නා. පොලිසියෙන් ඒ අය ඉස්පිරිතාලයට දාලා ගෙදර යැව්වා. ඒ පොලිසියේම අය අපිට කතා කරලා ඒ බව දැනුම් දුන්නා. නීතියේ සාධාරණය ඉටුකරන්න බලයක් පොලිස් දෙපාර්තමේන්තුවට අද නැහැ. චමුදිත සමරවික‍්‍රමගේ ගෙදරට අසූචි ප‍්‍රහාර, ගල් ප‍්‍රහාර එල්ල කර, බිය වැද්දීමකට ලක්කලා. කැමරා 21කින් ගත්ත වීඩියෝ දර්ශන ලබාදුන් බව චමුදිත කියනවා. වාහන අංකයත් තියෙනවා. ඒත් ගහපු කෙනෙක් නැහැ.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව අලගිය මුලගිය තැන් ගැන විශාල තොරතුරු ප‍්‍රමාණයක් හිටපු පොලිස් අධිකාරී ශානී අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගත් තොරතුරු ඒවා. අපේ රටේ විශාල අපරාධකරුවන් පිරිසක් දේශපාලන ශක්තිය මත සැඟවී සිටිනවා. අපි ඉස්සරහා තිබෙන මේ රට වෙනස් කර නීතියේ විධානය හා ආධිපත්‍යය සහිත රටක් ගොඩනැගීමටයි අපි ආණ්ඩුවක් හදන්න ඕනෑ.

මේ අපරාධ පසුබිම යටතේ අපේ රටේ ආර්ථිකයේ මුදුනටම හෙන ගහලා තිබෙන්නේ. ජනවාරි මාසයේ ආහාර පානවල උද්ධමනය ජනවාරි මාසයේදී 20% ඉක්මවලා කියලා ආණ්ඩුවේ වාර්තාවලම කියනවා. අපේ රටේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට පවතින සම්පත් යොදවා ගන්න ඕනෑ. ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කර ගන්න අපි ක‍්‍රියාකරන්න ඕනෑ. යුද්ධයෙන් පස්සේ අපේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කළ හැකි වටපිටාවක් නිර්මාණය වුණා. අද අපේ රටේ ආර්ථික ප‍්‍රශ්නයට හේතුව කොරෝනා බව කියනවා. හැබැයි බංගලිදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, මැලේසියාවට කොරෝනා බලපෑවේ නැද්ද? ඒ රටවල්වල විදෙස් සංචිත වැඩිවුණා. හේතුව කොරෝනාද? කොරෝනා වෛරසය අවුරුදු දෙකයි. හැබැයි නිල් පාට, කොල පාට අවුරුදු 73ක වෛරසයක් තිබෙනවා. අපේ රට හපයක් බවට පත් කළේ මේ වෛරස් දෙක විසින්. රට මේ තත්වය පත්කර හම්බ කළ ධනය ඒ ගොල්ලෝ ළඟ තිබෙනවා.

ජාතික ජන බළවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත මහතා

අද සියළු සතුරන්ට අපේ වැඩපිළිවෙළ හො`දින් දැනිලා තියෙනවා. ඒ නිසා අද සියළු සතුරු බලවේග එකතුවෙලා අවලාද නගන්නේ, මඩගහන්නේ අපේ පක්ෂයේ නායක අනුර සහෝදරයාටයි. ආණ්ඩුවේ අයට විතරක් නෙමේ ආණ්ඩුවෙන් පිට ඉන්න ජනතා විරෝධී බලවේගවලටත් අද හො`දට රිදිලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ අපි ආරම්භ කළ සටන ජයගෙන තියෙනවා කියන එකයි. සතුරා බය වෙලා ඉන්නවා කියන එකයි. අවුරුදු 73ක් තිස්සේ මේ රටේ පාලකයන් එපා වුණ ජනතාව අද ජාතික ජනබලවේගය වටා එකතු වෙලා ඉන්නවා. අද රටේ ජනමතයක් තියෙනවා මේ පාලකයන්ට ගෙදර පලයල්ලා කියලා.

ජාතික ජන බළවේගයේ විධායක සභික, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත‍්‍රි පෝල්රාජ් මහත්මිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී – ආචාර්ය හරිනී අමරසූරිය, ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක් වූහ.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment