රටේ නම කැත කරන නරුමයෝ…

1468

අයර්ලන්ත ජාතික තරුණියකට ප්‍රසිද්ධියේම හිරිහැර කරමින්, ඇයට නිදහසේ මහමග ගමන් කරන්නට නොදෙමින් බාධා කරන වීඩියෝ දර්ශනයක් දැන් අන්තර්ජාලයට මුදා හැර තිබේ. මේ සිදුවීම සිදුව ඇත්තේ මහනුවර නගරයේදීය.

ඓතිහාසික මහනුවර නගරයේ ශිෂ්ට බව ලෝකය හමුවේ සුළු මොහොතකින් කෙලෙසා දමන්නට හැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච දරුවෝ කටයුතු කර තිබුණාහ. මෙය දුර දිග නොබලා සිදුකළ කොලුකමක ප්‍රතිඵලයකි.

නමුත්, දැන් කුමන හෝ අමන වැඩක් සාක්ෂි සහිතව තබා ගන්නට නවීන තාක්ෂණික මෙවලම්වලට හැකියාව ඇති නිසාම, මේ සිදුවීමට ද තටු මැවුණේය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස මේ වන විට මේ දුර්ගුණ ඇති දරුවෝ නීතියේ රැහැනට හසුව ඇත්තේය.

අයර්ලන්ත ජාතික තරුණියකට හා ජර්මන් ජාතික තරුණයකුට මහනුවරදි හිංසා කරමින් තරුණයින් තිදෙනකු කටයුතු කරන බව දැක්වෙන වීඩියෝව ඉකුත් අප්‍රේල් විසි එක්වැනිදා සිට යූටියුබ් ඔස්සේ ප්‍රචාරය වී තිබිණි. අදාළ වීඩියෝ පටය පිළිබඳව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා විශේෂ පරික්ෂණයක් සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබිණි. සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීම සඳහා බලකරමින් තරුණයන් තිදෙනෙක් තරුණියට කරදර කරන බවත් ඇයව අපයෝජනයට ලක්කිරීමට තැත් කරන බවත් වීඩියෝ පටයේ සාක්ෂි සහිතව දක්නට ලැබෙන නිසාම තත්ත්වය බරපතළ බව කාටත් වැටහී තිබිණි. ලොවපුරා සංචාරයක නිරත වන තමන්ට මෙවැනි අකටයුත්තක් සිදු වූයේ ශ්‍රී ලංකාවේ මහනුවරදී බව අදාළ විදේශීය යුවල වීඩියෝව ඔස්සේ ප්‍රකාශ කරන්නේය. මෙවැනි සිදුවීම් නැවත නොවිය යුතු බවද, එය විදේශිකයන්ගේ නිදහසට තර්ජනයක් බවද ඔවුහු කියති. තමන්ට අවශ්‍යව ඇත්තේ මේ පිළිබඳව සෙසු සංචාරකයන් දැනුවත් කිරීම සහ නැවත මෙවැනි අකටයුතුකම් සිදු නොවීම බවද ඔවුහු කියති.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයන් තිදෙනා මහනුවර සංචාරක පොලිස් ඒකකය මගින් සොයා ගියහ. ඉකුත් විසිහතර වැනිදා එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. නැවත අගෝස්තු අටවැනි දින අදාළ නඩුව කැඳවීමට නියමිතය.

අදාළ තරුණයන් පසුගිය අප්‍රේල් හය වැනි දින මහනුවර නගරයේදී විදෙස් තරුණියගේ අතින් අල්ලා සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට බලකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. මෙම තරුණයන් කටුගස්තොට හා මැදවල ප්‍රදේශවල පදිංචිකරුවෝ වන අතරම වයස අවුරුදු දහඅට දහනවය සහ විස්සක පසුවන අය වෙති.

“මේ සිදුවීම සුළුකොට තැකිය හැකි එකක් නොවේයි. මොකද මහනුවර නගරයේ ආරක්ෂාව පිළිබදව නිදහසේ ගමන් කිරිමට ඇති ඉඩකඩ ඇහිරී යාම මෙයින් පිළිබිබු වෙනවා. එය විදේශිය සංචාරකයින් අතර පැතිර යන පණිවිඩයක් වුව හොත් ඉදිරියෙදි විශාල අභියෝගයකට මූණ දෙන්න අනිවාර්යෙන් සිදුවෙනවා. තරුණයින් සෙල්ලමට කල වැඩක් ලෙස මෙය දකින්න කොහෙත්ම බැහැ. මෙවැනි සිදුවීම් සිදුවීමට කොහෙත්ම ඉඩක් තැබිය නොහැකියි. එහෙයින් ඊට අදාල නීතිමය පියවර දැනටමත් ගෙන තිබෙනවා. ඉදිරියේදිත් මීට අදාල පරික්ෂණ සිදු කෙරෙනවා ….” යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා කියා සිටියේය. සිද්ධිය සම්බන්ධවෙන් සංචාරක පොලිස් ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත් මහගෙදර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කුමන හෝ චේතනාවකින් යමක් සිදුකරන විට එය හෙට දවසේ තමන්ට බලපානුයේ කෙසේද යන්න නොසිතන ප්‍රබල පිරිස තරුණයින්ය. ආවේග පාලනය , හැගීම් පාලනය , යහපත් චර්යාව ආදි ගුණාංග දැන් දැන් බොහොමයක් තරුණ පිරිස් අතර දක්නට නොලැබෙන ගති ලක්ෂණ වී ඇත්තේය. ඊට ප්‍රබලව බලපානු ඇත්තේ වැඩිහිටි මග පෙන්වීම් හෝ ගුරු ගෝල සම්බන්ධතා දුරස්ව යාමය. මෙය රටක ඉදිරි යහපැවැත්මට ප්‍රබල ලෙස බලපාන සාධකයක් වන්නේය. මේ අකටයුතුකම් සිදු කොට ඇත්තේද අධ්‍යාපනයක් නැති , පාරතොටෙහි නිකරුණේ රැඳෙන තරුණයින් විසින්ද නොවේ. කවරකු අතින් වුවද සිදු නොවිය යුතු මෙවන් අකටයුතුකම් වහා නතර විය යුතුය. තරුණ ජීවිත වලටත් රටේ අනාගතයටත් මෙහි ඍජු බලපෑමක් එල්ලවන නිසාය. තරුණයින් තමන්ගේ සිතුවිලි පාලනය කිරිමේ වගකීම දැන් දැන්ම සිදු කළ යුතුය. පොලිස් පොතේ නම ලියැවී අධිකරණයේ දි වරදකරුවෙක් වීමෙන් තමන්ගේ ජීවිතයට කළු පැල්ලමක් එක්කාසු වීම අනාගතයේදි පෙරවරදක් ඇති මිනිසෙක් ලෙස හංවඩු ගැසෙන බව මේ තරුණයින් අවබෝධ කර ගත යුතුය. ඒ හෙයින්ම අප හෙට අඬන්නට වන කිසිවක් අද නොකළ යුතුය.

● සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment