රටේ ජනතාව වැඩියෙන්ම කැමති පොදුජන පෙරමුණට – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය, රංජිත් බණ්ඩාර

106

අඩුම වශයෙන් විදුලිබල මණ්ඩලයේ පිරිවැය ආවරණය විය යුතුයි

පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් නාමයෝජනා කැඳවා ඇත. එම මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇති සූදානම සහ වත්මන් දේශපාලන පසුබිම පිළිබඳව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්ථික විද්‍යා මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පළකළ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරගන්නා දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීමට සූදානම්ද?

පිළිතුර – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් වූයේ බැසිල් රාජපක්‍ෂ මහතා විදේශගතව සිට ලංකාවට පැමිණීමටත් පෙර සිට. බැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ යාන්ත්‍රණයක් සකස්කරලා තිබෙනවා. එතුමා ලංකාව තුළ සිටියත් නැතත් එම යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. බැසිල් රාජපක්‍ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසුව එම යාන්ත්‍රණය එතුමාගේ දෑතට අරගෙන මෙහයවමින් මෙම මැතිවරණය සඳහා අපි සූදානම් වූවා. අපි මෙම මැතිවරණයට සූදානමින් සිටිය නිසා අපිට මෙම මැතිවරණය අහම්බයක් නොවෙයි. ලබන සඳුදා බොහෝ දිස්ත්‍රික්ක වල නාමයෝජනා පත්‍ර අත්සන් කිරීමට කටයුතු කරනවා.

මහනුවර නාමයෝජනා ලබන සඳුදා අත්සන් කිරීමට කටයුතු කරනවා. අපි ජයග්‍රාහී මානසිකත්වයකින් ඉදිරි මැතිවරණයට මුහුණ දෙනවා.

ප්‍රශ්නය – විපක්‍ෂය චෝදනා කරනවා පාර්ලිමේන්තු පනතක් මගින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට.

පිළිතුර – මට සිතෙන විදියට දැන් විපක්‍ෂයට කටඋත්තර නැතිව ඉන්නේ. හේතුව තමයි ඔවුන් පිටියෙන් පිට සෙල්ලම් කිරීම. නමුත් අපි සෙල්ලම් කළේ පිටියේ. පිටියේ සෙල්ලම් කළ කෙනා සහ පිටියෙන් පිට සෙල්ලම් කළ කෙනා අතර වෙනසක් තිබෙනවානේ. පිටියෙන් පිට සෙල්ලම් කළ කෙනා කියනවා අපි පාර්ලිමේන්තු පනතක් ගෙනත් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට සූදානම් වන බව. එහෙම නම් අපි ඇප මුදල් තැන්පත් කිරීම හෝ නාමයෝජනා අත්සන් කිරීම කරන්නේ නැහැනේ. ඉදිරිපත් වන සෑම අපේක්‍ෂකයකු වෙනුවෙන්ම ඇප මුදල් තැන්පත් කරන්න ඕන. ඒ සඳහා විශාල වියදමක් යනවා.

අපි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නේ පිටියේ හොඳට සෙල්ලම් කළ පක්‍ෂයක් විදියට. අපි වංගුවේ වදින්නේ නැති විදිහට බස් ධාවනය කරල පෙන්නලා දේශපාලනය කළේ නැහැ. ඒ වගේම බස්දාල පක්‍ෂයේ ඉන්න ඔක්කොම සාමාජිකයක් රැස්වීම්වලට ගෙනල්ලා සෙනඟ පෙන්වලා අපි දේශපාලනය කළේ නැහැ. අදත් මේ රටේ ජනතාව වැඩියෙන්ම ප්‍රියකරන දේශපාලන පක්‍ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. එම නිසා අපිට මැතිවරණ කල්දැමීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ.

ප්‍රශ්නය – පසුගිය කාලය තුළ සමුපකාර මැතිවරණය ස්ථාන කිහිපයක පැවැත්වූවා. සමහර ස්ථාන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබුණත් සමහර ස්ථානවලදී පරාජයට පත්වී තිබෙනවා. එම මැතිවරණ ප්‍රතිඵල ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – සමුපකාර මැතිවරණය පවත්වන ආකාරය අනුව එම මැතිවරණයට තරග කරන සෑම පාර්ශ්වයකටම වාසිදායක මෙන්ම අවාසිදායක තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. බොහෝ වෙලාවට සමුපකාර මැතිවරණ වලදී තීන්දු තීරණ ගන්නේ එම මැතිවරණයට තරග කරන සභාපති අපේක්‍ෂකයා හෝ අධ්‍යක්‍ෂ මණ්ඩලය සඳහා පත්වන පිරිස් කේන්ද්‍ර කරගෙන. පසුගිය දිනවල පැවැති සමුපකාර මැතිවරණ වලින් සමහර ස්ථාන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගෙන තිබෙනවා. එක් ස්ථානයක ජනතා විමුක්ති පෙරමුණ ජයගෙන තිබෙනවා. ඒ හැරෙන්න විශාල කඩාවැටීමක් සිද්ධවෙලා නෑ.

ප්‍රශ්නය – ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයන් යම් පසුබෑමකට ලක්වුවහොත් විපක්‍ෂය එම ප්‍රතිඵලය පදනම් කරගනිමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටීමට ඉඩ තිබෙනවා නේද?

පිළිතුර – විපක්‍ෂයේ ඉන්නකොට ඕනෑම පක්‍ෂයක් හඳයි, තාරකායි අල්ලන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ලෙඩක් හැදුනහම මුහුදේ පෙණයි අහසේ තරුයි වෙදකමට අනුපාන විදියට ඉල්ලනවා.

එම නිසා පළාත් පාලන මැතිවරණයට හෝ හරිහමන් සූදානමක් නොමැති විපක්‍ෂය කොහොමද මහ මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. විපක්‍ෂයේ සිටින ප්‍රබලම පක්‍ෂය තමයි සමගි ජනබලවේගය. එම පක්‍ෂයේ සභාපතිතුමාම කියල තිබෙනවා බස් එළවන්න පුළුවන් වූවාට මයික් එකක් ඇල්ලුවහම මොකක් හරි කියන්න පුළුවන් වූවාට මේ වැඩේ කරන්න පුළුවන් කෙනෙකු ඔවුන් ළඟ නොමැති බව. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් කියන්න තිබෙන්නෙත් ඒ ටිකම තමයි. ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයෙකු සමාජ මාධ්‍යයට අදහස් දක්වා තිබුණා. ඔහු එහිදී ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ආරාධනා කර තිබුණා ඉදිරියට ඇවිත් මේ වැඩේ අතට ගන්න කියලා. ඇයි ඔහු එහෙම කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටින පිරිසක් සිටිනවා. ඔවුන් එදත් සිටියා. අදත් සිටිනවා. හෙටත් සිටිවී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයස අවුරුදු 6 යි. සමගි ජන බලවේගයේ වයස අවුරුදු 3 යි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ වයස මේ වනවිට අවුරුදු 60 ට ආසන්න වෙමින් පවතිනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, බහු පක්‍ෂ ක්‍රමය අගයන ජනතාව ජනතා විමුක්ති පෙරමුණ සමඟ නැහැනේ.

ආගමට දහමට වින කරන, සම්බුද්ධ ශාසනයට අගෞරව කරන, තරුණ පිරිස් මත පමණක් යැපෙන සමහර පක්‍ෂ ඔබ සඳහන් කළ ආකාරයේ ඉල්ලීම් කරනවා. පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා තෝරපු අවස්ථාවේදී ඡන්ද තුනක් පමණක් ලැබෙන බව දැන ගෙනෙම අනුර කුමාර එම මැතිවරණයට ඉදිරිපත් වූවා. ඕන කෙනකුට ඕන දෙයක් ඉල්ලන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු අවස්ථාවේදී පවත්වාවි. ඒ සඳහා ස්වාධීන මැතිවරණ කොමිසමක් තිබෙනවා.

ප්‍රශ්නය – බදු වැඩි කිරීම, විදුලි බිල වැඩි කිරීම වැනි ජනප්‍රිය නොවන තීන්දු මේ වනවිට ආණ්ඩුව ගනිමින් සිටිනවා. එම තීන්දු මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි කෙසේ බලපාවිද?

පිළිතුර – ඡන්ද බලාගෙන රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේ ප්‍රතිඵල මේ වනවිට අපි භුක්ති විඳිමින් සිටිනවා. මේ වනවිට රජයේ ආදායම රජයේ වියදම පියවාගන්න ප්‍රමාණවත් නැහැ. ඒ වගේම රජයේ සේවය විශාලයි. ඒ වගේම පාඩු ලබන රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් තිබෙනවා. විදුලිබල මණ්ඩලය පමණක් බිලියන 500ක් පමණ මසකට පාඩු ලබනවා. පාඩු ලබන ආයතනවල බෝනස් දෙන්නේ කොහොමද කියන කාරණය විමසලා ජනාධිපතිතුමා විසින් වාර්තාවක් කැඳවලා තිබෙනවා.

රජයක් විසින් තීන්දු තීරණ ගත යුත්තේ යම් කිසි වරදක් සිද්ධවෙලා තිබෙනවා නම් එය නිවැරැදි වන ආකාරයටනේ. තවදුරටත් එම වරද සිද්ධ කළොත් අපිට සිද්ධවෙනවා අපේ රට යළිත් බංකොළොත් රටක් කියලා කියන්න. ඒ වගේම ආයෙත් අපට තෙල් ගේන්න විදේශ සංචිත නැහැ කියල කියන්න සිද්ධ වෙනවා. එතකොට අරගලකාරයෝ ආයෙත් ගාලුමුවදොරට ඇවිත් ජනාධිපතිතුමාට යන්න කියල කියනවා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට පෙළඹෙනවා.

මම කියන්නේ ආණ්ඩුවත් සෑමවිටම ජනප්‍රිය තීන්දු තීරණ ගතයුතු වන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුවත් රටේ ඉදිරිය ගැන සිතල තීන්දු තීරණ ගන්න බයවෙන්න අවශ්‍ය නැහැ. ඒ අනුව පැහැදිලි වනවා මේ අවස්ථාවේදී ආණ්ඩුව මැතිවරණ ජයග්‍රහණ පිළිබඳව සිතනවාටත් වඩා රටේ අනාගතය ගැන සිතා බලා තීන්දු තීරණ ගන්නා බව. මේ ආකාරයට සිතා අතීතයේදී කටයුතු නොකළ නිසා තමයි වසර 75 කට පසුත් මේ රට සංවර්ධනය වන රටක් ලෙස පවතින්නේ. ඒ වගේම කලාපයේ සෙසු රටවල්වලට වඩා පසුපසින් සිටින්නේ. එම නිසා මම සිතනවා රටේ අනාගතය ගැන සිතා තීන්දු තීරණ ගත යුතු හොඳම කාලය මේක තමා කියලා.

ප්‍රශ්නය – ඔබ සඳහන් කළා විදුලිබල මණ්ඩලය පාඩු ලබන බව. නමුත් විදුලි බිල වැඩිකිරීමට විරෝධය දක්වන පාර්ශ්ව සඳහන් කරනවා විදුලි බිල වැඩිකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව.

පිළිතුර – පසුගිය විදුලි බිල සංශෝධනයට පෙර විදුලි බලය ජනනය සඳහා බිලියන 800 ක් වැය වී තිබෙනවා. අපි ප්‍රධාන මූලාශ්‍ර 5ක් ඔස්සේ විදුලි බලය ජනනය කරනවා. විදු බලය ජනනය සඳහා බිලියන 800ක් වැයවුවත් උපයා ගෙන තිබෙන්නේ බිලියන 269 යි. ඒ කියන්නේ බිලියන 500කට ආසන්න ප්‍රමාණයක වාර්ෂික පාඩුවක් සිද්ධ වී තිබෙනවා. මෙම පාඩුව පියවා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් තමයි මුදල් ලබාදී තිබෙන්නේ. ඒ සඳහා මහා භාණ්ඩාගාරය කටයුතු කර තිබෙන්නේ මොන ආකාරයට ද? ඛනිජ තෙල් සංස්ථාවට කියනවා ණයට තෙල් දෙන්න කියලා. ඒ සඳහා ඛනිජ තෙල් සංස්ථාවට මුදල් ලැබෙන්නේ කොහොමද? රාජ්‍ය බැංකුවලට කියනවා ඛනිජ තෙල් සංස්ථාවට ණයවර ලිපි විවෘතකරලා දෙන්න කියලා. මොකක්ද මේ ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය. අවසාන ප්‍රතිඵලය තමයි විදුලි බිල පහළ මට්ටමක තබාගැනීම සඳහා රටේ ආයතන විශාල සංඛ්‍යාවකට බලපෑමක් ඇති කිරීම. මෙම ක්‍රියාදාමය නිසා වානිජ බැංකුවල ආයෝජකයන්ට ණයට ලබාදීම සඳහා තිබෙන මුදල් නැතිනම් මූල්‍යකරණය සඳහා තිබෙන මුදල් තමයි ඛනිජ තෙල් සංස්ථාවට ලබාදීමට සිදුවී තිබෙන්නේ. ඛනිජ තෙල් සංස්ථාවට මෙම මුදල් ගෙවා ගැනීමට බැරි වූ විට මහා භාණ්ඩාගාරය විසින් ලබාදිය යුතු වනවා. මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේ බදු සහ බදු නොවන ආදායම්මම පෞද්ගලිකව කැමතියි විදුලි බිල වැඩි නොවී තිබෙනවා නම්. මම කැමතියි මේ මිලට විදුලි බිල තිබිල අනෙකුත් ආයතනවලට බලපෑමක් නොවනවා නම්. නමුත් කෙතරම් කාලයක් එවැනි බලාපොරොත්තු තබාගෙන ඉන්නද? එම නිසා විදුලි බිල වැඩි කරනවාද නැද්ද යන්න රජය විසින් ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දුවක්. නමුත් විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබනවා නම් මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අඩු වශයෙන් පිරිවැය ආවරණය වන තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුත්ත අපි විසින් කළ යුතු වනවා. ඒ සඳහා ගත යුතු පියවර කුමක්ද කියන එක සොයා බලා තීරණය කළ යුතු වනවා.

ආණ්ඩුව නිෂ්පාදනය කිරීම වෙළෙඳාම් කිරීම, බෙදාහැරීම වැනි දේ කළ යුතු වන්නේ නැහැ. නමුත් ආණ්ඩුව කළ යුතු දේ තිබෙනවා. ආණ්ඩුව සෞඛ්‍යය, බෝවන රෝග මර්දනය, අධ්‍යාපනය, සමාජ සුබසාධනය යන දේ කළ යුතුව තිබෙනවා. නමුත් අනෙකුත් සියලු දේ ආණ්ඩුව කළයුතුය යන ස්ථාවරයේ මම නෑ.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment