රටේ ආර්ථිකය බිම දැමීම  මහා කුමන්ත්‍රණයක් – වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි  මානව හිමිකම් කොමිසමත් ඉල්ලලා

147

ජේ. සී. අලවතුවල (සජබ)

රටේ ආර්ථිකය විනාශ කළ කණ්ඩායමට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් පවා ඉල්ලීම් කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

අද රටේ ඇති වෙලා තියන තත්ත්වය දිහා බැලුවම ජාත්‍යන්තරයෙත් අපේ රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කතා කරනවා. පසුගියදා ජිනීවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්තුමියගේ ප්‍රකාශය දිහා බැලුවම මේ තත්ත්වය පැහැදිලි වෙනවා. මෙතෙක් අපිට මානව හිමිකම් කොමිසමේ චෝදනා හෝ කාරණා සාකච්ඡා වුණේ රටේ පැවැති යුද්ධය සම්බන්ධව ඇතිවුණු තත්ත්වයන් ගැනයි. හැබැයි අද ඊට අමතරව මේ රටේ ආර්ථිකයට ඇතිවෙලා තිබෙන ආර්ථික ව්‍යසනයත් රටේ ජීවත් වෙන ජනතාවට බලපාන දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයත්, හරි ආහාර වේලක් ගන්න බැරි තැනකට පත් කරලා තියෙන මේ ආර්ථික ව්‍යසනයේ වගකිවයුත්තන් නම් කරමින් ඒ අයට දඬුවම් දිය යුතුයි කියන තැනට මානව හිමිකම් කොමිසමේ අලුත් පිටුවක් පෙරලා තිබෙනවා.

වර්තමාන ජනාධිපතිවරයා මේ වෙනකොට ඇමැති මණ්ඩලයට රාජ්‍ය ඇමැතිවරුන් 38 පත් කරලා. කැබිනට් එකෙත් ඇමතිවරු ප්‍රමාණයක් ඉන්නවා. තවත් කැබිනට් ඇමතිවරුන් 12ක් පත් කරන බව ආරංචියි. අපි අහනවා මෙවැනි ආර්ථික ව්‍යසනයක් තියෙන වෙලාවක රටේ ජනතාවට ඇතුළු පාසල් දරුවන්ට නිසි ආහාර වේලක් නැති මොහොතක ඒ වගේම 20%ක් පාසල් දරුවන් උදය ආහාර නැතුව පාසල් නොඑන බව විදුහල්පතිවරුන්ගේ සංගමය කියන මොහොතක, මේ රටේ මන්දපෝෂණය ලෝකයේ ඉහළම අගයකට ගිහින් තියෙන අවස්ථාවේ ඇමතිවරු පත් කිරීම සාධාරණ ද? ඒ නිසා තමයි මානව හිමිකම් කොමිසම කියන්නේ මේ රටේ ආර්ථිකය ඒ තැනට ගෙනාපු වගකිවයුත්තන්ට දඬුවම් කරන්න ඕනෑ කියලා. එහිදී වර්තමාන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මොනවද කරන්නේ.

විශේෂයෙන්ම ආර්ථිකය අද තියෙන තැනට ගේන්න කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය සහ මුදල් අමාත්‍යාංශයේ කටයුතු කරපු බැසිල් රාජපක්ෂ වැනි අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි කියලා විපක්ෂය ඇතුළු මහ බැංකු විශේෂඥයන් දිගින් දිගටම වසර එකහමාරකට කලින් කිව්වා. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කරගත යුතුයි කියලා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයක් විදිහට අපි දිගින් දිගටම කිව්වා. තවදුරටත් මහ බැංකුවේ ආර්ථික විශේෂඥයන් එක පාරක් නෙමෙයි හතර පස් වතාවක් මුදල් අමාත්‍යවරයාට, ජනාධිපතිවරයාට මේ කරුණු දක්වලා තිබෙනවා. එහෙම තිබියදී තමයි හිතාමතා ආර්ථිකය කඩා වැටීමට අවශ්‍ය පියවරත්, අද තියෙන තත්ත්වය ඇති කිරීමට හිතාමතා මේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම පැහැදිලියි හිටපු මුදල් ඇමැතිවරයා, බැසිල් රාජපක්ෂ අපි පාර්ලිමේන්තුව තුළ විපක්ෂයක් විදිහට මේ කරුණු ඉදිරිපත් කරන්න කියද්දී පාර්ලිමේන්තුවට මාස තුනකින් කිසිම වාර්තාවක් ඉදිරිපත් කළේ නෑ. මුදල් සම්බන්ධව තිබෙන මූලික ස්ථානය පාර්ලිමේන්තුව වුවත් පාර්ලිමේන්තුවට කිසිම වාර්තාවක් මාස තුනකින් ඉදිරිපත් කළේ නෑ. ඒ නිසා පැහැදිලියි, මෙතන සම්පූර්ණ කුමන්ත්‍රණකාරීව රටේ ආර්ථිකය බිම දාලා සමස්ත රටේ ජනතාවට ආර්ථික අහේනිය ඇති කරල තියෙන්නේ කියලා.

ආර්ථිකය විනාශ කරන්න මුල් වූ තවත් කණ්ඩායමක් ඉන්නවා. එහි ප්‍රධානියෙක් තමයි කබ්රාල් මහ බැංකුවේ හිටපු අධිපතිවරයා. ඒ වගේම පී. බී. ජයසුන්දර හිටපු ජනාධිපති ලේකම් සහ මීට පෙර මුදල් අමාත්‍යංශ ලේකම් ඒ වගේම මහාචාර්ය ලක්ෂ්මන් මහ බැංකුවේ අධිපතිවරයා. මේ කණ්ඩායම තමයි පැහැදිලිවම අද තියෙන මේ ආර්ථික තත්ත්වය ඇති කරන්න ප්‍රධාන ක්‍රියාකාරීන්. ඒ නිසා අපි කියනවා ජනාධිපතිවරයාට, ලොකු ඇමැති මණ්ඩලයක් පත් කරගෙන මේ රටේ ආර්ථිකය තවත් විනාශ කරමින් රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා කියලා. ඇමතිවරු පඩිය ගන්නේ නැහැ කිව්වට, අපි අහනවා ඇමැතිවරයකුට හිමි වාහන දෙන්නේ නැද්ද කියලා. අපි දන්නවා මේවාට කෑදරකමින් තමයි ජනතාව ප්‍රතික්ෂේප කරපු අය නැවත පත් වෙලා තියෙන්නේ. පොහොර තහනම් කළා එක රාත්‍රියකින්. එහිදී ගෝඨාභය රාජපක්ෂ තීන්දුවක් ගන්න කොට ඒ පත්කරපු කැබිනට් එකම තමයි එදා අත උස්සලා සහාය දුන්නේ.

අපේ ගොවියාගේ වී ගොවිතැන විතරක් නෙවෙයි අපනයන බෝග තේ, රබර්, පොල් ඩොලර් ගෙන ඒවා සියල්ල විනාශ කරා. ඒ විනාශය ප්‍රතිඵල තමයි දැන් අපිට ලැබිල තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද රාජපක්ෂ පවුලේ රූකඩයක් බවට පත් වෙලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment