රටේ ආර්ථිකය ගොඩගන්න පාඩු ලබන රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි

402

ජාතික පෙරමුණේ නායක රංජිත් පීරිස්

මේ වනවිට මේ රට ආර්ථික අවපාතයකට ලක් වී ඇතැයි ද ඒ නිසා මේ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කළ යුතු යැයි ද ජාතික පෙරමුණේ නායක රංජිත් පීරිස් මහතා පැවසීය.

නායක රංජිත් පීරිස් මහතා එසේ පැවසූවේ 07 වැනිදා පෙරවරුවේ ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ජාතික පෙරමුණේ 08 වන සංවත්සරයට සමගාමීව මේ මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නායක රංජිත් පීරිස් මහතා මෙසේ ද කීය.

අද රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනවා. එයින් ගොඩ ඒමට නම් දැනට පාඩු ලබන රාජ්‍ය ආයතන සොයා බලා ඒවා ප‍්‍රතිව්‍යුහගත කරන්නට ඕනෑ. දැනටමත් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය, තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ජලාපවහන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංගම යන ආයතන පාඩු ලබන ආයතන වෙනවා. මේවාට අමතරව තවත් රාජ්‍ය ආයතන කිහිපයක්ම ද පාඩු ලබනවා. ඉතින් මේ පාඩු ලබන රාජ්‍ය ආයතන අද රජයට විශාල බරක් වී තිබෙනවා.

එබැවින් මේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කොට නව පාලන අධිකාරියක් යටතට පත් කරන්නට ඕනෑ. එසේ කළහොත් රාජ්‍ය වියදම විශාල ලෙස අඩු කර ගැනීමට හැකි වෙනවා. මේ රටේ දල නිෂ්පාදනයට සාපේක්ෂව ආර්ථිකය පවත්වා ගෙන යෑමට නම් මේ ආර්ථික ප‍්‍රතිසංස්කරණය කඩිනමින් ඉටු කිරීමට රජය වහාම පියවර ගත යුතු වෙනවා.

මෙතෙක් කලක් පාඩු පිට පවත්වා ගෙන ගිය ටෙලිකොම් ආයතනය ප‍්‍රතිව්‍යුහගත කළා. ඉන්පසුව එම ආයතනය විශාල ලෙස ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා. ඒ තුළින් එහි සේවකයින්ට ද වැඩි ප‍්‍රතිලාභයක් භුක්ති විඳීමට මග පෑදුනා. ඒ වගේම පාරිභෝගිකයින්ටත් තෘප්තිමත් සේවාවක් ලබා ගැනීමට අවස්ථාව උදා වුණා. ඒකයි අපි පාඩු ලබන රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කරන්නට කියන්නේ.

මේ රටේ දුර්වල රාජ්‍ය කළමනාකාරිත්වය මත ආර්ථික ප‍්‍රතිසංස්කරණ සිදු වන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒ නිසා එහි ප‍්‍රතිවිපාක විඳීමට සිදු වී තිබෙන්නේ රටේ සමස්ත ජනතාවටමයි. මේ බව රජය දැන්වත් වටහා ගෙන රට පත්ව තිබෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය වහාම ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියකට යා යුතුයි. එසේ නොවුවහොත් මේ ආර්ථික අර්බුදය තවත් උග‍්‍ර අතට හැරීම වළක්වාලන්නට නො හැකි වෙනවා.

මේ වනවිට අත්‍යවශ්‍ය ආහාර ‍්‍රද්‍රව්‍යවල මිල දෙගුණ තෙගුණ වෙලා. ඒ හේතුවෙන් ජනතාවට ජීවන බර දරා ගන්නට බැහැ. උද්ධමනය වැඩිවෙලා. අනිත් පැත්තෙන් වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උග‍්‍ර හිඟයක් ද පවතිනවා. කිරිපිටි නැහැ. ගෑස් නැහැ. පාන්පිටි නැහැ. සිමෙන්ති නැහැ. රජයේ අ¥රදර්ශී පාලනය නිසා මේ තත්ත්වය උදා වී තිබෙනවා. ඒ නිසා රජය මෙය නිවැරදි කර ගැනීමට කටයුතු කළ යුතුයි.

දෙල්ගොඩ ඩබ්ලිව්. ඞී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment