රටේ ආර්ථිකය ගිලා බසී… දෙවන කාර්තුවේ දී ආර්ථිකය 8.4%‍ කින් පසු බසියි

193

කොවිඩ් වසංගත තවමත් මුළුමනින්ම අවසන්ව නැතත් ඒ නිසා ආර්ථික කටයුතුවලට මේ වන විට බලපෑමක් නොමැති තත්ත්වයට පත්ව තිබේ. එහෙත් කොවිඩ් නිසා අපගේ විදේශ විනිමය ලැබීම් අඩු වීමෙන් එය අපගේ විනිමය අර්බුදය උග්‍ර වීමට බලපෑමක් ඇති කළේය. විනිමය ආදායම් අඩුවී ඒ බලපෑම වඩාත් උග්‍ර වූයේ අපට එකතු වූ විශාල විදේශ ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබූ නිසයි. මේ අප මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හමුවේ ආර්ථික කටයුතුවලට පසුගිය කාලයේ බලවත් අහිතකර බලපෑම් ඇති වූ බව අපි දනිමු. ඉන්ධන, ගෑස්, පොහොර මෙන්ම කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය පවා ගෙන්වාගත නොහැකි වීමෙන් රටේ ආර්ථික කටයුතු බොහෝ අඩපණ විය. මේ තත්ත්වය හමුවේ මේ වසරේ (2022) බලවත් ආර්ථික සංකෝචනයක් (රටේ නිෂ්පාදනයේ අඩු වීමක්) සිදුවන බව පැහැදිලි කරුණක් විය. මේ අනුවම ඉකුත් බ්‍රහස්පතින්දා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ පරිදි මේ වසරේ (2022) දෙවන කාර්තුවේ දී අපගේ ආර්ථිකය වාර්තා කර ඇත්තේ ඍණ සියයට 8.4 ක ආර්ථික වර්ධනයකි.

මේ පසුබෑම අප අපේක්ෂා කළ දෙයක් වන අතර මේ සමස්ත වර්ෂයේ (2022) ආර්ථික වර්ධනය ද සැලකිය යුතු පසුබෑමකට ලක්වනු ඇතැයි දැන් අපේක්ෂා කෙරේ. එහෙත් පසුගිය කොරෝනා වසංගත සමයේ අපගේ සංචාරක ආදායම් සහ විදේශ විනිමය ප්‍රේෂණ ඇතුළු විනිමය ලැබීම් අඩු වුවත් අපට මේ වසරේ (2022) විදේශ ණය ගෙවාගත නොහැකිව රට බංකොලොත් තත්ත්වයට පත්වනු ඇතැයි අප සිතුවේ නැත. ශ්‍රී ලංකා මහා බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් හැම විටම ප්‍රකාශ කළේ සියලු විදේශ ණය කලට වෙලාවට ගෙවා දමන බවත් ආර්ථික අර්බුදය මේ වසරේ (2022) අප්‍රේල් වන විට සමනය වනු ඇති බවත්ය. එහෙත් සිදු වූයේ දිනෙන් දිනම විනිමය අර්බුදය උග්‍ර වී, අත්‍යවශ්‍ය ආනයන පවා ගෙන්වාගත නොහැකිව එය ආර්ථික අර්බුදයක් කර වර්ධනය වෙමින් බලවත් ලෙස සමාජ නොසන්සුන්තා වර්ධනය වන තත්ත්වයක් ඇති වීමයි. මේ තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගත යුතු බවට සහ ඒ වන විට ස්ථාවර අගයක කෘතීම ලෙස පවත්වාගෙන ගිය අපගේ විනිමය අනුපාතය නම්‍යශීලී තත්ත්වයට පත්කළ යුතු බවට ආර්ථික සහ මූල්‍ය අංශවල බොහෝ දෙනෙක් යෝජනා කර සිටියේය. ඒ ගැන මාධ්‍යවල ප්‍රසිද්ධියේ අදහස් පළ වූ අතර මෙහෙම ගියොත් විදේශ ණය ගෙවාගත නොහැකිව රට ණය පැහැර හරින තත්ත්වයට පත්වනු ඇති බවට ද ඇතැම් අර්ථශාස්ත්‍රඥයෝ අනතුරු අඟවා සිටියහ. එහෙත් ඒ සියල්ල බීරි අලින්ට වීණා වාදනය කරන්නාක් බඳු වූ අතර දිනෙන් දින විනිමය අර්බුදය උග්‍ර වී තිබුණු විදේශ සංචිත ටිකත් දියවී අන්තිමට වූයේ අපට විදේශ ණය ගෙවීමේ හැකියාව නැති වීමයි. මේ නිසා නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත් වීමෙන් පසු රජය 2022 අප්‍රේල් 12 දින රජය විසින් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

මෙයින් පැහැදිලි වූයේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හෝ ඔහුගේ රජයේ ආර්ථික බලධාරීන්ට පමණක් නොව මහ බැංකුවට ද මේ ගැන නිවැරදි තක්සේරුවක් හෝ ඉදිරි දැක්මක් නොතිබූ බවයි. එහෙත් මහ බැංකුවේ නිලධාරීන්ට මේ ගැන දැක්මක් නොතිබුණා නොවේ. මහ බැංකුව ඇතුළෙන්ම අයිඑම්එෆ් සහාය ගත යුතු බවට ද අදහස් ඉදිරිපත්ව තිබුණි. එහෙත් ඒවායින් ඵලක් නොවූ අතර දිගින් දිගටම ප්‍රකාශ වූයේ අයිඑම්එෆ් සහාය ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. එහෙත් අයිඑම්එෆ් සහාය නොගෙන රට මුහුණ දී සිටි බලවත් විදේශ විනිමය අර්බුදයට මුහුණ දීමට සමත් අපේම සැලසුමක් තිබුණේ නැත. එසේම මහ බැංකුව අපේක්ෂා කර තිබූ විදේශ විනිමය ලැබීම් පවා නොලැබුණු තත්ත්වය හමුවේ අයිඑම්එෆ් සහාය අනවශ්‍ය බවට සහ සියලු විදේශ ණය කලට වෙලාවට ගෙවන බවට එවකට මහ බැංකුව ප්‍රකාශ කරන්නේ කෙසේ ද යන්නත් විමතියට කරුණක් විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනය පරිදි මේ වසරේ (2022) අපේ ආර්ථිකය සියයට ඍණ 8.7 කින් පසුබෑමකට ලක්වනු ඇත. එහෙත් පසුගිය මහ බැංකු වාර්තාවල ඉදිරි ආර්ථික වර්ධනයන් ගැන පුරෝකථනය කර තිබුණේ කෙසේ ද යන අපට මතකය. මේ අනුව කොරෝනා වසංගතය හමුවේ 2020 වසරේ දී අපගේ ආර්ථිකය සංකෝචනය වී සියයට ඍණ 3.6 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ බව අපට මතකය. ඊට පසු 2021 වසරේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් සියයට 3.7 ක වර්ධනයක් වාර්තා කළේය. මහ බැංකුව සිය 2020 වාර්ෂික වාර්තාවෙන් මුලින් අපේක්ෂා කළේ ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසරේ දී සියයට 6 ක ආර්ථික වර්ධනයක් සහ මේ වසරේ (2022) දී සියයට 5.2 ක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බවයි. ඉන්පසු 2021 වසරේ මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් පුරෝකථනය කර තිබුණේ 2022 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය කලින් පුරෝකථනය කර තිබූ සියයට 5.2 සිට සියයට 1.0 දක්වා දක්වා අඩුවනු ඇති බවයි. එහෙත් අද තත්ත්වය අපි දනිමු. මේ පුරෝකථන කිසිවක් යථාර්ථයක් බවට පත්ව නැත. දැන් අපේක්ෂා කරන්නේ මේ වසරේ (2022) ආර්ථික කටයුතු විශාල සංකෝචනයකට ලක් වෙමින් සැලකිය යුතු ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බවයි. දැනටමත් මේ වසරේ පළමු සහ දෙවන කාර්තු දෙකේ නිකුත්ව ඇති දත්ත අනුව ද මෙය තහවුරු වන්නකි.

රටක් වශයෙන් ඉතිහාසයේ නොයෙක් වර ආර්ථික අර්බුදයන්ට මුහුණ දී ඇති නමුත් අපේ රට විදේශ ණය ගෙවාගත නොහැකිව බංකොලොත් තත්ත්වයට පත් වූයේ ද ප්‍රථම වරටය. ඒ හමුවේ විශාල ලෙස බඩු මිල ද වැඩි වී ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ ආර්ථික පීඩාවන් රැසකට මුහුණ දීමට ද ජනයාට සිදුව ඇත.

● ආර්ථික අගාධයට හේතු

රටේ ආර්ථිකය ගිලා බසී… දෙවන කාර්තුවේ දී ආර්ථිකය 8.4%‍ කින් පසු බසියි
2018 – 2022 දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය

අප මුහුණ දී සිටින ආර්ථික අගාධයට හේතු විග්‍රහ කිරීමේ දී ද බොහෝ විට දක්නට ලැබුණේ දේශපාලනික මත දැක්වීම්ය. ඒ අනුව ඇතැම් අය මෙය සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 අගදී බලයට පත් වීමෙන් පසුව වූ දෙයක් ලෙස සඳහන් කරන අතරම තවත් ඇතැම් අය කියන්නේ පසුගිය රජයන්ගේ සියලු වැරදිවල වන්දි ගෙවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදු වූ බවයි. මේ මත දෙකම පූර්ණ සත්‍ය නොවේ. ආර්ථිකමය වශයෙන් බැලීමේ දී ඉතිහාසයේ බලවත්ම ආර්ථික අගාධයට අපේ රට ඇද වැටීමට දිගුකාලීන හේතු මෙන්ම (දශක ගණනාවක් තිසේ පැවති සාර්ව ආර්ථික දුර්වලතා) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය තුළ සිදු වූ දේවල් එනම් ආසන්න හේතු ද බලපාන ලද බව කිව යුතුය. බොහෝ ආර්ථික විද්වතුන් ද මේ දිගුකාලීන සහ ආසන්න හේතු ගැන අදහස් ප්‍රකාශ කර ඇත. එසේ නම් අප දැන් කළ යුත්තේ මේ හේතු නිවැරදිව හඳුනාගෙන ඊට තිරසාර පිළියම් යෙදීමයි. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සොච්චමක් බව ඇත්තය. එහෙත් මෙහි වැදගත්කම ඒ මුදල ලබා දීම පමණක් නොවේ. ඒ සමග දියත් කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළයි. බදු වැඩි කිරීම රාජ්‍ය වියදම් කළමනාකරණය සහ රාජ්‍ය ව්‍යවසාය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය මේවායින් කිහිපයක් පමණි. අයිඑම්එෆ් එක කීවත් නැතත් අපේ ආර්ථිකය ගොඩ ගැනීමට නම් මේ වෙනස්කම් සිදුකරගෙන යෑමට අපට සිදු වේ. ලෙඩේ ඉතා අසාධ්‍ය බැවින් තිත්ත කසාය බීමටම සිදු වේ.

මේ වර්ෂය (2022) ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික පසුබෑම වාර්තා කරන වර්ෂය බවට පත්වනු ඇති බව දැනට නිකුත්ව ඇති දත්ත අනුවම පැහැදිලිය. මේ අනුව දැනට මේ වසරේ කාර්තු දෙකක දළ දේශීය නිෂ්පාදිත දත්ත නිකුත්ව තිබේ. මේ වසරේ පළමු කාර්තුවේ දී ඍණ 1.6 ක ආර්ථික වර්ධනයක් වාර්තා වූ අතර දෙවන කාර්තුවේ දී ආර්ථික පසුබෑම ඊට වඩා විශාල අගයක් ගෙන ඇත. එනම් ඉහත කී පරිදි මේ වර්ෂයේ (2022) දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය දා ප්‍රකාශ කළේ, 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගය සියයට 8.4 කින් පසුබෑමට ලක්ව ඇති බවයි. මේ අනුව, 2021 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ස්ථාවර මිල ගණන් යටතේ රු. මිලියන 3ල038ල855 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, මේ වසරේ (2022) දෙවන කාර්තුවේ දී රු. මිලියන 2ල782ල114 ක් දක්වා අඩු වී ඇත. එසේ වුවද මෙම අගය 2020 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම වූ රු. මිලියන 2ල612ල069 ට සාපේක්ෂව තරමක ඉහළ අගයකි. 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ඇස්තමේන්තු කෙරෙන්නේ ඊට පෙර වර්ෂයේ එනම් 2021 වර්ෂයේ දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමට සාපේක්ෂවයි.

මේ වසරේ දෙවන කාර්තුවේදී මේ ඍණ ආර්ථික වර්ධනය නියෝජනය කරන ආර්ථිකයේ අනෙකුත් අංශ තුනේම වාර්තා වන්නේ ද පසුබෑමකි. මේ අනුව මේ වසරේ දෙවන කාර්තුවේ දී කෘෂිකර්ම අංශය සියයට 84 කින් ද කාර්මික අංශය සියයට 10 කින් සහ සේවා අංශය සියයට 2.2 කින් ද වශයෙන් ඍණ වර්ධන අගයන් වාර්තා කරමින් පසුබෑමට ලක්ව ඇත. ගිය වසරේ (2021) දෙවන කාර්තුව ගත්විට කෘෂිකර්ම අංශය සියයට 11.2 කින් සහ කාර්මික අංශය සියයට 21.6 කින් ද වර්ධනයන් වාර්තා කර තිබිණි. එම ඉහළ වර්ධනයන්ට ඊට පෙර වර්ෂයේ (2020) ආර්ථිකය සියයට 3.6 කින් පසුබෑමට ලක් වීමේ පදනම් බලපෑම ද හේතු වී ඇත. කෙසේ හෝ මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික පසුබෑමට හේතු පැහැදිලි කරන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙසේ පවසයි.

‘2022 වසරේ දෙවන කාර්තුවේ දී කොවිඩ් වසංගතය නිසා ආර්ථික කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් සෘජුව එල්ල වූ තත්ත්වයක් දැකගත නොහැකි වූ නමුත් සිවිල් සමාජයේ ඇති වූ අසහනකාරී තත්ත්වය සමග ගොඩනැගුණු අවිනිශ්චිත මෙහෙයුම් පරිසරය හේතුවෙන් බොහෝ ආර්ථික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකි විය. විශේෂයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ පැවැති අර්බුදකාරී තත්ත්වය, පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය හිඟය, ඉන්ධන සපයා ගැනීම සම්බන්ධයෙන් පැවති ගැටලු, සිමෙන්ති ඇතුළු අමුද්‍රව්‍යවල පැවති හිඟය සහ මිල ඉහළ යාම, මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් පැවති බාධාවන් සහ ඉහළ උද්ධමනය මගින් ඇති කළ පීඩනය හමුවේ අත්‍යවශ්‍ය නොවන සේවාවන් සඳහා පොදු මහජනතාවගේ ඉල්ලුම අඩු වීම හේතුවෙන් කෘෂිකර්මාන්ත, කර්මාන්ත මෙන්ම සේවා සැපයීමේ කටයුතුවලට මෙම කාර්තුවේ දී බාධා ඇති විය.

මේ කියන ආර්ථික පසුබෑමට හේතු වූ කරුණු අපට පැහැදිලිය. මේ අනුව වඩාත්ම දැඩිව බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු අතරින් ප්‍රධාන අංශ කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය. එනම් ධාන්‍ය වගා කිරීම, වී වගා කිරීම, එළවළු වගා කිරීම, තේ වගා කිරීම, රබර් වගා කිරීම, කරදිය මසුන් ඇල්ලීම, පතල් හා කැණීම් කර්මාන්තය, ආහාර හා බීම වර්ග නිෂ්පාදනය ඇතුළුව බොහෝ නිෂ්පාදන කර්මාන්ත, ඉදිකිරීම් කර්මාන්තය, මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සහ තොරතුරු තාක්ෂණ සේවා සැපයීම යනාදියයි. මේවාට අමතරව තවත් බොහෝ ආර්ථික කටයුතුවලට පෙර සඳහන් කළ අහිතකර තත්ත්වයන්ගේ බලපෑම් එල්ල වීමෙන් එම ආර්ථික කටයුතුවල ද පසුබෑමක් සිදුව ඇත. මේ නිසා මේ වසරේ (2022) දෙවන කාර්තුවේ දී බොහෝ කෘෂිකර්ම සහ කර්මාන්ත ආශ්‍රිත ආර්ථික කටයුතුවලට අහිතකර බලපෑම් එල්ල වීමෙන් ඒවායේ නිෂ්පාදනය අඩු වී ඇති අතර එය සේවා සඳහා වන ඉල්ලුම අඩු වීමට ද හේතු වී තිබේ.

තවමත් විනිමය අර්බුදය අවසන්ව නැත. තවමත් තෙල් නැව්වලට පවා විදේශ විනිමය ගෙවා ගැනීමට නොහැකිව ප්‍රමාද ගාස්තු පවා ගෙවීමට සිදුවන තත්ත්වයක් තිබේ. විදුලි ගාස්තු වැඩි වීමෙන් බොහෝ කර්මාන්තවල වියදම් වැඩිවනු ඇත. එසේම කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කර ගෙන්වා ගැනීමට ද තවමත් බොහෝ අපහසුතා තිබේ. මේ හමුවේ තවදුරටත් ආර්ථික කටයුතුවලට අහිතකර බලපෑම් සිදුවෙමින් තිබේ. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එකඟතා පළ වී ඇති මුදල ලබා ගැනීම ද ලෙහෙසි නැත. ඒ සඳහා අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රියාවලිය ඉතා සංකීර්ණ හා දුෂ්කර කටයුත්තක් බව ද පැහැදිලිය. ඒ සඳහා ගතවන කාලය මත අපට එම මුදල් ලැබීමට කල්පමා වීමක් ද සිදුවනු ඇත. ඒ අනුව අපගේ ආර්ථික අර්බුදයේ බලපෑම් ඇතැම් විට ඉදිරියේ දී තවත් දුෂ්කර හා පීඩාකාරී වීමට ද ඉඩ තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment