රටේ ආර්ථිකය ගහෙන් වැටුණා : දැන් රනිල් ඇවිත් ඇනගෙන ඇනගෙන යනවා

102

සයිප්‍රසයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගෙවා ඇති සමාජ ආරක්ෂණ මුදල් ටිකවත් ඔවුන්ට අරන් දෙන්න මේ ආණ්ඩුවට වුවමනාවක් නැහැ
උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

සයිප්‍රසයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගෙවා ඇති සමාජ ආරක්ෂණ මුදල් යුරෝ බිලියන ගණනක් එම ශ්‍රී ලාංකිකයන් අතට ගැනීමට අදාළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සිදු කර අවශ්‍ය ඉදිරි පියවර ගැනීම ලෙහෙසියෙන් කළ හැකි කාර්යයක් බවත් පිලිපීන රජය එම පියවරයන් මේ වන විටත් සිදුකර ඇති බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අර්බුදය වවාගෙන කෑමේ උපාය මාර්ගයක සිටින වත්මන් ආණ්ඩුව එවැන්නක්වත් සිදු නොකරන බවට චෝදනා කර සිටී.

රත්නපුර නගර ශාලාවේදී පෙරේදා (23දා) පැවැති උත්තර ලංකා සභාගයේ ‘රුවන්පුර සම්ප්‍රාප්තිය‘ සමුළුව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

”‍අර්බුදයේ ගැඹුර අපි කියලා දුන්නත් නැතත් අපේ ජන සමාජයේ සෑම සමාජ ස්ථරයක්ම එම අර්බුදයේ පීඩාවේ ගොදුරු බවට පත්වෙලා තිබෙනවා. එම අර්බුදය කලින් දැකලා, එහි බලපෑම අවම කර ගැනීම සඳහා ඉදිරි පියවර නොගත් පවුල් පාලනයක සිරකරුවකු බවට පත්ව සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එහිම ප්‍රතිඵලයක් හැටියට තනතුර අතහැර පලා යාමට සිදු වූවා. එතුමා ලෝකය පුරා වටයක් ගහලා ආයෙත් ලංකාවට ආවා. එහෙම ආවාට පසුව එතුමා සමීපව ඇසුරු කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට පවසා තිබුණා, ‘මගේ නම් දැන් කොලෙස්ටරොලු‍ත් නැහැ, සීනිත් නැහැ, ප්‍රෙෂරුත් නැහැ‘ කියා. එතුමාට නම් ඒවා නැති වුණා. නමුත් අපි හැමෝටම නම් ඒ ඔක්කොම ඇති වුණා.

ඊළඟට බලන්න, මේ අර්බුදයේ නිර්මාතෘවරයකු අතට ඔටුන්න ගියා. මම අහගෙන අර ජනතා විමුක්ති පෙරමුණේ කවුදෝ කියනවා, ‘අපි මැච් එක දින්නා. ඒත් කප් එක නැහැ‘ කියා. මැච් එක දිනුවානම් කප් එකත් තියෙන්න ඕනෙ. නමුත් කප් එක තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ අතේ. එහෙමනම් මැච් එක දිනලා තියෙන්නෙ කප් එක රනිල්ට දෙන්න ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ මේ අර්බුදයට උත්තරයක් ද? මේක හරියට ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ. ‘ආර්ථිකය‘ ගහෙන් වැටුණා. දැන් ‘රනිල්‘ ඇවිත් ඇනගෙන ඇනගෙන යනවා. මේ අයට මේ අර්බුදයෙන් පියමං කරන්න කිසිම උවමනාවක් නැහැ. මම එක උදාහරණයක් කියන්නම්. සයිප්‍රස්වල රැකියාවලට ගිය අය අතර දෙවැනියට වැඩියෙන් ඉන්නේ ශ්‍රී ලාංකිකයන්. ඒ රටේ විදෙස්ගත ශ්‍රමිකයාට පවා ගෙවනවා සමාජ ආරක්ෂණ මුදලක්. එසේ ශ්‍රී ලාංකිකයන්ට ගෙවනු ලැබූ එකී සමාජ ආරක්ෂණ මුදල් යුරෝ බිලියන ගණනක් එහි බැංකුවක ගොඩගැසී තිබෙනවා. එම මුදල් ඔවුනට ලබා ගැනීමට බැහැ. නමුත් පිලිපීන ජාතිකයන්ට එම මුදල් ලබාගැනීමට පුළුවන්. ඒකට හේතුව තමයි පිලිපීනයේ කම්කරු ඇමැති හෝ විදේශ

රැකියා ඇමැති සයිප්‍රසයට ගිහිල්ලා දෙරට අතර ගිවිසුමක් අත්සන් කරලා ඒක ලැබෙන විදිහට හදා ගැනීම. මේ රටේ කම්කරු ඇමැතිවරු, විදේශ රැකියා ඇමැතිවරු එදාත් හිටියා, අදත් ඉන්නවා. නමුත් සයිප්‍රසයට ගිහිල්ලා අදාළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව කරලා ඉහත කී යුරෝ බිලියන ගණන අපේ ශ්‍රී ලාංකිකයන් අතට ගන්න කිසිවක් කරනවා ද? ඒකවත් නොකරන්නෙ අර්බුදය වවාගෙන කන උපායමාර්ගයේ සිටින නිසයි. මේවා රොකට් සයන්ස් නොවෙයි, සාමාන්‍ය කාරණා. තාමත් බලන්නේ අම්මාගෙ දේහය ගෙදර තියාගෙන හැකිතාක් කාලයක් බූරුවා ගහන්න. එවැනි ප්‍රයෝජ්‍යවාදී ප්‍රවේශයක් නොවෙයි අද මේ රට ඉල්ලන්නෙ.

මේක මුළු රටම නිෂ්පාදන සැලැස්මක් අනුව ඉදිරියට යා යුතු කාලයක්. මම කර්මාන්ත අමාත්‍ය ධුරයට පත් වුණාට පසුව, 2020 ජනවාරියේ එම අමාත්‍යාංශයට අයත්, ඈවර කිරීමට නියමිතව තිබූ රාජ්‍ය ව්‍යවසායක් වූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව බලන්න ගියා. යුද්ධයෙන් විනාශ වූවා යැයි පෙනෙන ගොඩනැගිලි, පණගැන්වීමට හැකිවේදැයි හිතාගන්න බැරි යන්ත්‍රසූත්‍ර එහි තිබුණා. නමුත් නියම සුදුස්සකු එහි සභාපති ලෙස පත් කරලා අපි වැඩ ඇරඹුවා. එදා අබලි යකඩවලට විකුණන්න රිෂාඩ් බදියුදීන් හිටපු කර්මාන්ත අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය අරගෙන තිබූ වාලච්චේන කඩදාසි කම්හල, රුපියල් මිලියන 02ක්වත් වියදම් නොකර අපි යළි පණ ගැන්වූවා.

මේ රටේ වහින ජලය, හමන සුළඟ, මහපොළොව ඩොලර් උපදවන්න පුළුවන් මූලාශ්‍ර. මේ පොළොවේ මොනවාද වවන්න බැරි? දැන් පිටරටින් මිදි එන්නේ නැහැ. අපේ මිදි වෙළඳපොළට එනවා. ඇපල් වෙනුවට ආදේශකයක් ද වෙළඳපොළට එනවා. මෙහෙම රටක් නැගිට්ටවන්න බැරිනම් කොහොම රටක් ද නැගිට්ටවන්නේ? රුසියාව මාස හයක් හිමෙන් වැසී තිබුණත් හිම නොමැති මාස හයේ ආහාරයට අවශ්‍ය සියල්ලම නිෂ්පාදනය කරනවා. මැක්ඩොනල්ඩ් ආයතනය දාලා ගියාම එවැනිම ආයතනයක් විවෘත කළා. ඒ තමයි නිසි නායකත්වය.

මේ අභියෝගයන්ට මුහුණ දීමට නම් මහජනයා සමඟ විශ්වාසයෙන් බැඳුණු, අර්බුදය විනිවිද දකින පාලන තන්ත්‍රයකට මේ රටේ පාලනය මාරු වෙන්න ඕනේ. මීට පස්සේ අපි උඩරට හෝ පහතරට ප්‍රභූ පැළැන්තියේ නායකයෝ බලයට ගෙනඒමට කිසි ලෙසකින්වත් දායක වෙන්නේ නැහැ. අපේ පැළැන්තියේ තරුණ දරුවන් අතට මේ රට ගනිමු. මේ පොළොවට සැබෑ ලෙසම ආදරය කරන මිනිස්සු අතට මේ රට ගනිමු. ‘තමාට පෙර රට‘ කියන උතුම් සංකල්පය මත ඉඳගෙන වැඩ කරන මහා බලඇණියක් නිර්මාණය කරන්න ඕනේ. එහෙම කළොත් මේ මව් පොළොව ඉහළම තැනට ඔසවා තබන්න පුළුවන් කියන විශ්වාසය අපට තිබෙනවා.

උත්තර ලංකා සභාගයේ ”‍රුවන්පුර සම්ප්‍රාප්තිය”‍ සමුළුව අමතා එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපතිවරු වන උදය ගම්මන්පිල සහ මහාචාර්ය තිස්ස විතාරණ යන හිටපු අමාත්‍යවරු ද අනුශාසක, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

ජානිපෙ භාණ්ඩාගාරික, රත්නපුර දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතා ඇතුළු උත්තර ලංකා සභාගයේ සාමාජික දේශපාලන පක්ෂවලට අයත් රත්නපුර දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. රුවන්පුර සම්ප්‍රාප්තිය සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි රත්නපුර දිස්ත්‍රික් නායක අතුල කුමාර රාහුබද්ධ මහතා සුබ පැතුම් එක් කළ අතර ‘නිදහස‘ ජාතික සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ද සහභාගී වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment