රටේ ආරක්ෂක වියදම වැඩිවීම පාලනය කරන්න බැහැ – ජනපති රනිල් වික්‍රමසිංහ

179

ඉදිරි ආරක්ෂාවට අලුත් හමුදාවක් අවශ්‍යයි

රාජපක්‍ෂ පවුලේ අනුගාමිකයෙක් වුණානම් මා අද ජනාධිපති – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ ආරක්ෂක වියදම වැඩිවීම පාලනය කළ නොහැක්කක් බවත්, ඉදිරි ආරක්ෂාව පිළිබඳ සිතා හොඳ සහ අලුත් හමුදාවක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ප්‍රථමයෙන් ලිපි ලේඛන, කාරක සභා වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, අංක 27/2 යටතේ විශේෂ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු දීමෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දින විවාදය ආරම්භ විය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවුක හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය, තාක්ෂණ අමාත්‍යාංශය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය ආරම්භ කරමින්,

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (ස.ජ.බ) –

ඊයේ ජනාධිපතිතුමා භයානක කතාවක් කළා. ජනතාව අරගල කරන්න පාරට බැස්සොත් හදිසි නීතිය දාලා, හමුදාව දාලා නවත්වනවා කිව්වා. ඒක නරක දෙයක්. එතුමා එදා ගෝඨාභය රාජපක්ෂ මහතාට හිට්ලර් කියලා කිව්වේ රනිල් වික්‍රමසිංහයි. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ හිට්ලර් කෙනෙක් වෙන්න යනවා නම් අපි ඒක අනුමත කරන්නේ නෑ. ඒ හිට්ලර් කියපු කෙනාව ජනතාව පාරට බැහැලා පැන්නුවා කියන එක රනිල් වික්‍රමසිංහ මහත්තයා මතක තියාගන්න ඕනා. අනෙක මේ හමුදාවල ඉන්නේ මේ රටේ සමස්ත ජනතාව නියෝජනය කරන අම්ම තාත්තලාගේ කොල්ලෝ කෙල්ලෝ. ඒ අයටත් බඩගින්න දැනෙනවා. තමන්ගේ අයිතිවාසිකම් නැති වෙනවා කියලා දැනෙනවා. හදිසි නීතිය දාලා ඒ අයට තුවක්කුවක් අතට දීලා මර්දනය දියත් කරන්න කලින් ඒ අයගේ පහසුකම් ගැනත් හිතන්න. රටේ ආරක්ෂාව ගැන කතා කරනකොට මේසා මුදල් වෙන්කරලා තිබෙන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නොවෙයි, පාලකයාගේ ආරක්ෂාව වෙනුවෙනුයි.

තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා – මේ රටේ ආර්ථික අර්බුදයෙන් මිදීමට අවශ්‍ය අඩිතාලම ජනාධිපතිතුමා විසින් දමා තිබෙනවා. විශේෂයෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කෙරෙනවා. මේ යටතේ ලබන වසරේ මුල වනවිට ඩිජිටල් හැඳුනුම්පත ජනතාවට ලබා දෙන්න පුළුවන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා –

ජනාධිපතිතුමා මාතෘකා ගණනාවක් ගැන අදහස් දැක්වූවා. එතුමා කිව්වා මැතිවරණයක් පවත්වන්නේ නෑ කියලා. අපි ඒ ගැන පුදුම වෙන්නේ නෑ. එතුමා මේ තනතුරට පත්වුණේම ඡන්දයකින් තේරී පත් නොවී ජාතික ලැයිස්තුවෙන් ඇවිත්, පසුව අගමැතිවෙලා මේ සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. ඒ නිසා එතුමාට ඡන්ද ගැන විශ්වාසයක් නෑ. ජනවරමකින් ආපු ජනාධිපතිටත් ගෙදර යන්න වුණා. මහින්ද රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට යන්න වුණේ මහජන මතයට ඇහුම්කන් නොදීපු නිසයි. දැන් විකෘතියක් තිබෙන්නේ. ඒ නිසා මේ විකෘතිය නැති කරලා අපි මැතිවරණයකින් නව ජනවරමක් ලබා රට

ගොඩනඟමු. ජනාධිපතිගේ ඊයේ කතාවට වහල්ලු ටිකක් අත්පුඩි ගැහුවාට, රටේ සමස්ත ජනතාව කම්පා වුණා. එතුමා අරගලය ගැන කතා කළා. ඔහු අරගලයට ස්තුතිවන්ත වෙන්න ඕනා. නැත්නම් කොහොමද එතුමා මේ රටේ ජනාධිපති වෙන්නේ. පොදුජන අරගලයට අපි සහාය දෙනවා. නමුත් ත්‍රස්තවාදයට, මර්දනයට, ඝාතනයට, ගිනි තැබීම්වලට අපේ අනුමැතියක් නෑ. මෙතන පොර ටෝක් දීලා ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන්න එන්න එපා.

මම මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයෙක් නම් මම තවමත් විපක්ෂනායක නොවෙයිනේ. එහෙනම් මම අද ජනාධිපති. මම රාජපක්ෂ පවුලේ අනුගාමිකයෙක් නම් මම අද ජනාධිපති. හැබැයි අපිට සක්විති රජකම දෙනවා කිව්වත් අපේ ප්‍රතිපත්ති තුට්ටු දෙකට පාවාදෙන්න යන්නේ නෑ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා – මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා කියලා තිබුණා මට තුන් බිය ඇතිවෙලා කියලා. මම කියන්න ඕන පුද්ගලයකුට තුන් බිය ඇති වෙන්නේ නෑ කියලා. ඒ වගේම විජිත හේරත් මන්ත්‍රීතුමා කියලා තිබුණා මම ජනාධිපති වුණේ අරගලයට පිං සිද්ධ වෙන්න කියලා. මේ රටේ ජනාධිපති ගියොත් ඒක ගන්න ඕන අගමැති. අරගලේ පිනෙන් නොවෙයි, එතුමා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාව බදාගෙන හිටියා නම් මම ජනපති නොවෙයි, විපක්‍ෂ නායකතුමාත් මම

ගැන කිව්වා. මම මේ තනතුර ඉල්ලුවේ නෑ. ලියුම් ලිව්වේ නෑ. නමුත් එතුමා හිටපු ජනාධිපතිට ලියපු ලියුම මම ගාව තිබෙනවා. ඒ ලියුම එවන කොට මම දිවුරුම් දීලා ඉවරයි.

ඒ වගේම හමුදාවේ වියදම වැඩි වුණා කියලා කියනවා. ඒක අපට නවත්වගන්න බෑ. සංඛ්‍යාව අඩු වුණාට උසස්වීම් වැඩිවෙලා තිබෙනවා. හමුදාවේ අනාගතය ගැන අපි බලන්න ඕන.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී කපිල අතුකෝරල (ශ්‍රීලපොපෙ) – මේ රටේ පාර්ලිමේන්තුවේ නායකයන් විවිධ අවස්ථාවලදී ඝාතනය වුණා. මේ පිටුපස ඇත්තේ කුමක්ද යන්න කවුරුවත් සොයා බලන්නේ නෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ) – සමහරු කියනවා යුද්ධයක් නැති නිසා ආරක්‍ෂාවට වියදම් කිරීම වැඩක් නෑ කියලා. යුද්ධ ප්‍රශ්න එන්නේ කිය කියා නොවෙයි. ඒ නිසා නිතරම අපේ හමුදා පුහුණුව අවශ්‍යයි. කිසිම රටකින් තවත් රටකට බාහිර තර්ජන නෑ කියලා හිතන්න හොඳ නෑ. අතීතයෙන් පාඩම් ඉගෙනගත යුතුයි.

සිංගප්පූරුව පොඩි රටක් වුවත් ආරක්‍ෂක වියදම අග්නිදිග ආසියාවේම වැඩිම රට. ආරක්‍ෂක අමාත්‍යාංශය වත්කම් වැඩිදියුණු කිරීමට රුපියල් බිලියන 12ක් වෙන් කරලා. තිබුණු හමුදා මූලස්ථානය වෙනස් වුණේ හමුදාවේ ඉල්ලීම් මත නොවෙයි. දේශපාලන වුවමනා මතයි. ඒවාට දේශපාලනඥයන් වගකිව යුතුයි. පුනරාවර්තන වියදම බිලියන 19ක්. ඒත් වැටුප් වියදම බිලියන 5කින් අඩුවෙලා. එයට හේතුව යුද්ධයෙන් පස්සේ හමුදාවෙන් ඉවත්ව යනවා. ඒ වගේම අලුත් බඳවා ගැනීම් නෑ.

හමුදා භටයන්ට අවශ්‍ය කෑම වේල් හරියට ලැබෙන්නේ නෑ. පුනරාවර්තන වියදම් වැඩි වුණත් අවශ්‍ය ප්‍රමාණයට නෑ. විදේශ පුහුණුවීම් යෑම සියයට 50කින් පමණ අඩුවෙලා. ඒත් වෙන් කර ඇති මුදලුත් ඊට ප්‍රමාණවත් නෑ. හමුදාවේ ප්‍රමිතිය හරියට පවත්වාගෙන යා යුතුයි. ආර්ථිකය විනාශ කරන්න හමුදාව දායක වුණේ නෑ. ඒනිසා හමුදාව ඊට වන්දි ගෙවිය යුතු නෑ.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න – සෑම රාජ්‍ය ආයතනයකින්ම ලබා ගන්නා සේවා තාක්‍ෂණයට යොමු කිරීම අත්‍යවශ්‍යයි. විදෙස් රටවල රාජ්‍ය ආයතන තියෙනවාද කියා සොයා ගන්න බැහැ. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාහනයක් දාන්නවත් ඉඩක් නෑ. ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා තාක්‍ෂණය රාජ්‍ය සේවයට යොදවා ගැනීම කළ යුතුයි. මේවා ක්‍රියාත්මක කිරීමට දැවැන්ත උත්සාහයක් දරනවා. මෝටර්රථ දෙපාර්තමේන්තුවට වසර 07ක් ඊ සේවා සිදු කිරීමට උත්සාහ කළත් ව්‍යවර්ථ වුණා. අපි කැපවී තොරතුරු තාක්‍ෂණය ව්‍යාප්ත කරමු.

පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර (සජබ) – පොලිසිය ස්වාධීන නෑ. පොලිසියේ සමහර නිලධාරීන් විපක්‍ෂය සමග කතා කරන්නවත් සූදානමක් නෑ.

පොලිස්පතිම කියනවා පොලිසියේ දේශපාලනීකරණය ගැන. පොලිස් ස්ථානවලින් බහුතරයකම ස්ථානාධිපතිවරු දේශපාලන පත්වීම්. පොලිස් නිලධාරීන්ගේ වැටුප ප්‍රමාණවත් නෑ. ඔවුන් අසරණයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන – පොලිසියේ සේවය කරන පහළ නිලධාරීන්ට ප්‍රශ්න රැසක් තිබෙනවා. ඒ නිසා පොලිසියේ වියදම් ගැන ප්‍රශ්න කරන්නේ නෑ. ආරක්‍ෂක අමාත්‍යාංශයට වෙන් කළ බිලියන 410න් බිලියන 100 ක් අධ්‍යාපනයට දෙන්න.

මේ ආණ්ඩුව බලයට ආවේ ජාතික ආරක්‍ෂාව ගැන කියලයි. නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලන වුවමනාවට මගේ ඇඟේ දාලා අදත් කතා කරනවා. ගෝඨාභය රාජපක්‍ෂට එදා පණිවුඩය දුන්නේ විසිපන්දහසක් පමණ උද්ඝෝෂකයෝ එනවා කියලා. ඒත් ලක්‍ෂ 4 ක් විතර එදා ආවා. ඔහුට නිවැරැදි තොරතුරු දුන්නේ නෑ.

පාර්ලිමේන්තුව අද 25දා පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment