රටේ උරුමය නොතේරෙන ගොබ්බ දේශපාලන නායකත්වයෙන් රට වහා මුදවා ගත යුතුයි

194

උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ – අනුරාධපුර සම්ප්‍රාප්තියේදී කියයි

අප මීළඟට කළ යුතු එකම දේ වන්නේ මේ රටේ උරුමය සහ සම්ප්‍රදාය නොතේරෙන ‘ඉංග්‍රීසියෙන් ඉගැන්වූවා නම් මේ රට හැදෙනවා‘ කියා සිතන ගොබ්බ දේශපාලන නායකත්වයක් වෙනුවට මානව සම්පත දිරිගන්වා ඉදිරියට ගෙනයෑමට හැකියාව තිබෙන, ඒ කෙරෙහි නොබියව විශ්වාසය තබන නායකත්ව මග පෙන්වීමක් යටතට මේ රට කඩිනමින් රැගෙන යෑම බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඉකුත් (11)දා අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවති උත්තර ලංකා සභාගයේ “අනුරාධපුර සම්ප්‍රාප්තිය” සමුළුව අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය

පාස්කු ප්‍රහාරයත් කොවිඩ් වසංගතයත් කලින් දැකලා අවශ්‍ය පියවර ගත්තේ නැහැ…ඒගැන තියෙන ආරවුල තමයි අපට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තිබුණේ. මමත් උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර මැතිතුමන්ලාත් දිගින් දිගටම කැබිනට් මණ්ඩලයේදී පෙන්වා දුන්නා. නමුත් එවිට මොළ හතාණෝ කියනවා මේ මුදල් මාරු කරන ආයතන කිහිපයක ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ, මට මේ ඩොලර් හිඟයේ ප්‍රශ්නය සති දෙකෙන් විසඳන්න පුළුවන් කියා. හරියට ‘සූර පප්පාගේ අරිෂ්ඨය’ එයා ළඟ තියෙනවා වගේ. එතකොට වටේ ඉන්න ගොබ්බසේනලා කියනවා, ඩොලර් හිඟය සති දෙකෙන් විසඳනවා නම් හොඳයි – හොඳයි, සැපයි – සැපයි කියා. මේවා කැබිනට් එක ඇතුළේ කතා කරලා වැඩක් නැති වුණාම මහ හඬින් එළියට ඇවිත් කීවා. එහෙමවත් මුන්ට දැනෙයිද කියලා බලන්න. දැනිච්ච පාර අපි දෙන්නාම කැබිනට් එකෙන් එළියට දැම්මා. අපි ඒක සතුටින් බාර ගත්තා. දැන් එයා කොහෙද කියලා හොයාගන්නත් නැහැ. අඩුම තරමින් ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවපු අරගලකාරයෝවත් ඒ යෝධයා ගැන කතා කරන්නේ නැහැ. අපි 90 දශකයේ සිටම පෙන්වා දීපු ලංකාවේ පාලකයන්ට ලණු දීපු නොම්බර එකේ ආර්ථික ඝාතකයා, බැසිල් රාජපක්ෂගේ න්‍යාය පත්‍රය අනුව ගෝඨාභය රාජපක්ෂට ඒ විදිහට ලණු දුන්නා වැරදි තීරණ ගන්න.

දැන් තෙල් ටික ූඍ කේතයක් හරහා ලැබෙනවා. ලයිට් කැපෙනවාත් අඩුයි. උන්නු හැටියට මළා මදැයි කියලා කාට හරි හිතෙන්න පුළුවන්. නමුත් මේ විදියට තව කොපමණ කලක් යන්නද? ලංකාවේ රෝහල්වල බෙහෙත් ටික නැහැ කිව්වාම සංචාරකයන් එනවා ද?මේහැම ප්‍රශ්නයක්ම එකිනෙක බැඳී තිබෙනවා. කළු සල්ලි ඩොලර් වෙළෙඳපොළ අකර්මණ්‍ය කර තිබෙනවාද?නැහැ. විදේශ විනිමය පනත සංශෝධනය කළාද? නැහැ. කර්මාන්තකරුවන් අපේ රටේ නිෂ්පාදන පිටරටවලට විකුණලා ලබන ආදායමෙන් 1/4යි රට තුළට එන්නේ. අපට හිමි මුළු ඩොලර් ප්‍රමාණයවත් රට තුළට ගෙන්වා ගන්න සැලැස්මක් නැහැ. එමගින් පෙනෙනවා මේයන්නේ අර්බුදය විසඳන්න නොවෙයි. එය තීව්‍ර කරමින් ගිහිල්ලා මහජනයා තවතවත් විෂම මනසකට ඇද දමලා ඒ මනස පාවිච්චි කරලා සාමාන්‍ය කාලයකදී කරන්න බැරි වුණු සකල පාවාදීම් ටික සිදු කරන්නයි මේ යන්නේ.

අද අපේ රාජ්‍යය හතර අතින් වට කරලා තිබෙන්නේ. පාසලේ ගුරුතුමියට සාරිය වෙනුවට වෙන ඇඳුමක් අන්දන්න හදන්නේ, ඇයට තිබෙන ආදරයට නොවෙයි.මේ රටේ සංස්කෘතික අක්මුල් ගලවලා දැමිය යුතුයි, කියන න්‍යාය පත්‍රය අනුවයි. බුද්ධ චීවරයට, ඇතැම් බෞද්ධ වත්පිළිවෙත්වලට පහර පිට පහර දෙන්නේ නිකම් නොවෙයි. ඉහත න්‍යාය පත්‍රය අනුවයි. අද මේ කෑලි කෑලි විදිහට පෙනෙන සියල්ල එකම කතාවක කොටස්. මේ ඇත්ත ඔබට පෙන්වා දෙන සැබෑ ජාතිකවාදී දේශපාලන බලවේගවලට ගරහන්නේත් ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන්නේත් මේ න්‍යාය පත්‍රය අනුවයි. අද අපට මේ අර්බුදයට පිළියම් ලෙස හැඩගන්වා‘වහ පොවන්න’ හදනවා. ඒ ‘වහ පොවන සැලැස්මට’ ගොදුරු නොවී ඇත්ත පිළියම් සහිත මාවත වෙත මේ රට රැගෙන යෑමයි අපේ වගකීම වන්නේ.

උත්තර ලංකා සභා යේ“අනුරාධපුර සම්ප්‍රාප්තිය” සමුළුව අමතා එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, නියෝජ්‍ය සභාපති, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද අනුශාසක, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමිද අදහස් දැක්වූහ. නිදහස ජාතික සභාව නියෝජනය කරමින් පැමිණි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ඡන්න ජයසුමන මහතා සුබ පැතුම් එක් කළේය. පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා විසින්ද ස්තුති කතාව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක ශාමිල් මෙන්ඩිස් මහතා විසින්ද සිදු කරන ලදී. උත්තර ලංකා සභාගයේ සාමාජික දේශපාලන පක්ෂවලට අයත් අනුරාධපුර දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ප්‍රභාත් විතාන, අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment