රටේ ආර්ථිකය වැටුණු සෑම අවස්ථාවේම නැඟිට්ටෙව්වේ රනිල් – වජිර අබේවර්ධන කියයි

222

රට ආර්ථික වශයෙන් කඩා වැටුණු සෑම අවස්ථාවකදී ම රනිල් වික්‍රමසිංහ මහතා යළි ආර්ථිකය ගොඩනගා රටේ අනාගතය සුරක්ෂිත කර දීමට ක්‍රියාකළ බවත් අද මේ රට පත්ව තිබෙන විනාශයෙන් යළි ගොඩනැගීමේ වගකීම ඔහු භාර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයට පැමිණ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් වජිර අබේවර්ධන මහතාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

ඉතිහාසයේ රට වැටුණු සෑම අවස්ථාවකදීම රට ගොඩගැනීමට ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය ගොඩනැගුව රට වරින්වර බලයට පැමිණි සන්ධාන ආණ්ඩු නැවත විනාශය කරා ගෙන ගියා.

2001 වසරේ රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී ශ්‍රී ලංකාව හුදෙකලා වූ රටක් බවට පත්ව තිබුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්ව ඒ තත්ත්වය වෙනස් කරමින් රටේ ආර්ථිකය ගොඩනැගුවා.

2015 වනවිට මේ රටේ ආර්ථිකය කඩා වැටී රට මහා විනාශයකට තල්ලු වී තිබුණා. එම තත්ත්වයෙන් රට මුදා ගෙන ආර්ථිකය දියුණු කර ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කිරීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා කටයුතු කළා.

වර්තමානය වන විට රට අර්බුද රැසකට මුහුණ පා තිබෙනවා. මේ අර්බුදවලින් රට මුදාගත හැකි පැහැදිලි දර්ශනයක්, වැඩපිළිවෙළක් තිබෙන්නේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බව කිව යුතුයි.

අද ගෝල්ෆේස් අරගලයේ නිරතව සිටින තරුණ තරුණියන්ගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවිය හැකි වැඩපිළිවෙළක් නායක රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබෙනවා. ඒ අනුව එම තරුණ තරුණියන්ගේ අපේක්ෂිත අරමුණු ඉටු කිරීම සඳහා අප නිරතුරුවම කැප වෙනවා.

ගෝල්ෆේස් අරගල භූමියේ එක්රොක් වී සිටින්නේ රටේ ජීවනාලිය බඳු තරුණ පරපුරයි. ඒ අයගේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් අද කවුරුත් කතා කරන්නේ නැහැ. මේ අයගේ හෙට දවස ගොඩනගා දීම සඳහා නිශ්චිත පැහැදිලි වැඩපිළිවෙළක් හා ප්‍රතිපත්තියක් නායක රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබෙනවා. අපි හැමෝගේම බලාපොරොත්තුව වී තිබෙන්නේ ඒ වැඩපිළිවෙළ ඔස්සේ තරුණ පරපුරේ ගැටලු විසඳා දී ඔවුන්ට යහපත් අනාගතයක් නිර්මාණය කරදීම බව කිව යුතුයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment