රටේ ඇතිවී ඇති දේශපාලන රික්තකය තුළ වමේ බලවේගයේ හතරෙන් තුනක් අල්ලා අවසන්

221

නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම
නව ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකවරුන් හා සම්බන්ධීකාරකවරුන් සියදෙනකුට පත්වීම්

– හිටපු ඇමැතිවරු තිදෙනෙකුත් ඒ අතර

නව ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරු, දිසා සංවිධායකවරු හා ආසන සම්බන්ධීකාරකවරු සිය දෙනකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (29 දා) සවස එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අතින් සිදුවිය. එහිදී හිටපු අමාත්‍යවරුන් වන මිල්රෝයි ප්‍රනාන්දු, ජයතිස්ස රණවීර, නන්දිමිත්‍ර ඒකනායක, එම පක්‍ෂයේ ලේකම් තිලක් වරාගොඩ යන මහත්වරුන්ට හා හිටපු පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම යන මහත්වරුන්ට එම පත්වීම් ලිපි ප්‍රදානය කළ අයුරු.

මෙරට දේශපාලනයේ මතුව ඇති රික්තය තුළ වමේ බලවේගයේ හතරෙන් තුනක් සිය පක්ෂය මේ වනවිටත් අල්ලා අවසන් බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා ඊයේ (29 වැනිදා) සඳහන් කළේය.

ඉතිරි කොටසත් ඉදිරියේදී අල්ලා ගන්න බවත් කී වෙල්ගම මහතා පසුගියදා හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණි පිරිස දෙස බැලීමේදී එය සක්සුදක් දේ පැහැදිලි බවත් කීවේය.

නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඊයේ එම අදහස් පළකළේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති එකී පක්ෂයේ අභිනව ආසන සංවිධායකවරුන්, ආසන සම්බන්ධීකාරකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කිරීමේ උත්සවයේදීය.

රටේ ඇතිවී ඇති දේශපාලන රික්තකය තුළ වමේ බලවේගයේ හතරෙන් තුනක් අල්ලා අවසන්

මෙහිදී මුළු දිවයිනම ආවරණය වන පරිදි එම පත්කිරීම් සිදුකර ඇති අතර මූලික අදියර යටතේ සංකේතාත්මක සිය දෙනකුට පමණ පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබීය.

මෙහිදී හිටපු අමාත්‍යවරුන් වන නන්දිමිත්‍ර කුමාර වෙල්ගම, ඒකනායක, ප්‍රියන්ගනී අබේවීර, මිල්රෝයි ප්‍රනාන්දු, ජයතිස්ස රණවීර, හිටපු පළාත් මහ ඇමැති පේශල ජයරත්න, හිටපු පළාත් මන්ත්‍රී කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස යන දේශපාලනඥයන් ඇතුළු දේශපාලන ක්‍රියාධරයෝ පත්වීම් ලිපි ලබාගත් හ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේ,

“අපි දේශපාලනයේ හොඳ පන්නරයක් ලැබූ මිනිස්සු. මැතිනිය අපිව තරුණ කාලයේ සිට ඒ සඳහා පුහුණු කළා. තරුණ කාලේ සිට මේ දක්වා අප ලැබූ පන්නරයේ ප්‍රතිඵල අනාගත පරපුරට දායාද කළ යුතුයි. මේ ගමන දුෂ්කරයි. ලේසි නෑ. අපි අලුත් පක්ෂයක්. නමුත් අප කැපවීමෙන් කටයුතු කළොත් ජයග්‍රහණ වැඩි ඈතක නැහැ.

රටේ ඇතිවී ඇති දේශපාලන රික්තකය තුළ වමේ බලවේගයේ හතරෙන් තුනක් අල්ලා අවසන්

අපිට ඉතාම හොඳ ගමනක් තිබෙනවා. පරණ මූණු සහ අලුත් මූණු රැසක් අප සතුයි. අපෙන් වෙන්ව ගිය බොහෝ දෙනෙක් අප සමඟ සම්බන්ධ වෙමින් සිටිනවා. පොහොට්ටුව ගැන අද කතා නෑ. එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති නිසයි. සමගි ජන බලවේගයට යම් තැනක් තිබෙනවා. අරගලය වැරදියට භාවිතා කළ නිසා ඔවුන් දැන් ජනප්‍රිය නෑ. මේ තත්ත්වය මත අප නව ලංකා නිදහස් පක්ෂයට හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාව අප භාවිත කළ යුතුමයි.

අද තරුණයෝ වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස අප ලබාදිය යුතුයි. දූෂණය ජනතාව ප්‍රතික්ෂේප කරනවා. දූෂණයෙන් තොරව දේශපාලනය කළොත් කාට කාටත් දිගු කලක් දේශපාලනය තුළ රැඳී සිටින්න පුළුවන්.

ජාතික සභාව රාජපක්ෂවරුන් ආරක්ෂා කරන එකක් වුණොත් අපි ඊට සම්බන්ධ වෙන්නේ නෑ. එම සභාවේ කටයුතු ගැන බලා සිටිය යුතුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂවරුන් යටතේ සිටියත් ලබන වසරේ මුල් භාගයේ ආණ්ඩුව විසුරුවන්න ඔහුට අවස්ථාව ලැබෙනවා. එම අවස්ථාවට අප දැන්ම සූදානම් විය යුතුයි. මේ පක්ෂය ඒකාධිපති පක්ෂයක් නෙමෙයි. සෑම අයෙකුටම මෙහි අවස්ථාවක් තිබෙනවා. නිවැරැදිව කටයුතු කළොත් මෙතැන සිටින විශාල පිරිසකට පාර්ලිමේන්තු වරම් ලබා ගන්න හැකි වේවි. මම අපේ සංවිධායකවරුන්ට කියන්නේ මාවත් විවේචනය කරන ලෙසයි. වර්ණනා තුළින් ලැබෙන ජයක් නෑ. මගේ අනාවැකි වැරැදිලා නෑ. අපේ පක්ෂයට රටේ බලය ලබා ගන්න හැකියාව තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් නව ලංකා නිදහස් පක්ෂයේ ලේකම් තිලක් වරාගොඩ මහතා මෙසේද පැවසීය.

“අපේ පක්ෂය ඕනෑම මැතිවරණයක් සඳහා නාමයෝජනා භාරදෙන්නේ නම් තරුණයන් සඳහා සියයට හතළිහක් අවස්ථාව ලබා දෙන්න අප තීරණය කර තිබෙනවා. රටේ පාලන තන්ත්‍රය සඳහා තරුණයන් කැඳවා ගැනීම අපේ ප්‍රධාන ඉලක්කයක්. රටේ පවතින තරුණ අසහනයට හොඳම පිළිතුර තරුණයන් රටේ නායකයන් කිරීමයි.

ඇත්තටම විනය සම්බන්ධයෙන් අප දැඩි ලෙස කටයුතු කරනවා. අනෙක් පක්ෂ මෙන් කටයුතු කරන්න අපට බෑ. අප මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. රට ඉල්ලන්නේ එයයි.

ඡායාරූප – කමල් බෝගොඩ
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment